රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :
මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ ඉහළ යන ලෝක වෙළඳපොළ තෙල් මිලෙහි බලපෑමෙන් පාරිභෝගිකයන් සහ දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මාස තුනක ඉන්ධන සහන වැඩසටහනක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම වැඩසටහන යටතේ ඔටෝ ඩීසල් (Auto Diesel) සහ කාර්මික ඩීසල් (Industrial Diesel) සඳහා දැරිය හැකි සිල්ලර මිලක් පවත්වා ගැනීමට මුල්‍ය ආධාර ලබාදෙන අතර, එමගින් ජාත්‍යන්තර වෙළඳපොළේ මිල වෙනස්වීම් සෘජුවම පාරිභෝගිකයා වෙත පැටවීම වැළැක්වෙනු ඇත.
මේ සඳහා රජය විසින් ඔක්තෝබර් මාසය සඳහා උපරිම රුපියල් බිලියන 15 ක් ද, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5 ක් ද, දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15 ක් ද වෙන්කර ඇත. ඒ අනුව මෙම තෙමසක වැඩසටහන සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 40.65 කි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.




