*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

NPP හැටන් ප්‍රකාශයට අත්සන් තබයි!

කොළඹ LNW: ජාතික ජන බලවේගය විසින් ඊයේ (15) හැටන් නගරයේ DKW ශාලාවේ පැවැත් වූ සමුළුවේ දී ‘හැටන් ප්‍රකාශය’ට අත්සන් තබා තිබේ.

දෙමළ ජනයා මෙරටට රැගෙන විත් වසර දෙසීයක් පිරෙන මොහොතේ එම ජනතාව ‘කඳුකර දමිළ’ ලෙස හැඳින්වීමට මෙරට දේශපාලන පක්ෂයක් එකඟ ව ඒ පිළිබඳව ප්‍රකාශනයකට අත්සන් තැබූ පළමු අවස්ථාව මේ බවයි පැවසෙන්නේ.

මෙම ප්‍රකාශනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වෙන්වෙන්ව ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ සම්බන්ධව ප්‍රකාශන තුනටම පිරිස වෙන්වෙන්ව අත්සන් තබා තිබීම විශේෂත්වයක්.

මෙම හැටන් ප්‍රකාශයේ සිංහල මාධ්‍ය ප්‍රකාශය සඳහා අත්සන් කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, නීතීඥ ලාල් විජේනායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, නුවරඑලිය දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක මංජුල සුරවීරආරච්චි, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සම්බන්ධීකාරක, ජාතික විද්වත් සංවිධානයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අජිත් සෝමවික්‍රම, ව්‍යාපාරික සිසිත රසාංජන සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින්.

ප්‍රකාශනයේ දෙමළ මාධ්‍ය පරිවර්තනය සඳහා විජය කුමාර්, ආචාර්ය පෙරුමාල් සිවප්‍රකාශම්, අයිතීන් උදෙසා කාන්තා‌‌වෝ සංවිධානයේ සභාපතිනි ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සරෝජා සාවිත්‍රී ‌පෝල්රාජ්, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්, සමස්ත ලංකා වතුකම්කරු සම්මේනයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අත්සන් තබා ඇත.

හැටන් ප්‍රකාශයේ ඉංග්‍රිසි මාධ්‍ය පරිවර්තනය සඳහා අත්සන් කළේ ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක සභික නීතීඥ අනුෂ්කා දර්ශනී තිලකරත්න, ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සංවිධායක සුන්දරලිංගම් ප්‍රදීප්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික ලේඛක සදීස් සෙල්වරාජ්, නාට්‍යවේදී මුනියන්ඩි කාලිදාස්, ලංකා ගුරුසේවා සංගමයේ ආගරපතන කොට්ඨාසයේ ලේකම් රිචඩ් රොහාන් සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය – මස්කෙළිය ආසන සභික විදුහල්පති කරුපන්නන් රාමරාජ් විසින්.

මේ එම හැටන් ප්‍රකාශනයේ සම්පූර්ණ සිංහල ප්‍රකශය යි

“කඳුකර දමිළ ප්‍රජාව වසර 200ක ඉතිහාසය සංස්කෘතිය සහ අරගලය ‘මව්බිමට ජවයක් – ගෞරවණීය පුරවැසියෙක්’ ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය, හැටන් ශ්‍රී ලංකාව.

පූර්විකාව

දේශපාලන ව්‍යාපාරයක්‌ වන ජාතික ජන බලවේගයේ නියෝජිතයන්‌ වන අපි, ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ, තරුණ කණ්ඩායම්, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ කඳුකර දමිළ ප්‍රජාව සමඟ සම්බන්ධ සිවිල්‌ සමාජ සංවිධාන යන සියලු දෙනා කඳුකර දමිළ ප්‍රජාවගේ ජාතික සමුළුව සඳහා 2023 ක්‌ වූ ඔක්තෝබර් මස 15 දින ශ්‍රී ලංකාවේ හැටන්‌ නගරයේ දී රැස්වුණෙමු.

