පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල ගැන හිටපු ඇමති ටිරාන් අලස් කියන්නේ කුමක් ද?

0
250

හිටපු අමාත්‍ය ටිරාන් අලස් විසින් කරනු ලැබ ඇති අක්වෙරළ අයෝජන දෙකක් පිළිබඳව ජන අරගල සන්ධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විනිමය පනත උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් දූපතේ Bahama Ventures Limited සහ Bromption Propertiesහි පිළිවෙළින් බ්‍රිතාන්‍යය පවුම් 1,550,000ක් සහ 1,400,100ක අයෝජන සිදු කර ඇතැයි ඔක්තෝබර් 14 වන දා ජන අරගල සන්ධානය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) මගින් ‘පැන්ඩෝරා පත්‍රිකා’ හරහා ද මෙම අයෝජන පිළිබඳ හෙළි කර ඇති බව ද එම පැමිණිල්ලේ දැක්වේ.

පැන්ඩෝරා පත්‍රිකාවල ටිරාන් ගැන ඇතුළත්ව ඇත්තේ මොනවා ද?

පැන්ඩෝරා පත්‍රිකා දත්ත සමුදායේ විදේශ වත්කම් ඇති බවට හඳුනාගෙන ඇති පළමු ශ්‍රී ලාංකික අමාත්‍යවරයා, හිටපු අමාත්‍ය ටිරාන් අලස් බව 2023 වසරේදී පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය ප්‍රසිද්ධ කරමින් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය නිවේදනය කර තිබිණි.

ජනමාධ්‍ය ආයතන හිමිකරුවෙකු සහ දේශපාලනඥයකු වන ටිරාන් අලස්ට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගම් දෙකක් හිමි බව එහි සඳහන් විය.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ප්‍රසිද්ධියට පත්වූ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වන්නේ Brompton Properties Ltd සමාගමට අයත් ලන්ඩනයේ ධනවත් ප්‍රදේශයක මහල් නිවාසයක් ඇති බව සහ එය 2006දී ඩොලර් 960,000කට පමණ මිල දී ගෙන ඇති බව ය.

එමෙන් ම හිටපු අමාත්‍යවරයාට අයත් බව පැවසෙන Banham Ventures Ltd සමාගමට චෙල්සියා ප්‍රදේශයේ දේපළක් 2008 වසරේ සිට හිමිකාරීත්වයේ පවතින බව එහි දක්වා තිබේ.

‘ඔය දේපළවලට අදාළව තොරතුරු ප්‍රමාණයක් භාර දුන්නා’

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පැවසුවේ සාක්ෂි සහිත ලේඛන කිහිපයක් ද පැමිණිල්ල සමග භාර දුන් බව ය.

“පැමිණිල්ලට අදාළව ලේඛන වගයක් අපි භාර දුන්නා එයාගේ ඔය දේපළවලට අදාළව තොරතුරු ප්‍රමාණයක් භාර දුන්නා.”

ලංකාවේ ආර්ථිකයට තියුණු බලපෑමක් කළ නීතිවිරෝධී අක්වෙරළ ආයෝජන පිළිබඳ සොයා බැලීම සඳහා ආරම්භයක් ලෙස සිය පැමිණිල්ල කෙරෙහි හදිසි අවධානයක් යොමු කරන ලෙස ද ජන අරගල සන්ධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි‍යි.

‘CID එකෙන් එන්න කිව්වා ම පැත්ත පළාතේ ආවේ නැහැ’

ඕන විමර්ශනයක් කරන්න කියන්න, ඕන ම විමර්ශනයක් කරන්න කියන්න,” අදාළ චෝදනා සම්බන්ධ ඕනෑ ම විමර්ශනයකට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය ටිරාන් අලස් මෙම පැමිණිල්ල සම්බන්ධව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

දුමින්ද නාගමුව මීට ඉහතදී තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මෝල්ටාවේ අයෝජන කර ඇති බව පැවසූ බවත් ඔහු ඊට එරෙහිව කරන ලද පැමිණිල්ල ද මගහරින බවත් හිටපු ඇමතිවරයා පැවසීය.

“එක පාරක් ඔය දුමින්ද නාගමුවමනේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කිව්වේ ජනාධිපති අනුර දිසානායකයි, මායි එකතු වෙලා මෝලාටාවේ සල්ලි දැම්මා කියලා. ඒකට CID එකට මම කම්ප්ලේන් කෙරුවා. CID එකෙන් එන්න කිව්වා ම පැත්ත පළාතේ ආවේ නෑ. අන්තිමට CID එක උසාවියට ෆැක්ට්ස් රිපෝර්ට් කෙරුවා මෙයා එන්නේ නැහැ කියලා. ඒ වගේ කතා තමයි ඔය, ඕවා මම ගණන් ගන්නේ නැහැ. ඕවට මම උත්තර දෙන්නෙත් නැහැ,” යැයි හිටපු අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පැවසුවේය.

මීට පෙර අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්ව යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ව්‍යාපාරයක් පවත්වා ගෙන යන බව 2023 අගෝස්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

බීබීසී සිංහල