සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ

0
117

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 06, කොළඹ LNW:


පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM) සමග එක්.වී සංවිධානය කරනු ලැබූ ඊට පළාත් නවයම නියෝජනය කරමින් සිසු සිසුවියෝ රැසක් සහභාගී වූහ. එහිදී ආහාර පිසීම, ආහාර පිළිගැන්වීම, ගෘහ පාලනය සහ අනෙකුත් අංශවලට අදාළ දැනුම සහ කුසලතා විදහා දැක්වීමට අවස්ථාව ලැබිණි. පළාත් මට්ටමේ තරගාවලි රට පුරා ස්ථාන ගණනාවකදී පැවැත්විණි.

SLITHM යාපනය (උතුරු පළාත), SLITHM කුරුණෑගල (වයඹ පළාත), SLITHM රත්නපුර (සබරගමුව පළාත), SLITHM බණ්ඩාරවෙල (ඌව පළාත), මින්දද හෝටලය – අම්පාර (නැගෙනහිර පළාත), SLITHM මහනුවර (මධ්‍යම පළාත), SLITHM කොග්ගල (දකුණු පළාත), SLITHM කොළඹ (බස්නාහිර පළාත), සහ SLITHM අනුරාධපුර (උතුරු මැද පළාත) ඒ අතර වේ. සංවිධායකයන් සඳහන් කළේ මෙය ජයග්‍රාහකයන් තෝරා ගැනීමෙන් ඔබ්බට යමින් උනන්දුවක් දක්වන සිසු සිසුවියන් සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට යොමු කිරීම ඉලක්ක කර ගත් වැඩසටහනක් බවයි. ග්‍රාමීය ප්‍රදේශවල සහ පාසල්වල සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට හිමි වන අවධානය සීමා සහිත මට්ටමක පවතින පසුබිමක මේ තුළින් ඒ පිළිබඳව ජනතාව සතු අවබෝධය ඉහළ නැංවීමටත්, දක්ෂතා සහිත සිසු සිසුවියන් හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබෙන බව ඔවුහු සඳහන් කළහ. සංචාරක ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීම සඳහා බිම් මට්ටමේ සිටින තරුණ පරපුරේ දායකත්වයද සමග ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් අවශ්‍ය බව ඉස්මතු කිරීම මෙම තරගාවලියේ තවත් එක් අරමුණක් විය.


මෙහිදී අදහස් දක්වමින් සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමයේ (AATEHM) සභාපති නිහාල් මුහන්දිරම් සඳහන් කළේ ග්‍රාමීය තරුණ ප්‍රජාවට සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිස සිය ජීවිත ගොඩ නගා ගැනීමට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවයි. “ග්‍රාමීය ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙක් වශයෙන් මටත් අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. මටත් පාසල් වියේදී අවශ්‍ය වුනේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වීම තුළින් මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. සංචාරක ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට 10%ක තරම් විශාල දායකත්වයක් සපයනවා. මේ තුළ ඇති අවස්ථා බොහොමයි. මෙම තරගාවලියට සිසුන් සම්බන්ධ කරන්නට කටයුතු කළ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට මම ස්තුතිය පිරිනමන්නට කැමැතියි. උසස් පෙළ විභාගය අසමත් වුණාම, එහෙම නැත්නම් විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්න නොහැකි වුණාම සමහරු හිතනවා ඔවුන්ගේ අනාගතය අවසානයි කියලා. ඒ ආකල්පය වෙනස් විය යුතුයි. සෑම දරුවෙක් සඳහාම සමාන අවස්ථා නිර්මාණය කළ යුතුයි.

මෙම වැඩසටහනත් ඒ සඳහා වන උත්සාහයක් බව කියන්නට කැමැතියි.” SLITHM සහ SLCB සභාපති ධීර හෙට්ටිආරච්චි මහතාද එහිදී අදහස් දැක්වූයේය. “මෙය පළාත් නවයම සම්බන්ධ කර ගත් දැවැන්ත වැඩසටහනක්. මෙය පහසු කාර්යයක් නොවෙයි. මේ වන විට සංචාරක ක්ෂේත්‍රය සියලු අංශ සමග සම්බන්ධ වෙමින් වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. අපගේ අරමුණ 2030 වසර වන විට සංචාරකයන් මිලියන 5ක් ශ්‍රී ලංකාවට පැමිණෙන පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා කුසලතාවලින් පිරිපුන් මානව සම්පතක් අවශ්‍යයි. මේ වන විට විශ්ව විද්‍යාල රැසක් සංචාරක කර්මාන්තයට අදාළ පාඨමාලා හඳුන්වා දී තිබෙනවා. SLITHM ආයතනයත් තරුණ පරපුරට කුසලතා සම්පන්න වෘත්තිකයන් වශයෙන් සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබෙනවා. අප ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 100%ක්ම ආයතනයෙන් පිටතට යන්නේ රැකියාවක් සමග බව කිව යුතුයි. සංචාරක ක්ෂේත්‍රය තුළින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිවලට පිවිසීමටත් හැකියාව ලැබෙනවා. මෙම කර්මාන්තය භාවිතා කරමින් රට තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම අප සතු වගකීමක්.”
මෙම තරගාවලිය එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” තේමාව යටතේ සමරන ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ දැවැන්ත වැඩසටහනක කොටසකි. මෑත කාලයේදී ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ වඩාත් පුළුල් සැමරුම් වැඩසටහනක් ලෙස පළාත් මට්ටමේ තරගාවලිවල පටන් ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ දක්වා විශේෂාංග ගණනාවකින් සමන්විත වූ මෙවර සැමරුම හැඳින්විය හැකිය. සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) විසින් සංවිධානය කරනු ලැබූ ඊට සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තිරසාර සංචාරක ඒකකයේ සහාය ලැබිණි.