*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ජන සභා අහෝසි කර ලේකම් කාර්යාලයත් වසා දැමීම ගැන නිවේදනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

සක්‍රීය ජනතා සහභාගීත්වයක් තහවුරු කරන සහභාගීත්ව ප්‍රජාතාන්ත්‍රවාදී ආකෘතියක් ලෙස බලාත්මක කිරීමට සැකසුණු “ජන සභා” සංකල්පය පසුගිය සැප්තැම්බර් 30 දා සිට බලපවත්නා පරිදි රජය විසින් අහෝසි කර “ජන සභා ලේකම් කාර්යාලය” ද වසා දමා ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.


‘‘ජාතික ජන සභා’’ සංකල්පය අක්‍රීය කිරීමට ගනු ලැබු තීරණය පිළිබඳවයි

සක්‍රීය ජනතා සහභාගීත්වයක් තහවුරු කරන සහභාගීත්ව ප්‍රජාතාන්ත්‍රවාදී ආකෘතියක් ලෙස බලාත්මක කිරීමට සැකසුණු ‘‘ජන සභා’’ සංකල්පය පසුගිය සැප්තැම්බර් 30 දා සිට බලපවත්නා පරිදි රජය විසින් අහෝසි කර ‘‘ජන සභා’’ ලේකම් කාර්යාලය ද වසා දමා ඇත.

‘‘ජන සභා’’ සංකල්පය රටට හඳුන්වා දෙන ලද්දේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසිනි. ඒ සඳහා උපයෝගී කරගන්නා ලද්දේ මහත්මා ගාන්ධිතුමා විසින් හඳුන්වා දුන් දැනට ඉන්දියානු ව්‍යවස්ථාගතව ඇති ‘‘පංචායත් සංකල්පය’’ යි. එය ශ්‍රී ලංකාවට අනුරූපව අප විසින් සකස් කරනු ලැබ ඇත. එහි දී අප උනන්දු වූයේ ගම පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියකට පරිධියේ සිටින ජනතාවගේ සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ස්වේච්ඡා ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීම ය. එවැනි සමාජ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි නිදහසින් පසු අවස්ථා ගණනාවක දී ම අවධානය යොමු වී තිබිණි. 1971 සහ 1989 තරුණ අසහනය, 2022 අප දුටු තරුණ නැගිටීම එවැනි හැඟීම් පිළිඹිබු වූ අවස්ථා ලෙස අපි දකිමු.

ඒ අනුව ඈත අතීතයට විහිදී ගිය ගම් සභා ක්‍රමය, ඉන් පසු පළාත් පාලන ව්‍යුහය, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල සාර්ථකව දියත් කර ඇති ‘‘ජන සභා’’ බඳු සංකල්ප සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් අධ්‍යයනය කර සමාජගත කරන ලදි. එම යෝජනාවට සමාජයේ ඉහළ පිළිගැනීමක් ද හිමි විය.

2022 වසරේ එවකට පැවති රජය මෙම මූලික සංකල්පය පිළිගෙන 2023 ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට ද ඇතුළත් කර, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලබා දී හිටපු සිවිල් සේවා නිළධාරියකු ලේකම්වරයා ලෙස සහ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුගෙන් සමන්විත කාර්යාලයක් වෙන් කර දී, එය ක්‍රියාත්මක විය. රජයේ ඉල්ලීම පරිදි අපගේ සහභාගීත්වය ද පූර්ණ වශයෙන් ලබා දෙනු ලැබිණි. අත්හදා බැලීමක් වශයෙන් කැබිනට් අනුමැතිය අනුව දිස්ත්‍රික්ක 24 ක ආදර්ශ ‘‘ජන සභා’’ 29ක් පිහිටුවා ඇති අතර මේ සෑම ආයතනයක් ම ඉතාමත්ම සාර්ථකවඉදිරියට යමින් පැවතිණ. ආදිවාසී නායකතුමන් ද දැඩි උනන්දුවකින් මේ වෙනුවෙන් කැප වී සිටින බව ලිඛිතවම ප්‍රකාශ කර ඇත. මෙම සංකල්පය පිළිබඳව පුද්ගලයින් 114000 ක් සමග පැවති සංවාදවල දි ඔවුන් ද මෙම වැඩපිළිවෙළ ඉහළ ඇගයීමකට ලක් කර ඇත. එමෙන් ම මේ රටේ සර්ව ආගමික නායක උතුමන්ලා මෙන් ම ප්‍රජා මූල සංවිධාන බොහෝමයක් මෙම සංකල්පයේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් සැම විටම අප දිරිමත් කළ බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

කරුණු එසේ වුවද මේ රටේ ග්‍රාමීය ජනතාව තම පක්ෂ යාන්ත්‍රණ තුළ සිරකරුවන් ලෙස තබාගැනීමට අපේක්ෂා කළ පසුගිය රජයේ දේශපාලකයින් කිහිපදෙනකු මේ සඳහා සහයෝගය නොදුන් නිසා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට අවශ්‍ය පාර්ලිමේන්තු නිර්දේශ ලබා දීම ප්‍රමාද විය. පාර්ලිමේන්තුවේ සිටි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ අති බහුතරයක් සහ සමාජයේ බහුතරයක් දෙනා මෙම සංකල්පය ඉහළින් පිළිගෙන ඇතත් පසුගිය රජය තුළ කටයුතු කළ පසුගාමි සුළු පිරිසක් නිසා මෙම සංකල්පය ඉදිරියට ගෙනයෑමට බාධා ඇති විය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිවිල් ව්‍යාපාරයක් වශයෙන් අප විසින් විවිධ අවස්ථාවල දී ඉදිරිපත් කළ යෝජනා දෙස පැවති ආණ්ඩු සිය අවධානය යොමු කිරීම අපට ධෛර්යයකි. ලංකාවේ ආණ්ඩුකරණයේ විප්ලවීය වෙනස් කිරීම් ඇති කිරීමට හැකි වූ 17වන සංශෝධනය, තොරතුරු දැනගැනීමෙ පනත යනාදි ඓතිහාසික පනත් බිහි කිරීමට මුල් වූ ක්‍රියාකාරීන් තවමත් අප සමග සක්‍රීයව කටයුතු කරමින් සිටී.

මැතිවරණ වියදම් හා අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම, අල්ලස් හෝ දූෂණ විරෝධී පනත යනාදි වැදගත් පනත් ගෙන ඒමට එදා පැවති ආණ්ඩුව සහ හිටපු අධිකරණ අමාත්‍යවරයා සමග මේ රටේ සිවිල් සමාජය විශාල මෙහෙවරක් ඉටු කළේ ය. එමෙන්ම පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා නැවත සක්‍රීය කරවාගැනීම සහ ශක්තිමත් කරගැනීම සඳහා ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අනෙකුත් සිවිල් සංවිධාන සමග පෙරමුණ ගෙන ක්‍රියා කළේ ය.

මෙම පැහැදිලි කිරීම රජය ගත් තීරණයක් අභියෝගයට ලක් කිරීමක් නොවේ. මෙම සංකල්පයේ තත්කාලීන අවශ්‍යතාව සහ වැදගත්කම පෙන්වා දීමක් පමණි. එමෙන් ම රජය මෙවැනි තීරණයක් ගැනීමේදී ඒ ගැන අප බඳු සංවිධාන සමග සාකච්ඡා කළේ නම් එය රටේ පොදු යහපත උදෙසා පෙනී සිටින සිවිල් සමාජ සංවිධාන වෙත කළ හැකිව තිබූ ගෞරවයක් වන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

එමෙන්ම සමාජ යහපත පෙරදැරිව අප අපේක්ෂා කළ ජනසභා ක්‍රමය කුමන නාමකරණයකින් හෝ වේවා යථාර්ථයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේනම්, එයට අප සංවිධානය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

(සුනිල් ජයසේකර)
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2024.10.17

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan