රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභීන් දැඩි පීඩාවකට පත්ව සිටින බව කවුරුත් දන්නා දෙයකි. එහිදී විශේෂයෙන්ම පාසල් සිසුන් අතර මන්දපෝෂණය පැතිර යමින් පවතින බව පසුගිය මාස කිහිපය තුළම විවිධ පාර්ශ්වයන් වාර්තා කර තිබිණි.
ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් රජයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන අතර පෞද්ගලික අංශයත් විවිධ දානපතීනුත් එක්ව තම තමන්ට හැකි ආකාරයෙන් පාසල් සිසුන්ට ආහාර සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
පෞද්ගලික අංශයේ එවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන එක් ව්‍යාපාරිකයකුගෙන් අද අසන්නට ලැබුණේ අපේ රටේදී කිසිදාක අසන්නට නොසිතූ කතාවකි. එය ඔහුගේම වචනයෙන් මෙසේ ලියන්නෙමු.
“අපි කෑම දෙන එක ඉස්කෝලෙක විදුහල්පතිතුමා කතා කරලා එක කතාවක් කිව්වා. මට තාම ඒක දරාගන්න බැරුව ඉන්නේ. විදුහල්පතිතුමා ඇහුවා දෙන කෑම එකේ ප්‍රමාණය පොඩ්ඩක් වැඩිකරලා දෙන්න පුළුවන්ද කියලා. මම ඇයි කියලා අහපුවාම එතුමා කිව්වා ගොඩක් ළමයි බත් එකෙන් බාගයක් කාලා ඉතිරි බාගය ගෙදර අරගෙන යනවා අම්මා බඩගින්නේ ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා දෙන කෑම එකේ ප්‍රමාණය පොඩ්ඩක් වැඩිකරලා දෙන්න පුළුවන්ද කියලා එතුමා ඇහුවේ. දෙමව්පියෝ තමන් නොකා දරුවන්ට කන්න දෙන එක ගැන අපි ඕනෙ තරම් අහලා තියෙනවා, ඒත් දැන් දරුවො ඒක අනිත් පැත්තට කරන තත්වයක් රටේ ඇතිවෙලා …. මම හොයලා බලපුවාම තවත් තැන්වල මේක වෙනවා. රටේ ඇත්තම තත්වය ඕකයි. මේවාට වගකිවයුතු මිනිස්සු නිදිද කියලායි මට අහන්න තියෙන්නේ”
මේ කතාව ඇසුණු මොහොතේ අපට දැනුණු කම්පනය මේ සටහන ලියන මොහොතේත් නොවෙනස්ව එක ලෙසම පවතී.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පමණක් ලක්ෂ හයකට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඇතැම් මූලාශ්‍ර අනුව මෙම සංඛ්‍යාව ලක්ෂ දහයකට ආසන්න ය. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සැලකිය යුතු ප්‍රමාණයක් වැසී යමින් තිබේ. රැකියා අහිමි වී පාරට වැටෙන පිරිස දිනෙන් දින ඉහළ යයි. මේ තත්වය මත ඈත දුෂ්කර ගම්බද ප්‍රදේශ සිසාරා කුසගින්න හමායමින් ඇත.
මේ ගැන විවිධ පුවත් වාර්තා මාධ්‍ය ඔස්සේ ඉස්මතුවන අවස්ථාවල බලධාරීන් කරන්නේ එවැනි ප්‍රශ්නයක් රටේ නැති බවත් සියල්ල හොඳින් සිදුවන බවත් පුන පුනා කීම ය. රටේ ඇත්තම ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල බොහෝ බලධාරීන් සිටින්නේ අමුතුම නින්දක බව නොකියා බැරි ය.
අනෙක් අතට ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ හැකියාවක් ඇති සියලුම දෙනා තම තමන්ගේ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් බහුලව අධ්‍යාපනය ලබන පාසල්, පෙරපාසල්වලට තමන්ට හැකි අයුරින් ආහාර පාන ලබාදීමට කටයුතු කරන ලෙස ය. ළමා මන්දපෝෂණය යනු නොසලකා හැරිය හැකි සරල සංසිද්ධියක් නොවේ, එය අතිශය දරුණු ඛේදවාචකයකි !
RN
සබැඳි පුවත් –