සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රු. බි. 30කට ආසන්නයි – COPE

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW:

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල මේ වන විට රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.

බැඳුම්කර කඩකර විදේශගත වූ පුද්ගලයන්ගෙන් අදාළ මුදල් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින මෙවැනි තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමේ වැදගත්කම ද කාරක සභාව විසින් නිලධාරීන්ට අවධාරණය කරන ලදී.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (04) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීමේදී ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමසා බැලීමේදී මෙම කරුණු අනාවරණය විය.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණය, පරිපාලන ක්‍රියාවලිය සහ ආයතනික කාර්යසාධනය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවා නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කටයුතු විධිමත් කරමින් වගවීම හා විනිවිදභාවය තහවුරු කිරීම සහ ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විශ්වවිද්‍යාලයේ පාලන හා විගණන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය විය. විශ්වවිද්‍යාලයට වාර්ෂිකව රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් රජයෙන් ලැබුණ ද, විගණන හා කළමනාකරණ කමිටුවේ භාණ්ඩාගාර නියෝජිතයෙකු නොමැති වීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, අභ්‍යන්තර විගණන ඒකකයේ පවතින පුරප්පාඩු සහ මූල්‍ය කටයුතුවලට සෘජුව සම්බන්ධ වූ නිලධාරියෙකු ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කිරීම (ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක)  හේතුවෙන් ලැබැදියාවන් අතර ගැටුමක් ඇති විය හැකි බව ද කාරක සභාව විසින් නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

අධ්‍යයන සුදුසුකම් හා පදවි උසස්වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු  පරස්පර සහතික පත්‍ර, මූලික සුදුසුකම් පිළිබඳ ගැටලු සහ අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු අතුරුදහන් වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් සිසුන් හා දෙමාපියන් ඉදිරිපත් කළ පැමිණිලි සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සිදු කළ විමර්ශනවලදී මතුවූ කරුණු ද සලකා බැලිණි. අදාළ චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

අධ්‍යයන නිවාඩු සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ද විගණන නිරීක්ෂණ ඉදිරිපත් වී තිබුණි . පරිවාස කාලයේ සිටි කථිකාචාර්යවරයෙකුට ලබා දුන් අධ්‍යයන නිවාඩු ගණනය කිරීමේදී සිදු වූ දෝෂයක් පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. එමෙන්ම, මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස්වී නැවත සේවයට පැමිණි කථිකාචාර්යවරියකට රුපියල් 3,633,900ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව හෙළි වූ අතර, එම මුදල අයකර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අක්‍රමිකතා රැසක් අනාවරණය විය. වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශන කමිටුව නිර්දේශ කර තිබූ විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

සහායක කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකු ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහැර ක්‍රියාකර ඇති අතර, වාර්ෂික නිවාඩු හිමිකම ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර  නිවාඩු ලබාගෙන ඇති බව ද අනාවරණය විය. මේ හේතුවෙන් ගෙවා ඇති රුපියල් 99,181,457ක වැටුප් මුදල නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට හෝ පියවර ගෙන නොමැති බව ද මෙහිදී හෙළි විය. සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු ජෛවමිතික පද්ධතියක් අනිවාර්ය කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාමික සහ සේවය හැරගිය පුද්ගලයන්ගෙන් මෙන්ම සේවයේ නියුතු සේවකයන්ගෙන් ද අයකර ගැනීමට ඇති අනෙකුත් හිඟ මුදල් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එම මුදල් සම්බන්ධයෙන් පවතින ලේඛන අතුරුදහන් වීම සඳහා සිවිල් යුද්ධය, සුනාමි ව්‍යසනය සහ ගංවතුර වැනි හේතු ඉදිරිපත් කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළ අතර, පාර්ලිමේන්තු කාරක සභාවට නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල පාලක සභාවල ස්වාධීනත්වය මූල්‍ය හා පරිපාලන වගකීම් මඟහැරීමට හේතුවක් කර නොගත යුතු බව අවධාරණය කළ කාරක සභාව, රාජ්‍ය මුදල් භාවිත කරන විශ්වවිද්‍යාල රාජ්‍ය මූල්‍ය විනයට යටත් විය යුතු බව ද පෙන්වා දුන්නේය. පාලක සභාවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මැදිහත් වී තීරණ ගැනීමට හැකිවන පරිදි 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකය යළි ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු...

මිලියන 500ක වී වියළන යන්ත්‍ර සමූපකාරවලට ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ!

කොළඹ LNW:සමූපකාර සමිති වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියේ...

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට සංශෝධන එක් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු...

දිවාලි ආලෝකය යට සැඟවුණු දැවැන්ත පාරිසරික අර්බුදය

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: ඉන්දියාව පුරා 2026 නොවැම්බර්...