රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පළවන ප්‍රචාර අසත්‍යයි.
-රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර-
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේවන විට ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ ප්‍රචාරය සඳහා භාවිත කර ඇති තොරතුරු 2022 වසරේ මෙරට තුළ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ නඩත්තු කරන ලද යෙදුමක ඇතුළත් කර තිබූ පැරණි තොරතුරු මත පදනම්ව සකස් කර ඇති අතර, එම යෙදුම 2022 ජූලි මාසයෙන් පසුව භාවිතයට ගෙන නොමැති බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
වර්තමානයවන විට රෝගී දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යනු ලබන අතර, රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සැපයුම් දාමය ද ස්ථාවරව පවත්වාගෙන යනු ලබන බව අධ්යක්ෂවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.
එබැවින්, වසර පහකට අධික කාලයක් පැරණි තොරතුරු වත්මන් තත්ත්වය ලෙස හුවා දක්වමින් පළවන මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනවශ්‍ය බියක් හෝ අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්නා ලෙස රෝහල් සේවාලාභීන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.


