NPP ආණ්ඩුවට තියෙන විශාලම අභියෝගය අධික ණය බරයි – චම්පික

Date:

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ලංකාවේ පවතින අධික ණය බර බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022 වසර වන විට ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 28 කට ආසන්න වී තිබූ බවත්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් බහුපාර්ශවීය ණය ඩොලර් බිලියන 11 ක් පමණ ද, ඉහත ණය මුදලට අමතරව ශ්‍රී ලංකාවට දරන්නට සිදු ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ පවත්නා ආර්ථික තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව පවත්වා ගෙන යමින් ඔවුන් විසින් පොරොන්දු වූ සුභසාධන පොරොන්දු පත්‍රය ඉටු කිරීමේ අභියෝගය බවද හෙතෙම කියා සිටියි.

2022 අප්‍රේල් මස 12 වෙනි දින ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකාව විසින් ගෙවා නොමැති ණය සහ පොළිය ඩොලර් බිලියන 8 ඉක්මවා තිබූ බව පවසන රණවක මහතා තවදුරටත් පවසන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය විසින් ඇති කර ගත් ගිවිසුමේ එකඟතා වෙනස් කිරීමට තමන් බලයට පත් වූ පසු කටයුතු කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ නමුත්, ඔවුන් තවදුරටත් එම ගිවිසුම මෙන්ම පසුගිය රජය විසින් ඉදිරියට ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යමින් සිටින බවයි.

පවතින ආණ්ඩුවේ බලධාරීන් තිදෙනා ආර්ථික විෂයය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් නොමැති බව පෙනී යන බවත් ඒ අනුව නිලධාරීන් විසින් දේශපාලකයන් කඩේ යවන තත්ත්වය රටට හිතකර නොමැති බවත් රණවක මහතා පවසයි.

”ණය තිරසරකරණ වැඩපිළිවෙළ (Debt Sustainability Analysis) ඉදිරියට ගෙන යාමේ අදහසක් නොමැති බව පැවසූ ජාතික ජන බලවේගය ඒ සඳහා ජනාධිපතිවරණ සමයේ විකල්ප වැඩපිළිවෙළක් ද ඉදිරිපත් කළේ නැහැ. නමුත් මේ වන විට එම ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට කටයුතු කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව, ණය සඳහා දළ දේශීය නිෂ්පාදිතය දරන අනුපාතය 2022 දී 128% ක් වූ අගය 2032 වන විට 95% දක්වා අඩු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය ආණ්ඩුව වෙත ලැබී තිබෙනවා. වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව එම ඉලක්කය සතුටුදායක එකක්. එමෙන්ම දළ මූල්‍යනය අවශ්‍යතාව 2022 දී 34.6% ක් වූ අතර, එය 2032 වසර වන විට 13% කට වඩා අඩු කිරීම සහ 2022 දී 9.2% ක් වූ විදේශ ණය අනුපාතය 2027 – 2032 වන විට 4.5% දක්වා අඩු කර ගැනීම අපේක්ෂිතයි.”

රණවක මහතා මෙම අදහස් දක්වා සිටියේ “මහජනයා පැතූ ‘වෙනස’ නව රජයට උදා කළ හැකි වේද?” – නව රජයෙන් මහජනයා බලාපොරොත්තු වන ආර්ථික, සමාජීය සහ දේශපාලනික වෙනස යථාර්ථයක් කිරීමේ අභියෝගය යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඊයේ (04) සංවිධානය කෙරුණු ‘ජනරජ කතිකාව’ සාකච්ඡාමය වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...