කොළඹ LNW:ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට චීන විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. මෙය අනාගතයේදී කාලය මැනීමේ නිරවද්‍යතාව ඉතා ඉහළ මට්ටමක් කරා ගෙන යා හැකි සුවිශේෂ විද්‍යාත්මක ජයග්‍රහණයක්.
මෙම විශිෂ්ට නිර්මාණය සඳහා මුල් වූ චීන විද්‍යාඥයින් කණ්ඩායම, තමන් විසින්ම සාදන ලද නැනෝමීටර 148ක තරංග ආයාමයක් සහිත රික්ත පාරජම්බුල ලේසර් තාක්ෂණය සහ තෝරියම්-229 සමග මාත්‍රණය කරන ලද කැල්සියම් ෆ්ලෝරයිඩ් ස්ඵටික මේ සඳහා යොදා ගෙන තිබෙනවා. එහිදී, ලේසර් ආලෝකය භාවිත කරමින් තෝරියම්-229 පරමාණුවේ න්‍යෂ්ටිය තුළ ශක්ති මට්ටම් අතර සංක්‍රාන්ති ඇති කිරීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ. වර්තමානයේ භාවිත වන ඉලෙක්ට්‍රෝන මත රඳා පවතින පරමාණුක ඔරලෝසු මෙන් නොව, මෙම නව ඔරලෝසුව පරමාණුක න්‍යෂ්ටිය තුළ සිදුවන ශක්ති සංක්‍රාන්ති අනුව එහි කාල යොමුව සකස් කිරීම විශේෂත්වයකේ.
විශේෂඥයින් පවසන්නේ, මෙම නව සොයා ගැනීම ක්වොන්ටම් මිනුම් තාක්ෂණය, පරමාණුක න්‍යෂ්ටි පරිමාණය දක්වා දියුණු කර ඇති අතර ක්වොන්ටම් පාලනය සඳහා නව පරාසයක් ද විවෘත කර තිබෙන බවයි. ඒ අනුව මෙම න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව, මීළඟ පරම්පරාවේ ගෝලීය කාල ප්‍රමිතිය බවට පත් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
දිනූෂි ධීරසිංහ


