රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
පළාත් සභා මැතිවරණ හැර ශ්‍රී ලංකාවේ මැතිවරණ පද්ධතිය පාලනය කරන නීතිමය රාමු පිළිබඳ අතුරු වාර්තාවක් සකස් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මහජනතාව, දේශපාලන පක්ෂ සහ වෙනත් සංවිධාන විසින් පළ කරන ලද අදහස් පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කෙරෙන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
මැතිවරණ පාලනය කරන නීතිමය රාමු සහ ඊට අදාළ කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පත් කරනු ලැබ ඇත.
පවතින මැතිවරණ නීති සම්බන්ධයෙන් මහජන අදහස් එම කමිටුව විසින් මෑතකදී විමසනු ලැබූ අතර, එම අදහස් පදනම් කරගෙන සකස් කරන ලද වාර්තාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ලැබුණු මහජන අදහස් විශේෂඥ මණ්ඩලයක් විසින් සමාලෝචනය කර වාර්තාවට ඇතුළත් කළ බව ද මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.


