අල්බොරාදා : පෙරදිග ආශාවේ අසම්පාතය ….

Date:

පටිච්ච සමුප්පාදය, විසංයෝජනය, අහිංසාවාදය, සාංදෘෂ්ටිකත්වය, ශුන්‍යතාව, අල්පේච්ඡතාව වගේ පෙරදිගින් මහාද්වීපික දර්ශනය කරා ගිය තවත් වැදගත් සංකල්පයක් තමයි ‘අසම්පාතය’ (parallax) කියන්නේ. ඒ ජනප්‍රිය හෙගලියානු දයලෙක්තික කියවීමට තරමක විකල්පයක් හැටියට.

මේ සංකල්පයෙන් කියන්නේ බලන දෙය (object) සහ නරඹන්නා (viewer) මේ වනවිටත් නැරඹුම් වස්තුව තුල අන්තර්ගතයි යන්න. ඒ කියන්නේ මේ දෙක වෙන්කරන්න බැහැ කියන එක. අපි යමක් දිහා බලන්න හදන කොටම ඒ දෙය තුල තියනවා ”අනේ මම දෙස බලන්න” කියන හැඟවුම. නැත්නම් ”මම ඉන්නේ ඔබ මම දිහා බලනකල්” කියන අදහස.

නිකම් මතක් කරගන්න අර මැරලින් මොන්රෝගේ උඩයන ගවුම අල්ලගන්න මොන්රෝ උත්සාහ ගන්නවා වගේ පෙන්නන හොලිවුඩ් ෆොටෝ එක. මොන්රෝගේ ඒ බැල්මේ තියෙන්නේ ලජ්ජාවක් නෙවෙයි. ”අනේ බලන්නකෝ මේ දිහා” වගේ ඇරයුමක්.

චිත්‍රයක් දිහා බලනකොට චිත්‍රය මම දෙස බලාසිටිනවා වගේම මගේ ඇස තුලත් චිත්‍රපටය තිබෙනවා කියන එකයි මේකේ අර්ථය. ඒක හුවමාරුවක්.

මේ සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්න ජපන් දාර්ශනික කොජින් කර්තානි මෙහෙම කියනවා.”ශ්‍රමිකයා තුල පාරිභෝගිකයා ඉන්නවා වගේම පාරිභෝගිකයා තුල ශ්‍රමිකයා ඉන්නවා”.

යම් භාණ්ඩයක් නිර්මාණය කරන කෙනාම ඒ නිර්මාණයේ අර්චන බව එක්ක බැඳෙනවා. ටොයෝටා කාරයක් නිර්මාණය කරන බුද්ධිමය ශ්‍රමිකයා ඒ කාරය පරිබෝජනය කරන්නත් ආශා කරනවා.

කම්කරුවාම මේ කියන අර්චන වසඟයේ ගොදුරක් නිසා ඔහු හෝ ඇය ඉන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. වසඟය කියන්නේ මාක්ස්මය අර්ථයෙන් ”වටිනාකමක්” බවට පත්වෙනවා. ඒක හුවමාරු වටිනාකමක්. ඒ නිසා ඊට එරෙහිව සටන්කරන්න පෙළඹෙන්නේ නැහැ.

ලූකාශ්ගේ ඉඳල ඇඩෝනෝ හරහා ජේම්සන් දක්වා කියවෙන දේ තමයි විප්ලවීය ව්‍යාපාර මේ යුගයේ ඇතිවෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඒකට සෑහෙන උත්තරයක් කරතානි සම්පාදනය කරලා තියනවා.

යුරෝපයේ වගේම ආසියාවේත් අනෙක් බොහෝ රටවලත් විමුක්ති ව්‍යාපාර ධනවාදී වෙළඳපළේ අර්චන වස්තූන් සහ ඒවායේ ආශා නිෂ්පාදනය හමුවේ මේ වෙනකොට ඉන්නේ පරාජිත තැනක. මිනිස්සු ගෝල්ෆේස් අරගලයට ආපු විදියටම ගියා වන් ගෝල් ෆේස් බලන්නත්. ඒක හරියට පසු නූතන වන්දනා ගමනක් වගේ.

මේ සිස්ටම් එක එපා කියපු (සිස්ටම් චේන්ජ්) අරගලය ඇතුලෙම ඔවුන් මේ සිස්ටම් එකේ අර්චන වස්තූන්ට අසීමිතව ආශා කළා. ඒ නිසා අරගලකරන කෙනා අපිට කියවාගන්න වෙන්නෙත් මේ සිස්ටම් එක ඇතුලේම ස්ථානගත කරලා. ඕක තමයි කරතානි ගේන අලුත් සංකල්පය.

කොජින් කරතානි ලෝකෙට අරන් ආපු මේ සංකල්පය ලෝක ගෝලය පුරා වඩාත් ප්‍රචලිත කරන්නේ ස්ලාවෝ ජිජැක්.

මේ පොතේ ඒ වැදගත් සංකල්පය ලංකාවේ විශිෂ්ට සිනමාකරුවෙක්ගේ කලා කෘතියක සන්දර්භය ඇතුලේ කතාකරලා තියනවා.

අපි හඳගම දිහා බලන්න හදනකොටම ගැළවෙන්න බැරි විදියට හඳගම අපි දිහා බලාන ඉන්නවා. අපි අර සක්කිලි කෙල්ල දිහා බලන්න හදනකොට ඒ කෙල්ල අපි දිහා බලාන ඉන්නවා. මැරලින් මොන්රෝ දිහා අපි බලන්න හදනකොට මොන්රෝ අන්න අපි දිහා බලන්න ගන්නවා. අපිට මේ ගේස් එකෙන් (gaze) මැරෙනකල් ගැලවෙන්න බැහැ කියල මනෝවිශ්ලේෂණයේ ලුබ්ජියානා පාසැල කියනවා.

මේ පොත ඔබ දෙස බලාන ඉන්නවා. වෙන විදියකට කිව්වොත් මේ වෙනකොටත් ඔබ මේ පොතට ඇතුලත් කරලා ඉවරයි (You are already included in this book).

කවරය: මො. ල. සෙනෙවිරත්න

විදර්ශන ප්‍රකාශනයක්.

(ලංකාවේ අමාරු වෙලාවක ජනක ඉණිමංකඩ මේ පොත කරන්න බාරගත්ත. කේ. කේ. පසුවදනක් ලියල දුන්න. මොලා කවරේ කළා. ජයසිරි උදව් කලා. කී නොකී අනික් හැමෝටමත් ස්තුති).

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...