Saturday, June 25, 2022
spot_img
spot_img

Latest Posts

අවසානයේ මාතර රෝහලේ ට්‍රාන්ස්ෆෝබියාව නිසා ‘පිරිමියෙකුට බබෙක්‘ ලැබුණේය!

මාතර පිරිමියෙක් රෝහලේදී දරුවෙක් වැදුවේ යැයි මාධ්‍ය විසින් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවේ ජනවාරි මාසයේ අගභාගයේදී ය. මේ ආන්දෝලනය කෙතරම් අසික්කිත වූයේ ද යත් මාධ්‍ය විසින් එය වාර්තා කර තිබුණේ  වින්දිතයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා නොසලකා හරිමිනි. කුණු ඇවිස්සීම, කුණු රසයම බෙදීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයේ සුබල පරිචයකි. ඔවුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවයේ තරම ද මේ සිදුවීමෙන් මනාව පෙන්නුම් කෙරුණේය. ඇතැම් මාධ්‍ය විසින් වින්දිතයාගේ සමාජ මාධ්‍ය ජාලවලින් ‘ඉස්සූ‘ ප්‍රොෆයිල් පින්තූර පවා ‘මෙන්න කෙනා‘ යන අදහස ලැබෙන පරිදි පළ කර තිබුණේය. 

‘‘ලංකාවේ සංක්‍රාන්ති ඇතුළු සමරිසි ප්‍රජාවගේ ප්‍රශ්න හා ඔවුන්ගේ ජීවිතය සමාජය හරි හැටි දැනුවත් නැහැ. ඒ නිසා ගොඩක් අය මේක දිහා බලන්නේ එක්කො මැජික් එකක් ලෙස නැත්නම් අමුතු දෙයක් හැටියට. මේක මේ රටේ  පුවත් මේනියාවකින් පෙළෙන මාධ්‍යකාරයින් හොදට දන්නවා. ඉතින් ඔවුන් බොහොවිට කරන්නේ එවැනි සිදුවීමක් වාර්තා වූ සැණින් එය කුතුහලය දනවන දෙයක් ලෙස පමණක් නොව ඔය ප්‍රජාව ගැන සාවද්‍ය මත සමාජයේ තුළට රෝපණය කරන ආකාරයට ගොසිප් මවන් එක. මේකට කියන්නේ ප්‍රවෘත්ති කලාව නොව ගොසිප් කලාව කියලා. මේකට කිසිදු මාධ්‍ය සදාචාරයක් නෑ. එකම දේ මොකක් හරි විකුණලා සල්ලි හරි ලයික් හරි හොයන මට්ටමට මේවා පත් වෙලා. මේ වැඩේම මාධ්‍ය විසින් විෂමරිසි පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම වැනි සිද්ධි වාර්තාකිරිමේදී කරනවා. මේක සමාජයක් හැටියට අපි ප්‍රතික්ෂේප විතරක් කළ යුතු දෙයක් නොවන අතර ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. නැත්නම් අපේ පෞද්ගලිකත්වය මාධ්‍ය විසින් මිලට ගන්න කාලය වැඩි ඈතක නොවේ.‘‘ එසේ පවසන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් ය. 

කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස්

බබ්බු ලැබෙන්නේ කොහෙන්ද කියා පවා නොදන්න රටක්

මෙම සිදුවීම නිරීක්ෂණය කිරීමේදී ප්‍රශ්නගත කාලය තුළ මාධ්‍ය විසින් එය වාර්තා කර තිබූ ආකාරයේ පොදු ලක්ෂණ කිහිපයක් තිබේ. එකක් නම්, රෝහල්ගත වූ පුද්ගලයා ‘ඇය‘ සහ ‘ඔහු‘ යන දෙඅර්ථයෙන්ම නම් කර තිබීම ය. එම පුද්ගලයා සංක්‍රාන්ති සමාජභාවී අයෙකි ය යන දැනුම කිසිදු මාධ්‍යයකට නොවූ අතර, ඒ පිළිබඳ සැලකිලිමත් වීමක් පවා ඔවුන් විසින් සිදු කර නොතිබිණි. මෙම ලිපියේ අග භාගයේදී විස්තර කරන අන්දමට, මාධ්‍යයට පවා මාතර රෝහලට පවා මේ පිළිබඳ දැනුමක් නොමැති වී ඇත්තේ අරුම පුදුම ලෙස ය.

