මීගස්ආරේ කජ්ජා ගැන තවත් තොරතුරු එළියට!

0
349

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW :

මීගස්ආරේ කජ්ජා නැමැත්තා , රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සමයේ රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇතැයි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් සිදු කරන පුළුල් විමර්ශනවලදී මේ වන විට වාර්තා වී ඇතැයි සඳහන් වේ.

පොලීසිය පවසන්නේ, මීගස්ආරේ කජ්ජා නැමැත්තා ඝාතන සිද්ධිය සිදු වූ දිනයේ රැඳී සිටි ප්‍රදේශ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බවයි. ඝාතන සිද්ධිය වාර්තා වූ ප්‍රදේශය ආශ්‍රීත දුරකථන කුළුණු වාර්තා ද මේවන විට කැදවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහු ගමන් ගත් රථයට පිටුපස රථයේ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ද සිටි බවට තහවුරු වී ඇතැයි පොලීසිය පසුගියදා ප්‍රකාශ කල අතර, 2012 වසරේ මැයි 17 වැනිදා වසීම් තාජුඩීන් මහතාගේ සිරුර නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය ආසන්නයේ මෝටර් රථයක් තුළ පිලිස්සී තිබියදී සොයා ගැනුණි.

මෙම මරණය සිදුවූ අවස්ථාවේ එය අනතුරක් ලෙස හුවා දැක්වීමට පියවර ගැනුණ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල විමර්ශනවලදී එය ඝාතනයක් යැයි නිගමනය කල හැකි සාධක අනාවරණය වුණේය. නමුත් පසුගිය කාලවනවානුව තුළ මෙම ඝාතනයට අදාළව වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම සාර්ථකවූ බවක් පෙනෙන්නට තිබුනේ නැත.

මේ අතරතුර පසුගිය පෙබරවාරි 19 වෙනිදා සිදුවූ අරුණ ප්‍රියන්ත විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජාගේ ඝාතනයට අදාළ විමර්ශන ක්‍රියාවළියේදී තජුඩීන් ඝාතනයට අදාළව ද කරුණු අනාවරණය වෙමින් තිබේ. මීගස්ආරේ කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස මේ වනවිට නිර්මල ප්‍රසංග හෙවත් බැකෝ සමන් නමැත්තා හදුනාගෙන ඇති අතර කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන් රදවා ප්‍රශ්ණ කිරීම් මේ වන විට සිදු වේ. එම විමර්ශන ක්‍රියාවළිය අතරතුර මීගස්ආරේ කජ්ජාගේ බිරිද පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් තජුඩීන් ඝාතනය පිළිබඳව අනාවරණයක් සිදුකර තිබුණි.

තජුඩීන් ඝාතනයට ලක්වූ දිනයේ ඔහු පසුපස හඹා ආ තවත් මෝටර් රථයක් සීසීටීවී දර්ශන විමර්ශනයේදී අනාවරණයවී තිබූ අතර එක් ස්ථානයකදී එම මෝටර් රථයට මීගස්ආරේ කජ්ජා ගොඩවූ බව ඇගේ ප්‍රකාශයෙන් හෙලි වුණි. අනුරාධපුරයේ පැවති වැඩසටහනකදි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කර සිටියේ , වසීම් තාජුඩීන් ඝාතනය පමණක් නොව ආණ්ඩුව පොරොන්දු වූ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය  මෙන්ම පාස්කු ප්‍රහාරය ආදිය පිළිබඳව පරීක්ෂණ නිසි පරිදි සිදු කරන බවයි.