උපාලි කොළඹගේ
කොළඹ LNW:මේ ආණ්ඩුව යන්නේ අතුරේ කිව්වොත් වැරදි නෑ. ඒතරම්ම ප්‍රශ්න. ප්‍රශ්න පිට ප්‍රශ්න. නමුත් ඒවායින් බොහොමයක් ආණ්ඩුවේ වරදින් සිදුවන ඒවා නම් නොවේ. ආණ්ඩුවේ කිල්ලෝටෙත් හුණු ටිකක් තියෙන බව ඇත්ත. ඒවුණාට බුලත් විටක හුණුවලට සමාන ඒ ටික දැන්ම ගණන් ගත යුතු තත්ත්වෙක නෑ. පහු පහු වෙනකොට කොහු කොහු වුණොත් බලමු.
ආණ්ඩුව ඉන්නෙ ගෝලීය දේශපාලනය අච්චාරු වූ මොහොතක. විශේෂයෙන් අප වගේ පුංචි රටවලට මේ ගෝලීය ආර්ථික පීඩනය දරාගන්න අමාරුයි. නමුත් ඒවායින් මිදෙන්න විදියකුත් නෑ. දේශීය ආර්ථිකය ශක්තිමත් නම් මොන යකාටවත් බයවෙන්න ඕනෙ නෑ වගේ පම්පෝරි ගහන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව විසඳුම් නෑ.
කිසිම රටකට තනියෙන් ඉන්න පුළුවන් කිව්වොත් ඒක අර්ධ සත්‍යයක් විතරයි. ආර්ථික අතින් සමෘද්ධිමත් නම් අවදානම් අවස්ථාවක ඊට මුහුුණ දෙන්න පහසුයි. දැන් බලන්න චීනයයි ඇමරිකාවයි. එක රටකට අනික නැතුව බෑ. බොරුවට ලෝකෙට පේන්න චණ්ඩි පාට් දාගන්නවා. දෙරටම ආර්ථික වශයෙන් එකිනෙකා බැඳිල.
ඉතින් අප වගේ සොච්චම් ආර්ථිකයක් තියෙන රටක් ගැන කුමන කතාද? උමතුවෙන් දඟලන ලෝක පොලිස්කාරයාගේ නොහික්මුණුකම් නිසා ඉදිරියේ දී දැනටත් වඩා දරුණු පීඩනයකට මුහුුණ දීමට සිදුවිය හැකියි.
මෙහි මා දකින බලවත් ඛේදවාචකය නම් රට තුළ මොනයම්ම ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගත වුවද දේශපාලන කුලල් කා ගැනීම් නම් නොනවතින බවයි.
බලයට තියෙන කෑදරකමට අමතරව හොරු ඇල්ලීම නිසා හට ගෙන තිබෙන වෛරී ප්‍රතිරෝධය ද මෙහිදී දක්නට පුළුවන්. විපක්ෂ නායක සජිත් ඇතුළු කණ්ඩායම කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ඩැහැගැනීමේ බලාපොරොත්තුවෙන් ඉතා බාල විදියට ආණ්ඩුව විවේචනය කරන ආකාරය මේ දිනවල දක්නට ලැබෙනවා. නමුත් මධ්‍යස්ථ මතධාරීන්ට නම් සජිත්ගේ අකල විකල සෑහෙන අප්‍රසන්නයි. මරුවිකල්ලේ වගේ ආණ්ඩුව ට අහුවෙන දේකින් ගහන අනික් කණ්ඩායම නම් රාජපක්ෂ කණ්ඩායම යි. රාජපක්ෂ පවුල් ගහ මේ විදියට හෙලවෙයි කියල අපිවත් හිතුවෙ නෑ
ආණ්ඩුවට අතුරේ යන්ඩ වෙලා තියෙන්නෙ මේ සියලු බාධක මැද්දෙ. ඔහොම පරිස්සමෙන් යං. හැබැයි ගැස්සුනොත් නං මඟ හිටියත් ගෙදර ගියත් තෝ නසී.