‘‘ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීම පවා ලිංගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රවර්ධනය කිරීමක් ලෙස දකින රටක මෙවැනි සිදුවීම්වලට ලබා දෙන අර්ථකථන ගැන පුදුම විය යුතු නැහැ. සංක්‍රාන්ති සමාජභාවය තබා බබ්බු හම්බවෙන්නෙ කොහොමද කොහෙන්ද යනුවෙන් නොදන්නා රටක පිරිමියෙකු බබෙක් ප්‍රසූත කළා යන්න ප්‍රවෘත්තියක් වීම අරුමයක් නොවෙයි‘‘

එසේ පවසන්නේ ප්‍රජනන හා ලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධරයෙකු වන සමාජ විද්‍යාඥ තුෂාර මනෝජ් ය. 

සමාජ ක්‍රියාකාරී තුෂාර මනෝජ්

නීතිය සහ විෂය දන්නා සංවේදී පොලිස් නිලධාරිනියකගේ භූමිකාව

වින්දිතයා හැරුණු විට මෙම සිදුවීමට සෘජු ලෙස සම්බන්ධ තවත් පාර්ශවයන් දෙකක් සිටියි. ඒ රෝහල් බලධාරීන් සහ මාතර පොලිසියයි.

මේ සිදුවීම සම්බන්ධ විමර්ශන කටයුතු භාර වී තිබුණේ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී, පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත හට ය. ‘සාරුවා සුනිල්‘ දාහතර වසරකට සිරගෙට යැවීමට දායක වූ, ගරු විනිසුරු මණ්ඩලය විසින් විවාදයකින් තොරව සලකා බැලූ සාක්ෂිය ලබාදුන් අද්වීතීය චරිතය වන ඇය, රටේ සමස්ත පොලිස් සේවාවටම අභිමානයකි.  ඇය මේ වන විට මාතර කාන්තා කාර්යාංශය භාරව සිටින්නේ යුක්තිය ඉටු කිරීම නිසාම සේවා මාරුවක් සමග තනතුරේ පහළ දැමීමක් ද සමග ය!  කෙසේ වෙතත් මේ පුටුවේ සිටියේ ඇය නොවන්නට, වින්දිතයා රෝහලෙන් ටිකට් කැපූ වහාම පොලිස් අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහයේ 399 (අන් අයෙකු ලෙස පෙනී සිටීම- මෙම සිදුවීමේදී කාන්තාවක් පිරිමි වෙස් ගැනීම) යටතේ අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවා ඇතිව තිබිණි. 

මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී, පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත

‘‘ජනවාරි 24 වැනිදා වන විට මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ආරංචි සහ කටකතා පැතිරෙමින් තිබුණා. එක් කට කතාවකින් පැවසුණේ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ඇඳ අසලට පොලිස් භටයන් දෙදෙනෙකු යොදවා ඇති බවයි.මෙවැනි ආරංචි පැතිරුණු නිසා පුද්ගල නිදහස හා ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ලෙස මෙය සලකමින් සමාජ ක්‍රියාකාරීන් විදිහට අපට මැදිහත් වන්නට සිදු වුණා..‘‘

එසේ පවසන්නේ නීතීඥ රදිකා ගුණරත්න ය. ඒ අනුව ඇය සහ කොළඹ පිහිටා ඇති ‘වෙනස‘ සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ප්‍රධානී තෙනු රන්කෙත් ජනවාරි 24 වැනිදා මාතර මූලික රෝහල බලා යති. වෙනස සංක්‍රාන්ති සමාජභාවී ජාලය යනු, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සෞඛ්‍යමය, නීතිමය, අධ්‍යාපනික, සමාජයීය හා ආර්ථිකමය සුබසාධනය උදෙසා ආරම්භ කරන ලද ලංකාවේ පළමු ආයතනයයි.

මාතර කාන්තා කාර්යාංශ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මේ සිදුවීම සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී අවධාරණය කළේ කිසිදු අයුරකින් මේ පුද්ගලයාට අසාධාරණයක් සිදු නොවීමට වග බලා ගන්නා බවයි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට අදාළ නීතිමය තත්වය පිළිබඳ මනා වැටහීමකින් සිටි ඇය, දරුවාගේ භාරකාරත්වය විධිමත් අයුරින් පැවරීම කෙරෙහි ද සිය අවධානය යොමු කර තිබිණි. ඒ, ‘මාතර රෝහලේ දරුවෙකු වැදූ පිරිමියා දරුවා ප්‍රතික්ෂේප කරයි‘ යන හෙඩින් සහිතව ලිපි පළවන වාතාවරණයක් තුළ ය. 

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ගැන අසා නොතිබුණු මාතර රෝහල!

නීතීඥ රදිකා ගුණරත්න සහ තෙනු රන්කෙත් මාතර මූලික රෝහලේ රෝහල් රෝහල් අධිකාරිවරිය හමුවීමට ගත් උත්සාහය අසාර්ථක වන්නේ ඇය විසින් ඔවුන්ව ජ්‍යේෂ්ඨ පරිපාලන වෛද්‍යවරයෙකු වෙත යොමු කරමිනි.

‘‘අප රෝහල් බලධාරීන් සමග කතා කර මේ තැනැත්තා හමුවීමට ඇති හැකියාව සොයා බැලුවා. රෝහල් අධිකාරිය එක හෙළාම පැවසුවේ තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසට ඔහු විසින් ලිපියක් ලබා දී ඇති බවයි. එහෙම පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා නම්, මේ තරම් පුද්ගලික තොරතුරු ප්‍රමාණයක් මාධ්‍ය වෙත නිකුත් වුණේ කෙසේදැයි අපි ඇසුවා.. එවිට ඒ වෛද්‍යවරයා පැවසුවේ එය වැළැක්විය නොහැකි දෙයක් බවයි!‘‘ යැයි නීතීඥ රදිකා ගුණරත්න පැවසුවාය. 

නීතීඥ රදිකා ගුණරත්න

මෙහි ඇති තවත් හාස්‍යජනක තත්වයක් වූයේ අදාළ වින්දිතයා අන්තර්ලිංගික (ඉන්ටසෙක්ස්) පුද්ගලයෙකු යැයි රෝහල විසින් මුලින් සලකා තිබීම ය.  

පෞද්ගලිකත්වය සුරකින්න රෝහල් බලධාරීන්ට මතක් වෙන්නේ දවස් දෙකකට පමණ පසුවයි!

‘‘පිරිමි වාට්ටුවට ඇතුළත් වූ මේ පුද්ගලයාව පරීක්ෂා කිරීමෙන් පසුව  ගෑනු වාට්ටුවකට දමා තිබුණා. රෝහලට යුතුකමක් තිබෙනවා ඔවුන්ට ඒ ගැන දැනුමක් නැතිනම් ඔහුගෙන් ඒ ගැන විමසන්න. එහෙම නොකර මේ මනුස්සයාව රෝහල විසින් සම්පූර්ණ විහිළුවක් බවට පත් කර තිබුණා. ඔහුගේ පෞද්ගලිකත්වය සුරකින්න රෝහල් බලධාරීන්ට මතක් වෙන්නේ දවස් දෙකකට විතර පස්සෙ..ඒ දක්වා මිනිස්සු පෙරහැර වගේ ඇවිත් එයාව බලල ගියාට පස්සෙ අනිත් අයගෙන් හුදෙකලා කරනවා. ඊට පස්සෙ ඒකත් ප්‍රවෘත්තියක් බවට පත් කරනවා..‘‘ යැයි තෙනු රන්කෙත් පවසයි. 

ඔහුට අනුව මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය සහ පුද්ගලිකත්වය ආරක්ෂා නොකිරීමේ චෝදනාව මාතර රෝහල වෙත එල්ල වීම වැළැක්විය නොහැකි ය. 

‘වෙනස‘ සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ප්‍රධානී තෙනු රන්කෙත්

‘‘අදාළ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරියාට ලංකාවේ 2016 චක්‍රලේඛය අනුව සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන්ට උපතේදී හිමි වූ ලිංගය නිසි වෛද්‍යමය ක්‍රියාවලියක් හරහා නීත්‍යානුකූල අන්දමින් වෙනස් කර ගත හැකි බවටත් උප්පැන්න සහතිකය ඇතුළු ලිපි ලේඛන වෙනස් කර ගත හැකි බවටත් කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඔහු ජෙන්ඩර් සෙටිෆිකට් එක ගැන දැනුවත්ව සිටියේ නැහැ. පුදුමය කියන්නේ, 2016 වසරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීම මත සිදුවූ මේ නීතිමය වෙනස් වීම පිළිබඳ චක්‍රලේඛ අනිවාර්යයෙන්ම රෝහල් අධිකාරීවරුන් වෙත නිකුත් කරනවා. නමුත් එවැනි චක්‍රලේඛයක් තිබෙන බව පවා ඔවුන් දැන සිටියේ නැහැ. ඒ නිසා ජංගම දුරකථනයෙන් අදාළ චක්‍රලේඛය එම නිලධාරියාට කියවන්නට ලබාදෙන්නට සිදුවුණා.‘‘ යැයි නීතීඥ රදිකා ගුණරත්න පවසයි. ‘‘ඒ වගේම 2019 වසරේ කඩවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව යම් පුද්ගලයෙක් සංක්‍රාන්ති සමාජභාවය ලබාගැනීම සඳහා වෛද්‍යමය හා සායනික ක්‍රියාවලියකට මුල පුරා තිබෙනවා නම් ඒ තැනැත්තාට විරුද්ධව අභිචෝදනයක් (අපරාධ චෝදනා නැගීමක්) කරන්න බැහැ. ඒ නිසා 399 වගන්තිය මෙතැනදි වලංගු වෙන්නෙ නැහැ‘‘.

මෙම සිදුවීමට ලක් වු පුද්ගලයා එකී වෛද්‍යමය හා සායනික ක්‍රියාවලිය නිසි පරිදි ආරම්භ කර තිබූ අයෙක් බව ද තෙනු රන්කෙත් අවධාරණය කළේය. ‘‘මේ අනුව අපට ඉතාම පැහැදිලි වුණා, රෝහල් බලධාරීන් කිසිදු විධිමත් සොයාබැලීමකින් තොරව මේ පුද්ගලයා අවමන් සහගත සැලකිලිවලට ලක් කර ඇති බව සහ ලක්වීමට ඉඩ හැර ඇති බව… බාහිර සමාජයට මේක අරුමයක් වුණාට වඩා දුක්බර කතාව, වෛද්‍යවරුන්ටත් මේක අරුමයක් වී තිබීමයි..‘‘ යැයි ද තෙනු රන්කෙත් තවදුරටත් පැවසීය. 

ඒ අනුව අවසානයේ හෙළි වන්නේ මාතර මූලික රෝහලේ බලධාරීන්ගේ ‘ට්‍රාන්ස්ෆෝබියාවේ (transphobia) නිරුවත‘ මිස අන් දෙයක් නොවේ. මාතර රෝහල සැබවින්ම සිය වෛද්‍ය ආචාර ධර්මවලට එකඟව කටයුතු කරමින් මේ වින්දිතයාගේ පුද්ගලිකත්වය සුරැකිය යුතුව තිබූ නමුත් සිදුවන්නේ එහි විරුද්ධාර්ථයයි. මේ වන විට වින්දිතයාට නැවතත් සුපුරුදු පරිදි සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබී ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් ත්‍රිරෝද රථ රියැදුරෙකු වූ ඔහුට මාතර රෝහලේ ආචාර ධාර්මික නොවන සහ සැබවින්ම නීති විරෝධී හැසිරීම විසින් නිර්මාණය කර තිබුණේ නිදහසේ සිය ජීවිකාව කර ගත හැකි වාතාවරණයක් නොවූ බව ද පැහැදිලි ය. 

ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම රෝහල් බලධාරීන් හා රෝහල් පරිපාලනය ට්‍රාන්ස්ෆෝබියාවෙන් සහ හෝමෝෆෝබියාවෙන් අත් මිදෙන්නේ කවදාද? මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යයට දිගු කරන අත, වින්දිතයන්ගේ පළමු වගඋත්තරකරුවන් වන රෝහල් පරිපාලනය වෙත ද එල්ල වීම වැළැක්විය නොහැකි ය

– අමාලි ජයවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.