දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ ඌවපරණගම ගොවි ජනතාවගේ ජීවනාලිය බඳු වූ කිලෝමීටර් 17ක් දිගැති ඓතිහාසික උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවලින් 75%ක පමණ ප්‍රමාණයක් මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්, තාක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසී ගොවි ජනතාව සමඟ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මේ බව තහවුරු කළේය.

ප්‍රදේශයේ උඩරට එළවළු සහ වී වගාවන් ඇතුළු අක්කර 2,005කට අධික සාරවත් වගාබිම් ප්‍රමාණයකට දියවර සපයන මෙම ප්‍රධාන ඇළ මාර්ගය, ආපදා තත්ත්වය හමුවේ ස්ථාන රැසකින් නායයෑම්වලට ලක්ව මුළුමනින්ම අවහිර වී පැවතිණි. එහෙත් ඉදිරි කන්නයේ වගා හානිය වළක්වා ගනිමින් ගොවි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, ප්‍රදේශවාසී ගොවි ජනතාව සහ දේශපාලන අධිකාරිය එක්ව දින 7ක් වැනි කෙටි කාලයක් තුළ වැලිකොට්ට 7,000ක් යොදා ගනිමින් තාවකාලිකව දියවර නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි

අනතුරුව, රුපියල් මිලියන 228.6ක (රුපියල් ලක්ෂ 2286ක) මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙහි ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු වැවිලි ප්‍රජා හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 මැයි මස 27 වන දින ඌමා ඇළ පේරවැල්ල අමුණ පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

නිරීක්ෂණ චාරිකාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.

”දිට්වා” සුළි කුණාටුවෙන් මේ ඇළ මාර්ගය විනාශ වූ මොහොතේ විපක්ෂය විවිධ විවේචන එල්ල කළත්, රජය ක්ෂණිකව මැදිහත් වී වැලිකොට්ට යොදා තාවකාලිකව ජලය ලබාදී කන්නය බේරා ගත්තා. ඉන්පසු රුපියල් මිලියන 228.6ක මුදලක් වෙන්කර ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. ආපදාවෙන් විනාශ වූ යටිතල පහසුකම් තිබුණාටත් වඩා ඉහළ ප්‍රමිතියකින් හා ශක්තිමත්ව නැවත සකස් කළ යුතුයි කියන ජනාධිපතිතුමාගේ උපදෙස් මත, අද වන විට මේ ඇළ මාර්ගය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කර, ගේබියන් (Gabion) ආරක්ෂිත බැමි ඉදිකර, නායයෑම් ආවරණය කරමින් නිමවෙමින් පවතිනවා. එමෙන්ම පැවති බොරළු මාර්ගය වෙනුවට කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිවීම නිසා පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනය ද වඩාත් පහසු වෙනවා.”

මීට අමතරව, බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ වාරිමාර්ග පද්ධති නඟාසිටුවීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000කට (කෝටි 200) අධික මුදලක් වෙන්කර ඇති බවත්, ඒ යටතේ බත්මැඩිල්ල, තල්දෙන සහ බදුලු ඇළ ඇතුළු වාරි ව්‍යාපෘති රැසක වැඩකටයුතු ද කඩිනමින් සිදු කෙරෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සංවර්ධන වැඩපිළිවෙළ තුළින් ඉදිරි කන්න රැසක් අඛණ්ඩව සුරක්ෂිත කරගැනීමට අවස්ථාව උදාවීම පිළිබඳව ප්‍රදේශයේ ගොවි ජනතාව සිය ප්‍රසාදය පළ කරති.

default

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...

බැංකු ගිණුම්, වාහන ලියාපදිංචිය සහ ඉඩම් ගනුදෙනු සඳහා TIN අංකය අනිවාර්ය කිරීමට පියවර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...

ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලංකා මිනරල් සෑන්ඩ්ස්...