කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්රජා ශක්ති’ වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ක්රියාත්මක කිරීම සහ දැනට ක්රියාත්මක ග්රාමීය සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ග්රාමීය සංවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද ප්රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ සමුළුවක් ඊයේ (28) කිලිනොච්චිය, කරඩිප්පොක්කු ප්රදේශයේ ග්රීන් බාරතී ශාලාවේදී විෂයභාර අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විය.
එහිදී සමුළුව ඇමතූ අමාත්යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රකාශයක් උපුටා දක්වමින් සඳහන් කළේ, 2027 වසරේ අයවැය මඟින් සංවර්ධන වැඩසටහන් සඳහා ප්රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ, සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සීත කාමරවල සිට තීරණ ගැනීමේ පැරණි ක්රමවේදය වෙනුවට, ග්රාමීය ජනතාවගේ සැබෑ අවශ්යතා හඳුනාගෙන පහළ සිට ඉහළට සංවර්ධන සැලසුම් සකස් කිරීම ‘ප්රජා ශක්ති’ වැඩසටහනේ මූලික අරමුණ වන බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන සියලු ජනකොටස්වලට මෙන්ම, උතුර, නැගෙනහිර, දකුණ සහ බටහිර යන සියලු ප්රදේශවල ජනතාවට ද කිසිදු ජාතික, ආගමික හෝ ප්රාදේශීය භේදයකින් තොරව සමාන සංවර්ධන අවස්ථා උදාකර දීම වත්මන් රජයේ අරමුණ බව අමාත්යවරයා අවධාරණය කළේය. ඒ අනුව, ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සහ ග්රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් පොහොසත් රටක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව ද ඔහු සඳහන් කළේය.
තවද, ‘ප්රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්රික්කය සඳහා රුපියල් මිලියන 363ක සහ කිලිනොච්චි දිස්ත්රික්කය සඳහා රුපියල් මිලියන 324ක ප්රතිපාදන අනුමත කර ඇති බව ද අමාත්යවරයා ප්රකාශ කළේය.
ග්රාමීය සංවර්ධනය සඳහා රජය වෙන් කරන ප්රතිපාදන, දිස්ත්රික් ලේකම්වරුන්, ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්ය නිලධාරීන්ගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ, කිසිදු අවභාවිතයකින් තොරව ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සඳහා යෙදවිය යුතු බව ද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්රික් ලේකම් එස්. මුරලිදරන් මහතා, ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහනේ කිලිනොච්චිය දිස්ත්රික් නියෝජිත මෝගන් මහතා, ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ තිල්නි කරස්නාගොඩ මහත්මිය, ග්රාමීය සංවර්ධන කාර්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ප්රදීප් වික්රමගේ මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ප්රජා සංවර්ධන සභා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වූහ.


