කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය අළලා රේන් වික්‍රමතුංග විසින් රචිත Unbowed & Unafraid කෘතියේ සිංහල පරිවර්තනය වන ”නොසැලුණු නොනැමුණු ලසන්ත” කෘතිය ජනගත කිරීම ඊයේ (25) කොළඹදී සිදුවිය.
එම සිංහල පරිවර්තනය මාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් සිදුකර තිබෙන අතර වික්‍රමතුංග පවුලේ සාමාජිකයින්, හිතවතුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එය සිදුකෙරුණි.
එහි මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක විසිනි.
මෙම අවස්ථාවට ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහෝදරයා සහ දියණියක විසින් පණිවිඩද යොමුකර තිබුණු අතර එම පණිවිඩ ඉදිරිපත් කළේ ලාල් වික්‍රමතුංග මහතාගේ වැඩිමහල් දියණිය වන සෙනාලි වික්‍රමතුංග මහත්මිය විසිනි. එහි සිංහල පරිවර්තනයන් ඉදිරිපත් කලේ චූලානන්ද සමරනායක සහ අභිෂේකා ප්‍රනාන්දු විසිනි.
මෙම අවස්ථාවට එක්වූ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අදහස් දක්වමින් පැවසුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම යනු එක් පුද්ගලයකු නැති කිරීම පමණක් නොව, දේශපාලනඥයන්ට, දූෂණයට සහ බලවත් පාර්ශ්වයන්ට අභියෝග කිරීමට සූදානම්ව සිටි අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට සහ වෘත්තිකයන්ට අනතුරු ඇඟවීමක් කිරීම සඳහා සිදුකරන ලද්දක් බවයි.
“ලසන්තව මැරුවේ ලසන්තව විතරක් අයින් කරන්න කියලා ඔබ හිතනවාද?”
“එය ලසන්ත වැනි අනෙකුත් සියලුදෙනාටම දුන් පණිවිඩයක්.” යනුවෙන් රංග දිසානායක මහතා පවසන ලදී.
“ලසන්තව ඝාතනය කළාට පස්සේ තවත් ලසන්තලා ගොඩක් බිහිවුණා නම්, එතකොට ඒ අයගේ පණිවිඩය අසාර්ථක වෙනවා” ඔහු පැවසීය. “නමුත් සිද්ධ වුණේ ලසන්තව මැරුවට පස්සේ ගොඩක් අයව මර්දනය කරපු එක. එතකොට ඒ අයගේ අරමුණඉටු වෙනවා.” යනුවෙන් එහිදී තවදුරටත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.
”නොසැලුණු නොනැමුණු ලසන්ත” කෘතිය එළිදැක්වීම හා සමගාමීව And Then They Came for Me වාර්තා චිත්‍රපටයද ප්‍රදර්ශනය කෙරුණි.
ජායාරූප -අජිත් සෙනෙවිරත්න

























