සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් (Gyanesh Kumar) සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ‘කැරපොත්තන් ජනතා පක්ෂය’ (Cockroach Janta Party – CJP) ලෙස හඳුන්වන තරුණ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් දිල්ලි අගනුවරට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.
විරෝධතාව වැළැක්වීම සඳහා දිල්ලි නුවර ප්‍රධාන විරෝධතා පැවැත්වීමට නියමිත ජන්තර මන්තර ප්‍රදේශය ආරක්ෂක අංශ විසින් වටකර ඇති අතර, පොලිස් සහ අර්ධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් නගරය පුරා යොදවා තිබේ. එමෙන්ම, මෙට්‍රෝ දුම්රිය සේවා සහ ප්‍රවාහන කටයුතුවලට සීමා පැනවීමටත්, ඇතැම් ප්‍රදේශවල ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම විරෝධතාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින විරෝධයයි. එම සංශෝධන හේතුවෙන් ඡන්ද හිමි නාමලේඛනවලින් විශාල පිරිසකගේ නම් ඉවත් කර ඇති බවටත්, එම ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසිදායක වන බවටත් විපක්ෂය චෝදනා කරයි.
විරෝධතාවට අදාළව ප්‍රධාන සංවිධායකයන් ඇතුළු 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඡන්ද හිමි නාමලේඛන සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඉන්දීය මැතිවරණ කොමිසම සහ පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
මෙම සිදුවීමත් සමඟ ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳව යළිත් අවධානය යොමුව තිබේ.