කඳුකර දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක්‌ සපිරෙන අතර, පසුගිය සියවස්‌ දෙකක කාලය තුළ ඔවුන්‌ විසින්‌ වැවිලි හා ජාතික ආර්ථිකයට කරන ලද දායකත්වය අප රටෙහි සමාජ ආර්ථික සංවර්ධනය බල ගැන්වීය. කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා තමන්ගේ ශ්‍රමය වැඩි ප්‍රමාණයක්‌ සපයන ජන ප්‍රජාවකි. මෙම කඳුකර දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවේ වෙහෙස මහන්සි වී වැඩකරන සහ ජාතික ශ්‍රම බලකායේ වඩාත්ම ඵලදායී කම්කරුවන්‌ අතරට අයත්‌ වෙති. තවද රටේ ආර්ථිකයට සෘජු බලපෑමක්‌ ඇති කරමින්‌ ජාතික සංවර්ධනයට ඉමහත්‌ දායකත්වයක්‌ ලබාදෙති.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ 1820දී පමණ මෙම ප්‍රජාව වතු කම්කරුවන් සහ යටිතල පහසුකම් ඉදිකිරීමේ කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන චන ලද්දේ අර්ධ වහලුන්‌ ලෙසය. 19වැනි ශත වර්ෂයේ මුල්‌ භාගයේ දී කෝපි වගාවද අනතුරුව තේ වගාවද, ඉන්‌ අනතුරුව රබර්‌ වගාවද ආරම්භ කිරීමෙන්‌ පසු, 1970 දී වතු ඉඩම් ජනසතු කිරීම සහ 1992 වතු කළමනාකරණය පෞද්ගලීකරණය කිරීම ඇතුළුව වතු පද්ධතිය වෙනස්කම්‌ කිහිපයකට භාජනය විය. එමෙන්ම 1920 වසරේ සිට වතු ආර්ථිකයට වෘත්තීය සමිතිවල වර්ධනය හා ව්‍යාප්තියද බලපා ඇත.

ශ්‍රී ලංකාවේ වතුකරය තුළ සහ ඉන්‌ බාහිරව කඳුකර දමිළ ප්‍රජාව මිලියනයකට ආසන්න පිරිසක්‌ ජීවත්‌ වෙති. කෙසේ වෙතත්‌, ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රදේශ සංවර්ධනය කිරීමට සහ නඩත්තු කිරීමට පමණක්‌ නොව රටේ ආර්ථිකය නංවාලීමට ජීවිතය කැප කළ මෙම ජනතාව වසර ගණනාවක්‌ පුරා විවිධ ආකාරයේ පීඩාවන්ට, ජාතිකත්ව වෙනස්‌ ලෙස සැලකීම්වලට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ලක්ව සිටිති. මෙම ජනතාවගේ දේශපාලන, සමාජ – ආර්ථික හා සංස්කෘතික අයිතීන්‌ සහ සංවර්ධනයට ඇති අයිතිය උල්ලංඝනය කර, ඔවුන්‌ රටේ දුප්පත්ම ජන කොටිඨාසයක්‌ බවට පත්කරනු ලැබ ඇත. මෙම ගැටලු බොහොමයක්‌ 1948 එක්සත්‌ ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින්‌ මෙම ජනතාවගේ පුරවැසි අයිතිය ඉවත්‌ කිරීමත්‌ සමඟ ඇති වූ ඒවාය. ඉන්පසු බලයට පත්‌ වූ සෑම ආණ්ඩුවක්මද වෙනස්‌ කොට සැලකීමේ ප්‍රතිපත්ති මගින්‌ එම තත්වය තවදුරටත්‌ උග්‍ර කළ අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ජනතාවගෙන්‌ බොහොමයකට වසර 35කට වැඩි කාලයක්‌ පුරවැසිභාවය නොමැතිව මෙරට තුළ ජීවත්වීමට සිදුවිය.

