රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට එක් පවුලකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) දින සිදු කෙරිණි.
ඒ අනුව, දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස හානි වූ පවුල් 41ක් වෙනුවෙන් නව නිවාස 41ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම කන්දකැටිය, මහතැන්න, මැදලේයාය ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමකදී සිදු කෙරිණි.
මෙම නිවාස ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ කර තිබේ. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදෙමින්, ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ආරක්ෂිත හා ස්ථිර නිවාස ලබාදීම මෙහි අරමුණ වේ.

මේ අතර, දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ පවුල් 45ක් සඳහා දෙවන අදියර යටතේ රුපියල් ලක්ෂ 02 බැගින් වූ වන්දි චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා කඩිනමින් ආරක්ෂිත නිවාස ලබාදීම රජයේ ප්‍රමුඛ අවධානයක් වන අතර, එම පවුල් යළිත් ආරක්ෂිත සහ ස්ථාවර ජීවන තත්ත්වයකට පත් කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් අඛණ්ඩව ආරක්ෂක අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශය මෙන්ම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ද එක්ව කඩිනමින් කටයුතු සිදුකරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.





