සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ පොලිස් ස්ථානයට භාරදුන් සැකකරුවකු පොලිස් භාරයේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලාගෙන කොබෙයිගනේ පොලීසියට භාරදී ඇත්තේ පසුගිය 25 වනදා දහවල් වන අතර එයින් පසු ඔහු දින දෙකක් පොලිස් අත් අඩංගුවේ පසුවී ඇති බවත් 27 වනදා රාත්රියේ ඔහුව නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවත් සඳහන්.
මෙම මරණයෙන් අනතුරුව සැකකරු අල්ලා පොලීසියට භාරදුන් ගම්වාසීන් 05 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ද කොබෙයිගනේ පොලීසිය කටයුතු කර තිබේ.
එහෙත් අත් අඩංගුවට පත්වූ ගම්වාසීන්ගේ ඥාතීන් පවසන්නේ සැකකරු අල්ලාගෙන ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර කිසිදු උපද්රවයකින් තොරව ඔහුව පොලිසියට භාර දුන් බවත් ගම්වාසීන්ගෙන් යම් පහරදීමක් සිදුව තිබුණේ නම් ඒ මොහොතේම ඔහුව රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කළයුතුව තිබුණු බවත් ය.