මෙම ප්‍රජාව දැන්‌ ශ්‍රී ලංකාවේ පුරවැසියන්‌ වුවද, ඔවුනට හිමි ඇතැම් සේවාවන්‌ වෙත ප්‍රවේශ වීමේ දුෂ්කරතා තවමත්‌ පවතී. කඳුකර දමිළ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට සාම්ප්‍රදායිකව ඔවුන්‌ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ප්‍රමාණවත්‌ වෙහෙසක්‌ සහ සැබෑ උත්සාහයක්‌ ගෙන නොමැති බව ජාතික ජන බලවේගය විශ්වාස කරයි. වත්මන්‌ රජය විසින්‌ අලුතින්‌ හඳුන්වා දෙන ලද කම්කරු පනත්‌ මගින්‌ කම්කරුවන් වශයෙන්‌ ඔවුන්ගේ මූලික අයිතීන්‌ පවා අහිමි කිරීමට වත්මන්‌ ආණ්ඩුව හරහා ඇතැම් වතු සමාගම් උත්සාහ දරයි. ආණ්ඩුවේ වගකීම් දරන ඇතැම් වතුකරයේ නායකයන්ද, සාම්ප්‍රදායික වතු කම්කරු ව්‍යාපාර සහ දේශපාලන පක්‍ෂද එය වැළැක්වීමට උත්සාහ නොගන්නා බව පෙනී යයි. වත්මන්‌ ආණ්ඩුව යෝජිත කම්කරු පනතට ඇතුළත්‌ කර ඇති කම්කරු නීති සංශෝධන මගින්‌ 1930 දී කම්කරු කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කඳුකර දමිළ නියෝජිතයෙකු වූ පෙරි සුන්දරම් මහතාගේ ධුර කාලයේ දී හඳුන්වා දුන්‌ වෘත්තීය සමිති ආඥා පනත, කම්කරු වන්දි ආඥා පනත සහ අවම වැටුප්‌ ආඥා පනත වැනි නීති මගින්‌ සහතික කර ඇති කම්කරු අයිතිවාසිකම්‌ බොහොමයක්‌ ඉවත්‌ කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රජය මෙම ප්‍රජාවගේ ගෞරවණීය පුරවැසිභාවය සහතික කරන්නා වූ ප්‍රතිපත්ති රාමුවක්‌, ක්‍රියාකාරි වැඩසටහනක්‌ සහ යාන්ත්‍රණයක්‌ ආරම්භ කළ යුතු බව ජාතික ජන බලවේගය ලෙස අපි විශ්වාස කරමු.
මෙම පසුබිම අගය කරමින්‌, අපි මෙසේ ප්‍රකාශ කර සිටිමු.

අනන්‍යතාවය

මෙම ජනතාව තමන්ව හඳුන්වන නාමය කඳුකර දමිළ වේ. ජාතික ජන බලවේගය විසින්‌ මෙම ජනතාව තමන්‌ ‘කඳුකර දමිළ’ ලෙස කරනු ලබන හඳුනා ගැනීමට ගරු කර පිළිගන්නෙමු.

ඉඩම් සහ නිවාස

කඳුකර දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ නිවාස ගැටලුවයි. 2012/2013 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව ඔවුන්ගෙන්‌ 67.8%ක්‌ තවමත්‌ ජීවත්‌ වන්නේ ලයින්‌ කාමර තුළ වන අතර, ජාතික ජන බලවේගය පාලනයක්‌ විසින්‌ කඳුකර දමිළ ජනතාව සමෘද්ධිමත්‌ ප්‍රජාවක්‌ ලෙස ඔවුන්ගේ සංවර්ධනයට උපකාර චන නිවාස යෝජනා ක්‍රම මගින්‌ ඔවුන්ට ජීවත්වීමට සුදුසු නිවාස ලබාදීමේ වැඩසටහනක්‌ ආරම්භ කරනු ඇත. ඇතැම් කම්කරුවන් වතු රැකියාවෙන්‌ ඉවත්ව යන විට ඔවුන්ගේ නිවෙස්වලින්‌ බලහත්කාරයෙන්‌ ඉවත්‌ කිරීමට උත්සාහ කෙරේ. ජාතික ජන බලවේගයේ පාලනයක්‌ එවැනි ක්‍රියා වළක්වනු ඇත. බොහෝ පවුල්‌ මුදල්‌ සහ ශ්‍රමය වැය කර, තම නිවාස ඉදිකරනු ලැබුවද, ඉඩම් සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ පිළිගත්‌ ඔප්පුවක්‌ තවමත්‌ නොමැත. ඔප්පු නොමැති ගැටලුව මෙම ප්‍රජාවට පමණක්‌ නොව රටේ අනෙකුත්‌ පළාත්වල ජනපදවාසීන්ද මුහුණ දෙන ගැටලුවක්‌ වන අතර, මෙම ගැටලුවට සාධාරණ විසඳුමක්‌ සෙවීමේ සහ කඳුකර දමිළ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වල බාධාවකින්‌ තොරව අඛණ්ඩව පදිංචි වීමට ඇති ඉඩම් අයිතිය ජාතික ජන බලවේගය විසින්‌ තහවුරු කරනු ලැබේ. වතුකර ප්‍රදේශවල වගා නොකළ ප්‍රදේශ සහ අත්හැර දමා ඇති ඉඩම්‌, කඳුකර දමිළ ප්‍රජාවේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගනු ඇත.

