උපාලි කොළඹගේ
කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තවමත් ඇමරිකාවේ ජනාධිපති වුණත් ඇමරිකානුන් බහුතරය අතින් ඔහු පරාජයට පත්වී ඇත. ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව කොන්ග්රසය (සෙනට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) එක පක්ෂයක හා ජනාධිපති තව පක්ෂයක වීම සාමාන්‍ය ව්‍යවස්ථානුකූල සිදු වීමක් වුවද මෙවර එය සුවිශේෂ සිදු වීමක්ය යන්න දේශපාලන විචාරකයන්ගේ මතයයි. රේගන්, බිල් ක්ලින්ටන්, ජෝ බයිඩන් යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හිද පැවති මධ්‍යවාර මැතිවරණවලදී මේ ආකාරයට කොංග්රස් බලය එක් පක්ෂයකට හා ජනාධිපති වෙනත් පක්ෂයට හිමි වූ අවස්ථා ඇතිමුත් එම ජනාධිපතිවරුන්ගේ නිල කාලය සම්පූර්ණ කර ගැනීමට හැකි විය.
එහෙත් මෙවර ලෝක දේශපාලනය තුළ මෙය සුවිශේෂ වී ඇත්තේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ට්‍රම්ප්ගේ වැඩ කිඩ ගැන මනා අවබෝධයක් ඇති නිසාය. ඔහු දේශපාලන වශයෙන් දඩබ්බරයෙකි. නාහෙට නාහන පුද්ගලයෙකි. ට්‍රම්ප්ගේ පාලන සමයන්හි කලින් ඔහු විශ්වාසය තැබූ රාජ්‍ය තන්ත්රයේ උසස් නිලධාරීන් රැසකට සිය පදවි හැර යෑමට සිදුවිය.
තමන් කටින් කියන දේ රටේ නීතිය බවට වූ රාජපක්ෂ තියරිය අකුරටම අත්හදා බලමින් සිටින රාජ්‍ය නායකයෙකි ඩොනල්ඩ් ට්‍රම්ප්.
අපේ රටේ දේශපාලනයට ට්‍රම්ප්පච්චිගේ දේශපාලනය සමපාත වන්නේ මේ නිසාවෙනි. ඇමරිකානුවන් තවම ට්‍රම්ප් ගෝ හෝම් කියා පාරට නොබැස්ස ද එවන් තත්ත්වයක් ඇමරිකාව තුළ මෝදු වෙමින් පවත්නා බව දක්නට ලැබේ.ඇමරිකාව තුළ අරගලයක හෙවනැලි මතුවෙමින් පවත්නේද මේ නිසාය.
තමන්ගේ ප්‍රතිපත්ති තමන්ටම පාරාවළල්ලක් කර ගැනීම හෝ එසේ නොකර ගැනීම මෙතුමා සතුය. ගෝඨා go home, මයිනා ගෝ ගම අරගලයේ සටන් පාට බවට පත් වුයේ ද එදා පැවති මෙම සුවිශේෂී සන්දර්භය තුළ ය.
මහින්ද රාජපක්ෂ ගේ ලොකු මලයා වන එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රසායනික පොහොර තහනමත් ට්‍රම්ප්ගේ යුද උන්මාදයත් බොහෝ දුරට සමානය. එමෙන්ම අරගලය පැන නැඟීමේ ප්‍රධානතම හේතුව වූ ජීවන වියදම අසීමාන්තික ලෙස ඉහළ යෑමද ඇමරිකාව තුළ නොසන්සුන්තාවක් ඇති වීමේ පොදු සාධකය බවට පත්ව ඇත. ගෝඨාභය නම් තත්ත්වය උත්සන්න වන විට නැට්ට දෙපරන්දයේ ගසා ගෙන නිහතමානී ලෙස රට පැන්නේය.
එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඉදිරි නිල කාලය තුළ කුමන පියවරක් ගන්නේද යන්න අවිනිශ්චිතය. ඔහුගේ පුරාජේරු කතා නම් තවම නිමාවක් නැතිව සිදුකෙරේ.
මුළු ලෝකයේම අදහස නම් වර්තමාන ලෝක යුද තත්ත්වයේ නිර්මාතෘ ට්‍රම්ප් කියාය. එහෙත් කිසිම විලිසංගයක් නැතිව සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය තමාට හිමිවියයුතු යැයි ප්‍රසිද්ධියේ කියා සිටියේ අපව දෙකොනින් හිනා ගස්සමිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට ව්‍යවස්ථානුකූලව හිමි නිෂේධ බලය ගැනද මේ දිනවල පූච්චානම් කතා කියයි. මේ අනුව රටට හිතකර පනත් ආදියද නතර කිරීමේ කාලකණ්ණි ආශාවකින් ඔහු පෙලෙන බවද දක්නට ලැබේ. එහෙම තත්ත්වයක් ඇති වුවහොත් පාරට බහිනවා හැර වෙනත් විකල්පයක් ඇමරිකානුවන් තුළ නොපවතී. විනිශ්චයකරුවන් පත් කිරීම, උසස් නිලධාරීන් පත්කිරීම, රාජ්‍ය මුදල් අනුමතය ආදී කටයුතු රාශියක බල නියමුවා කොංග්රසයයි.
එමෙන්ම ඇමරිකන් ජනාධිපතිවරයකුට නිෂේධ බලය භාවිතා කිරීම ඇමරිකාවේ ව්‍යවස්ථාව මගින්ම පාලනය කර තිබේ. ඇමරිකාවේ ව්‍යවස්ථාවට අනුව එහි 1 වන වගන්ති යේ 7 වන උපවගන්තියට අනුව කිසියම් පනතක් ජනාධිපතිවරයා වෙත එවා දින 10 ක් ඇතුළත (ඉරිදා හැර) එයට පිළිතුරු එවිය යුතුය. එනම් එය අනුමත කරන්නේ ද ප්‍රතික්ෂේප කරන්නේද යන වග දැන්විය යුතුය. එම පනතේ කොටසක් අනුමත කිරීමේ බලයක් හෝ සංශෝධනය කිරීමේ බලයක් ඔහුට නොමැත. එසේ නොකළ නිහඬව සිටිය හොත් එය ඉබේම නීතියක් බවට පත්වේ. එමෙන්ම කොන්ග්‍රසයේ 2/3 බලයෙන් ජනාධිපතිගේ නිෂේද බලය අභිබවා යාහැකිය.
මෙම තත්ත්වය අපේ මහ උන්දැලාද අවධානයට ගතයුතු යුතුයැයි මා හිතනවා. එමෙන්ම නව පනත්වල ඇතැම් පීඩාකාරී වගන්ති ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වීමද සාධනීය ලක්ෂණයක් ලෙස මා දකිනවා. නමුත් ජීවන වියදම පහත හෙළීම අංක එක බව අමතක නොකළ යුතුයි .( ඇමරිකන් ව්‍යවස්ථා වේ ඇතැම් කරුණු AI ඇසුරෙන් ලබා ගන්නා ලදී )


