රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ දී හෘදයාබාධයක් හේතුවෙන් මෙලොවින් සමුගෙන තිබිණි.
අසූව දසකයේ ඉපැදුණු අපට කණිෂ්ක වනාහි එවකට සුප්‍රකට ඇන්කර් කිරිපිටි වෙළඳ දැන්වීමේ සිටි සුරතල් පිරිමි දරුවාය. ඔබ තරමක් උනන්දුවෙන් විමසා බලන්නේ නම්, පෘථුල පරිධියක පැතිරී ගිය අක්මුල් සහිත පවුලක උපත ලැබූ කණිෂ්ක සේනානායක වනාහි කවරෙක්දැයි දකින්නට විවිධාකාර කවුළු ඇත. නමුත් හුදු දේශපාලනික මතවාදය සහ අතීතකාමය හේතුවෙන් ඔබටත් – මටත් මග හැරුණු බොහෝ කවුළු තිබිය හැකිය.
මව් පාර්ශ්වය විද්‍යමාන කළ අසමසම පෞරුෂයේ සෙවණැල්ලට වැසෙන්නේ නම්, ඔබට ඔහු 1980 ශ්‍රී ලංකා රූ රැජන, 1981 ආසියා – පැසිෆික් රූ රැජන, 1984 ලෝක විවාහක රූ රැජන කිරුළු දිනාගත්, කොළඹ මහ නගර සභාවේ ප්‍රථම කාන්තා නගරාධිපතිනිය ලෙස සහ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ බර්නඩීන් රෝස් රාමනායකගේ පුත්‍රයා වශයෙන් පමණක් ලඝු කළ හැකිය.
බෝහෝ දෙනෙක් අමතක කරන පිය පාර්ශ්වයෙන් විමසන්නේ නම්, කණිෂ්ක වනාහි ලංකාවේ 17 වැනි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ මුණුබුරාය.ඒ අනුව කණිෂ්ක සේනානායක ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් පුනරුදයේ පුරෝගාමියෙකු වන, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි පී. ද එස්. කුලරත්නගේ මී මුණුබුරාය. ඒ; ස්ටැන්ලි සේනානායක විවාහ වී සිටියේ පී. ද එස්. කුලරත්න – හිල්ඩා වෙස්ට්බෲක් මියුරියල් කුලරත්න යුවළගේ දියණිය වූ මායා කුලරත්න සමග බැවිනි.
එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දී පෙමින් බැඳුණු බ්‍රිතාන්‍ය ජාතික හිල්ඩා ඒඩ්‍රියන් වෙස්ට්බෲක් සහ පී. ද එස්. කුලරත්න එංගලන්තයේ දී විවාහ වී ලංකාවට පැමිණියහ. අනතුරුව මෙරට සංස්කෘතිය හා බුද්ධාගම වැළඳගත් හිල්ඩා කුලරත්න දේශීය බෞද්ධ බාලිකා අධ්‍යාපන ප්‍රබෝධය වෙනුවෙන් තමාගේ සමස්ත ජීවිතයම කැප කළාය.
ඒ අනුව කණිෂ්ක සේනානායකගේ පිය පස මී මිත්තණිය වන්නේ බම්බලපිටියේ ඇල්බියන් බංගලාවේ ‘බෞද්ධ බාලිකා විද්‍යාලය’ (Buddhist Girls’ College) ලෙසින් පැවැතී වර්තමාන කොළඹ විසාකා විද්‍යාලය බවට පත් වූ විද්‍යාලයේ 2 වැනි විදුහල්පතිනිය මෙන්ම, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය ද, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ 2 වැනි විදුහල්පතිනිය ද වූ අධ්‍යාපනඥවරියයි.
හිල්ඩා කුලරත්න සුජාතා විද්‍යාලය ලෙස ආරම්භ කර පසුව කොළඹ විසාකා විද්‍යාලය බවට පත් වූ පාසලටත්, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයටත්, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයටත් මූලිකත්වය දුන්නාය. තව ද මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ බාලිකා අංශය (පසුකාලීනව හිල්ඩා කුලරත්න මහා විද්‍යාලය), නුගේගොඩ අනුලා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමට උපදේශකත්වය සහ මගපෙන්වීම ලබා දුන්නාය.
වනස්පති සෙවණක වැඩුණු දරුවෙක් තමා මහා ධර්මපාල පෙළපතට අයත් නොවන බව සනාථ කරමින්, මවකගේ හෘදයෙන් හරි අඩක් උදුරා ගනිමින් ම අඩු වයසින් ම මිය ගියේය.
ඇන්කර් පිරිමි දරුවා,
ඔබට සුබ ගමන්!
~ සහන් කසීර වික්‍රමසිංහ