පොදු සේවාවන්‌ සඳහා ප්‍රවේශය

2021 දත්ත අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්‌ පිළිවෙළින්‌ 225,483ක සහ 232,466ක ජනගහනයක්‌ ආචරණය කරයි. විශේෂයෙන්ම කඳුකර දමිළ ප්‍රජාවට රාජ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීමේදී මෙය බාධාවක්‌ වී ඇත. කඳුකර දමිළ ප්‍රජාවට ග්‍රාම නිලධාරී කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතන වෙත ප්‍රවේශ වීමේ ගැටලුව රාජ්‍ය සේවා ලබාගැනීමේ දී ඔවුන්‌ මුහුණ දෙන පද්ධතිමය අසමාන සැලකීම්වලට හේතුව බව ජාතික ජනබලවේගය හඳුනාගන්නා අතර, එය එසේ නොවිය යුතු බව තරයේ විශ්වාස කරමු. සාධාරණ සීමා නිර්ණය සහ ජාතික ප්‍රමිතීන්‌ මත පදනම්ව වතුකර ප්‍රදේශවල ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා පුළුල්‌ කිරීමද, ප්‍රාදේශීය සභා පිහිටුවීමට අවශ්‍ය වේ. මෙම කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ වතුකර ප්‍රදේශවල සේවය කරන අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද්විභාෂා එනම් සිංහල හෝ දමිළ ජනතාව සමඟ ඔවුන්ගේම භාෂාව සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ඇති නිලධාරීන් බවට සහතික කිරීමට ජාතික ජන බලවේගයේ පාලනය ක්‍රියා කරනු ඇත. මෙම ප්‍රජාවට සේවය කිරීම සඳහා ග්‍රාම සේවා පද්ධතිය පුළුල්‌ කළ නොහැකි නම්, කඳුකර දමිළ ප්‍රජාවේ සියලුම පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත වැනි මූලික ලියවිලි ඇතුළුව ඔවුන්ට හිමි විය යුතු සියලු රාජ්‍ය සේවාවන්‌ ලබාදීම සඳහා සමාන සේවාවක්‌ ස්ථාපිත කිරීමට ජාතික ජන බලවේගය ලෙස අපි කටයුතු කරමු. කඳුකර දමිළ ප්‍රජාවට, රජයේ සේවාවන්ට වඩා හොඳ ප්‍රවේශයක්‌ ලබාදීම සඳහා 2018 අංක 32 දරන වැවිලි කලාපයේ නව ගම්මාන සංවර්ධන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට කටයුතු කරනු ඇත.

අධ්‍යාපනය

කඳුකර දමිළ ප්‍රජාව වැඩි වශයෙන්‌ ජීවත්‌ වන ප්‍රදේශවල නේවාසික පහසුකම්වලින්‌ සමන්විත උසස්පෙළ විද්‍යාව හා ගණිතය ඉගැන්වීමට හැකි 1 A B පාසල්ද, ජාතික පාසල්‌ තාක්ෂණික විද්‍යාල අධ්‍යාපන පීඨ සහ විශ්වවිද්‍යාලද ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවකි. මෙම තත්වය හේතුවෙන්‌ කඳුකර දමිළ ප්‍රජාවගේ අධ්‍යාපන ප්‍රවේශය සාපේක්ෂ වශයෙන්‌ සීමා වී ඇත. විශේෂයෙන්‌ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන්‌ සඳහා සුදුසුකම් ලත්‌ ගුරුවරුන්ගේ බරපතළ හිඟයක්ද පවතී. ජාතික ජන බලවේගය විසින්‌ කඳුකර දමිළ දරුවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රවල ධනාත්මක වෙනසක්‌ සහ සමාන අවස්ථාවක්‌ සහතික කරනු ඇත.

සෞඛ්‍යය

වතු සෞඛ්‍ය සේවා ජාතික සෞඛ්‍ය පද්ධතියෙන්‌ හුදකලා වී ඇත. මෙමගින්‌ ප්‍රශ්න රාශියක්‌ නිර්මාණය චී ඇති අතර, රටේ නාගරික සහ ග්‍රාමීය කොටස්වලට සාපේක්ෂව කඳුකර දමිළ ජනතාවට සෞඛ්‍ය ප්‍රතිලාභ අහිමි කරනු ලැබ ඇත. මේ වන විට වතුකරයේ බොහෝමයක්‌ බෙහෙත්‌ ශාලා වැසී ගොස්‌ ඇති අතර, ඇතැම් වතු ප්‍රදේශවල බෙහෙත්‌ ශාලා පැවතියද ඒවායේ තත්වය ඛේදජනකය. කඳුකර දමිළ ප්‍රජාවගේ සෞඛ්‍ය ව්‍යුහය ජාතික සෞඛ්‍ය පද්ධතියට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කර සමාන සෞඛ්‍ය පහසුකම්‌ ලබා දෙනු ඇත.

ආදායම සහ වේතනය

වතු කළමනාකරණයේ වත්මන්‌ ක්‍රමය අසාර්ථක වී ඇත. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක්‌ මත සමාගම් 22කට වතු කළමනාකාරීත්වය භාර දී ඇත.

අවාසනාවකට මෙන්‌, ඇතැම් සමාගම්වල එකම කළමනාකරණ උපායමාර්ගය ලෙස පෙනී යන්නේ කම්කරුවන් භුක්ති විඳින ඕනෑම මූල්‍ය සහ වෙනනත්‌ අයිතීන්‌ අහිමි කිරීමෙන්‌ ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීමයි. පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ මෙන්ම දැනට රාජ්‍ය අයිතියේ ඇති වතුවල කම්කරුවන්ට, දෛනික වැටුප්‌ ලබන අනෙකුත්‌ කම්කරුවන් හා සසඳන විට ලැබෙන්නේ අඩුම වැටුපකි. මෙම තත්වය ඔවුන්‌ දරිද්‍රතාවයට තල්ලු කරයි. සමාගම්වල කම්කරු විරෝධී ක්‍රියා අතරට ස්වාධින අනියම්‌ සේවකයන්ගේ සේවක පදනමක්‌ පිහිටුවීමේ පියවරක්‌ වන බාහිර වගා ක්‍රමය (outgrow system) පුළුල්‌ කිරීම, අත්තනෝමතික ලෙස සේවා ඉලක්ක සහ සම්මතයන්‌ නියම කිරීම සහ සේවා ඉලක්ක සාක්‍ෂාත්‌ කර නොගතහොත්‌ අර්ධ දින වැටුප්‌ ගෙවීම ඇතුළත්ය. නව කම්කරුවන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ වැටුප්‌ වැඩිකිරීම වතු කළමනාකාරිත්වයට දරාගත නොහැකි බව පවසමින්‌ ඔවුන්‌ යැපුම් මට්ටමේ වැටුපක දිගටම තබා ගැනීම විශාල ගැටලුවකි. ජාතික ජන බලවේගය විසින්‌ සමාගම්වල අර්ධ වැටුප්‌ වංචාව වළක්වනු ඇති අතර, ලාභ සඟවන්නේද නැතහොත්‌ සමූහ ව්‍යාපාර වෙත හෝ ඒකාබද්ධ සමාගම් වෙත මාරු කරන්නේද යන්න පරීක්ෂා කරනු ඇත. එසේම පාඩු ලබන බව ප්‍රකාශ කරන සමාගම්‌ රජයේ විගණනයකට යටත්‌ කරනු ඇත. ඇත්ත වශයෙන්ම පාඩු ලබන්නේ නම්, වත්මන්‌ සමාගම්වලට බදු දීම නැවත පරීක්‍ෂා කර, සේවක සේවිකාවන්ට යහපත්‌ රැකියා පරිසරයක්‌ සහ ප්‍රමාණවත්‌ වැටුපක්‌ ලබාදීමට සූදානම් සමාගම්වලට වතු ලබාදෙනු ඇත. දැනට ඇති රජයේ වතුවල සේවය වෙනුවෙන්ද ප්‍රමාණවත්‌ වැටුපක්‌ සහතික කෙරෙනු ඇත.

දරිද්‍රතාවය

කඳුකර දමිළ ජනතාව රටේ වඩාත්ම දරිද්‍රතාවයෙන්‌ පෙළෙන ජන කොටසක්‌ ලෙස හඳුනාගනු ලැබ ඇත. මෙම ජනතාවගේ දරිද්‍රතා මට්ටම, ග්‍රාමීය ජනගහනය සඳහා 1.90; හා සසඳන විට 8.8%ක්‌ වන අතර (HHI & ES 2017) මෙම ගැටලුව විසඳීමට ක්‍රියාශීලි සහ ඵලදායී පියවර ගනු ඇත.

කාන්තාවන්ට වෙනස්‌ කොට සැලකීම

කඳුකර දමිළ කාන්තාවන්‌ වතු ක්ෂේත්‍රයේ කොඳු නාරටියයි. කාන්තා ශ්‍රම බලකායේ ශක්තිය වතුකරයේ වැඩිම අගයක්‌ ගනී. (මෙය නුවරචළියේ 52%ක්‌ පමණ අගයකි.) ජාතික ජන බලවේගය විසින්‌ විධිමත්‌ හා අවිධිමත්‌ රැකියාවල දී කඳුකර දමිළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ ගෞරවය සහතික කරනු ඇත. කඳුකර දමිළ කාන්තාවන්ට නිසි තැන මේ වන විටත්‌ ලැබී නැත. වතුකරයේ ස්ධීක්ෂක හෝ ක්ෂේත්‍ර නිලධාරී තනතුරු වලට පමණක් නොව වෘත්තීය සමිති නායකත්ව තනතුරු වලටද පැමිණීමට කාන්තාවන්ට බාධා එල්ල වේ. මේ තත්වය තුළ වතු අංශයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙනස්කම කඳුකර දමිළ කාන්තාවන්ගේ සූරාකෑම හා වෙනස් කොට සැලකීම ඉස්මතු කර දක්වයි. ජාතික ජන බලවේගය විශ්වාස කරන්නේ, වඩා හොඳ ඵලදායීතාවයක් සහ වැඩි දියුණු කළ සේවක සේව්‍ය සබඳතා සඳහා කළමනාකරණ තීරණ ගැනීමේ දී කම්කරුවන් සම්බන්ධ කර ගැනීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම යෝජනා ක්‍රම මගින් කඳුකර දමිළ කාන්තාවන්ට වතුකරයේ ප්‍රජාව තුළ කැපී පෙනෙන භූමිකාවක් ලැබෙන අතර, එමඟින් ඔවුන්ට සමානාත්මතාවය හිමිවනු ඇත.

රටේ විවිධ පළාත් වල විසිර සිටින කඳුකර දමිළ ජනතාවගේ විවිධ සංස්කෘතික, සමාජීය සහ ආර්ථික ගැටලු පිළිබඳව සවිඥානිකව සිටින අපි, ඔවුන් මුහුණ දෙන්නා වූ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන්නෙමු.

මෙම ප්‍රකාශය පිළිගන්නා ජාතික ජන බලවේගය වන අපි, ජාතික ජන බලවේගයේ පාලනයක්‌ තුළ මෙම යෝජනා කියාත්මක කිරීමෙන්‌ කඳුකර දමිළ ජනතාව දරිද්‍රතාවයෙන්‌ සහ පසුගාමිත්වයෙන්‌ මුදා ගන්නා අතරම වඩා හොඳ ජීවන මට්ටමක්‌ ඔවුන්ට සහතික කරන්නෙමු. කඳුකර දමිළ ජනතාවගේ මානව හිමිකම්‌ ආරක්ෂා කරමින්‌, ඔවුන්‌ ගෞරවණීය ශ්‍රී ලාංකික පුරවැසියන්‌ ලෙස ඔසවා තබන බවට මෙයින්‌ සහතික කරන්නෙමු.

2023 ඔක්තෝබර් 15 දින දී ය”.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan