නීතිඥ වන්නිනායක හොයන්න පොලිස් කණ්ඩායම් තුනක් යොදවද්දී වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!

0
174

කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි වන්නිනායක මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේවෙතත් ඊයේ (14) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යු වුට්ලර් මහතා පැවසුවේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනිම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවයි.

එහිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ අදාළ සැකකාර නීතිඥවරයාට විරුද්ධව අධිකරණය මගින් ඉදිරි පියවර ගන්නා බවත් ඔහුට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සුවිශේෂී ප්‍රතිපාදන යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්ය.

ඒ අනුව පොලීසිය විසින් නීතිඥවරයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ මෙවැනි සිදුවිම් තුළින් නීතිය ඕනැම පුද්ගලයෙකුට සාධාරණව ක්‍රියාත්මක වන බවත් තමාට සිදුවන අසාධාරණයකට නීතියේ පිහිට පැතිය හැකි බවට ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන බවත්ය.

ආශිකා බ්‍රාහ්මණ