සමෘද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතියට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW:

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීමේ වගකීම පැවරී ඇත්තේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතය. ඒ අනුව, 2029 වසර වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ අරමුණින් විවිධ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

ඒ යටතේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු මගින් 2%ක සහන පොලී අනුපාතයක් යටතේ ‘සවිබල’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා පහසුකම් සැලසීම, අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දී රැකියාගත කිරීම, ස්වයං රැකියාවල නිරතව සිටින පුද්ගලයන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම සහ වෙළෙඳපොළ අවස්ථා හඳුන්වා දීම මෙන්ම ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘සුව බොජුන්හල්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු සවිබලගැන්වීමේ වැඩසටහන් රැසක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන් තවදුරටත් වේගවත් කිරීම සහ ඒ පිළිබඳව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන 21,000කට ආසන්න සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ අරමුණින් ‘ප්‍රජා සවියට නව බලයක්’ යන තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි. එහි අවසන් වැඩසටහන පසුගියදා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි 1,400කට අධික සමෘද්ධි ප්‍රජාමූල බැංකු එකිනෙකට ජාලගත කරමින්, ඒකාබද්ධ හා ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි. එමගින් සමෘද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

‘අස්වැසුම’ වැඩසටහන හරහා ප්‍රතිලාභීන්ට සෘජු මූල්‍ය සහනාධාර ලබා දීම සිදු කෙරෙන අතර, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ අඩු ආදායම්ලාභී ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වසරේදී 24%ක් ලෙස පැවැති මෙරට දිළිඳුකමේ අනුපාතය 2026 ඔක්තෝබර් මාසය වන විට 15.8% දක්වා පහත වැටී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, වත්මන් රජය යටතේ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් විවිධ මූල්‍ය සහනාධාර ඉහළ නංවා ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, රුපියල් 8,000ක්ව පැවැති අස්වැසුම දීමනාව රුපියල් 10,000 දක්වාත්, රුපියල් 15,000ක්ව පැවැති දීමනාව රුපියල් 17,500 දක්වාත් ඉහළ නංවා තිබේ. එසේම, ආබාධිත දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වාත්, ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වාත්, වකුගඩු රෝගී දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වාත් ඉහළ නංවා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...

ඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

කොළඹ LNW:වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා...