PSTA සහ OCA ගැන ජනතා එකඟතාවක් නොමැතිව සම්මත කරන්නේ නැහැ – ජනපති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් වලට අදාළව අදහස් ඉදිරිපත් කරන පාර්ශව හා සමාජ සංවිධාන සමඟ සාකච්ඡා කර පුළුල් එකඟතාවකින් තොරව එම පනත් සම්මත නොකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනපතිවරයා මේ බව පැවසුවේ අද (07) කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන “අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි” වෘත්තීය සමිති ජාතික සම්මේලනය අමතමිනි.

පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති හඳුන්වා දෙමින් හෝ සංවිධානාත්මක අපරාධ විනාශ කරන බවට රජය ජනතාවට පොරොන්දුවක් ලබාදී ඇති නමුත් එම නව නීති මගින් සාමාන්‍ය පුරවැසියන්ගේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් ඒවා සංශෝධනය කිරීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

අදාළ පනත් කෙටුම්පත් මේ වනවිට අධිකරණය හමුවේ සාකච්ඡාවට බඳුන් කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන මෙන්ම විවිධ සමාජ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන ද සැලකිල්ලට ගෙන ඒවා සම්මත කිරීමට කටයුතු කරන බව හෙතෙම කියාසිටියේය.

එම පනත් කෙටුම්පත් දෙක කඩිමුඩියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය අපේක්ෂා නොකරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්නේ නම් ඒ සඳහා ජනතාවගේ කැමැත්ත ද අත්‍යවශ්‍ය බව පැවසුවේය.

ඒ අනුව, ජනතාව නියෝජනය කරන සංවිධාන සමඟ සාකච්ඡා කිරීමකින් තොරව අදාළ පනත් දෙක පාර්ලිමේන්තුවේදී සම්මත කර නොගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මේ අතර ඉදිරි අයවැය තුළින් ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් ඉහළ නැංවීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

එමෙන්ම උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) සීමාව තවදුරටත් ඉහළ දැමීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවයා පැවසුවේය.

මීට පෙර පැවති රුපියල් ලක්ෂයක බදු සීමාව රුපියල් ලක්ෂ එකහමාර දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කළ අතර එමෙන්ම එම සහනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙවර අයවැය මගින් PAYE බදු අය කිරීමේ සීමාව මෙලෙස යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ හරහා වැටුප් ලබන සේවකයන්ට තවදුරටත් බදු සහනයක් ලබාදීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජලයෙන් යටවූ ලෝකයක නිහඬ සාක්ෂිකරුවන්! වැව් මැද අදටත් නැගී සිටින පල්ලි සහ කුළුණු 10ක්!

සටහන – පුලීනොවැම්බර් 07, LNW (කොළඹ): කාලයත් සමඟ ලෝකයේ බොහෝ...

“ට්‍රම්ප්පච්චි GO HOME”

උපාලි කොළඹගේ කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තවමත් ඇමරිකාවේ ජනාධිපති වුණත්...

නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...