සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයේ plague රෝගය පිළිබඳ පර්යේෂණ සිදුකරන ආයතනයක සේවිකාවක මියයෑම සම්බන්ධයෙන් වැඩි තොරතුරු ලොවට හෙළි කරන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ රුසියාවෙන් ඉල්ලා තිබේ.
අයිස්ලන්තයේ රෙයික්ජාවික් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව ලෝකයට වැඩි තොරතුරු ලබාදිය යුතු බවයි.
රුබියෝ පවසා ඇත්තේ ඇමරිකාව මෙම තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, අවශ්‍යතාවක් ඇති වුවහොත් රුසියාවට සහාය ලබාදීමට ඇමරිකාව සතුව ක්‍රියාමාර්ග පවතින බවත්ය. එහෙත් එවැනි සහායක් ලබාදීමට පෙර සිද්ධිය පිළිබඳ වැඩි තොරතුරු අවශ්‍ය බව ඔහු සඳහන් කර තිබේ.
රුසියාවේ ඉර්කුට්ස්ක් ප්‍රදේශයේ පිහිටි Irkutsk Anti-Plague Research Institute හි සේවය කළ 28 හැවිරිදි ඩාරියා ෂිපිලෝවා නම් රසායනාගාර සේවිකාවක් අසනීප වී ඔක්තෝබර් 2 වැනිදා මියගොස් තිබේ. ඇයගේ මරණයට හේතුව ලෙස රුසියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ හඳුනා නොගත් ආකාරයේ නියුමෝනියාවක් බවයි.
කෙසේ වෙතත්, ඇය plague පිළිබඳ පර්යේෂණ සිදුකරන ආයතනයක සේවය කළ බැවින්, ඇයගේ මරණය plague ආසාදනයක් හේතුවෙන් සිදුවූවාද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සැකයන් සහ වාර්තා පැතිර ගොස් තිබේ.
මේ වන විට මියගිය සේවිකාව සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 200ක් ආරක්ෂිත පියවරක් ලෙස නිරෝධායනයට යොමු කර ඇති අතර කෙසේ වෙතත්, රුසියානු සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය වන Rospotrebnadzor පවසන්නේ මියගිය සේවිකාවගේ සාම්පලවලින් ඇයගේ වෘත්තීය කටයුතු හා සම්බන්ධ කිසිදු රෝගකාරකයක් හඳුනාගෙන නොමැති බවයි. එමෙන්ම මේ වනවිට ඉර්කුට්ස්ක් නගරයේ තවත් plague ආසාදිතයන් තහවුරු වී නොමැති බවද වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද සිද්ධිය පිළිබඳව රුසියානු බලධාරීන් සමඟ සම්බන්ධ වී තොරතුරු නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වන අතර WHO හි මූලික අවදානම් තක්සේරුව අනුව, ඉර්කුට්ස්ක් ප්‍රදේශය සඳහා අවදානම මධ්‍යම මට්ටමේ සිට අඩු මට්ටමක් දක්වා වන අතර, රුසියාව සමස්තයක් ලෙස සලකා බැලීමේදී අවදානම අඩු බවත් යුරෝපීය කලාපය සඳහා අවදානම ඉතා අඩු බවත් සඳහන් කර තිබේ.
මේ අතර, මියගිය සේවිකාව plague රෝගයෙන් මියගිය බවට මේ වනවිට තහවුරු කිරීමක් නොමැත. ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සහ නිල වාර්තා අතර වෙනස හේතුවෙන් ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඇමරිකාව සිද්ධිය සමීපව නිරීක්ෂණය කරන අතර, රුසියාවෙන් වැඩි තොරතුරු ලැබීමෙන් පසු තත්ත්වය පිළිබඳ ඉදිරි පියවර තීරණය කිරීමට බලාපොරොත්තු වන බව රුබියෝ පවසා තිබේ

