*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

හිස් කෑම පෙට්ටියක් රැගෙන ආ දරුවෙක් ….

ශ්‍රී ලංකාව මේ වනවිට ගිළෙමින් පවතින ආර්ථික අර්බුදය අනුව මේ දිනවල කොහොමත් අසන්නට දකින්නට ලැබෙන්නේ එතරම් මිහිරි සිදුවීම් නොවේ. ඒවා අතරිනුත් ඇසූ පසු, දුටු පසු තවමත් දරාගැනීමට අපහසු වේදනා දෙන සිදුවීම් තුනක් මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.

පළමුවැන්න තරමක් දුර ඈත ප්‍රදේශයක පාසලක සිදුවීමකි. පසුගිය සතියේ දිනක එහි දිවා ආහාර වේලාවෙහි තම තමන්ගේ කෑම පෙට්ටි විවෘත කරගන්නා ලෙස ගුරුවරිය ඒ කුඩා දරු දැරියන්ට කියා තිබිණි. එහිදී එක් සිසුවෙකු ගෙනවිත් තිබී ඇත්තේ හිස් කෑම පෙට්ටියකි. කෑම පෙට්ටිය විවෘත කරන මොහොතේ එය හිස් බව දුටු, සෙසු දරු දැරියන් ඔහුට සිනහ වී තිබිණි. ( ඒ අහිංසක කුඩා දරුවනුත් රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් දන්නා දෙයක් නැත ) කෙසේවෙතත් ඒ සිදුවීමෙන් පසු මේ වනතුරුත් ඒ දරුවා පාසල් යාමට බැරි බව කියමින් ගෙදර නැවතී සිටියි.

දෙවැන්න මේ සතියේ දිනක රාජකාරි කටයුත්තක් සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් පෙරපාසලකට ගිය මොහොතේ දක්නට ලැබුණු එකකි. ඒ පෙරපාසලට යනවිට එහි දිවා ආහාර වේලාව ළඟා වී තිබුණු අතර ගුරුවරියන් තිදෙනා පන්තියේ සිසුන්ගෙන් විමසා සිටියේ දිවා ආහාරය සඳහා පොල් සම්බෝල සහ බත් පමණක් රැගෙන පැමිණි කීදෙනෙකු සිටින්නේද කියා ය. එහිදී තිස් දෙනෙකු වූ පන්තියේ කුඩා දරු දැරියන් අතරින් හය දෙනෙකු අත් ඔසවනු පෙනිණි. පසුව ගුරුවරියන් තිදෙනා තමන්ගේ පසුම්බිවලින් යම් මුදලක් ගෙන අසල පිහිටි කඩයකින් පරිප්පු වඩේ හයක් ගෙනවිත් අර කී දරු දැරියන් අතර බෙදා දෙනු දක්නට ලැබිණි.

තුන්වැනි සිදුවීම අපට කීවේ ත්‍රීරෝද රථ රියදුරු සහෝදරයෙකි. ඔහුගේ කතාව ඔහුගේ වචනයෙන්ම මෙහි සටහන් කරමු. “මට බදාදා හවසට හයර් එකක් තියෙනවා ළමයෙක් ටියුෂන් පන්තියකට අරන් යන්න. ඒ ළමයාව ආපහු අරගෙන එද්දී මම ඒ පාරෙම ඉන්න ඒ පන්තියේ අනිත් ළමයින්වත් ගෙවල්වලට ඇරළවනවා. ඊයෙත් එහෙම හයර් එක යන ළමයාව ගෙදරට දාපුවාම මට රුපියල් 500ක් හම්බුණා. ඒ වෙද්දී තව ළමයි තුන්දෙනෙක් ත්‍රීවීල් එකේ හිටියා, මම ඒ 500න් ඒ ළමයි තුන් දෙනාට බිත්තර රොටී අරගෙන දුන්නා. ගෙදර ඇවිත් ඔය කතාව කිව්වාම අපේ දුව මට කිව්වා ‘අනේ තාත්තෙ, ඒක නම් ලොකු දෙයක්. ඒ එක ළමයෙක් හරිම අමාරුවෙන් ජීවත් වෙන පවුලක. එයාලාට හරියට කන්නවත් නෑ, බස් එකේ යන්නවත් සල්ලි නෑ. ඒ ළමයාත් ආසා ඇතිනෙ ඉඳහිටලා හරි කඩෙන් කෑමක් කන්න’ කියලා”

රටේ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් බියකරු සංඛ්‍යා දත්ත මාධ්‍ය ඔස්සේ ඇසෙන්නට පටන් ගත්තේ මීට මාස දෙක තුනකට පෙර සිටම ය. ඒ අවස්ථාවලදී බලධාරීන් කළේ ඒවා විහිළුවට ගැනීම ය.

සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පිළිබඳව පුවතක් විකාශය වූ පසුව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මාධ්‍ය වෙත පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් අතර එවැනි මන්දපෝෂණ තත්වයක් නොමැති බවත් තමන් පුද්ගලිකවම ගොස් ඒ පිළිබඳව සොයා බැලූ බවත් ය. ඒ මන්ත්‍රී අජිත් කියන්නට ඇත්තේ ඔවුන්ගේත් සෙසු රාජපක්ෂලාගේත් දරුවන් ගැන විය යුතුය. ඔවුන්ට නම් කිසිදු මන්දපෝෂණයක් නොමැති බව අපත් දන්නා අතර සෙසු දරු දැරියන්ගේ තත්වය වෙනස් ය.

කොළඹ පාසලක දරුවන් බුද්ධ පූජාව ආහාරයට ගැනීමක් ගැන පුවතක් වාර්තා වූ පසුව අධ්‍යාපන බලධාරීන් ගහපහ දෙමින් දැඩිව කියා සිටියේ එවැනි කිසිදු සිදුවීමක් සිදුව නොමැති බවය. “බුද්ධ පූජාව” කෑමට ගැනීමේ පාපකර්මය පිළිබඳව ඔවුන් තුළ තිබුණු හැඟීම උඩට උස්සා දරුවන්ගේ කුසගින්න ගැන කතාව ලස්සනට වසා දමන ලදී.

මේ අතර තවත් දරුවකු පාසලට දිවා ආහාරය සඳහා පොල් මද ගෙන ආ පුවතක් වාර්තා වූ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් පිරිසක් මාධ්‍ය වෙත කියා තිබුණේ පොල් මද යනු ඉතා ගුණදායක කෑමක් බව ය. ප්‍රශ්නයේ ස්වභාවය අනුව උත්තරය පොල් බූරු එකක්ය කියනවා විනා වෙන කුමක් කරන්නද ?

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුණුම ඛේදවාචකයට ගොදුරු වන්නේ දරුවන් ය. ඔවුන් කිසිසේත්ම නොකළ වරදකට, ඔවුන් කිසිසේත්ම නොදන්නා වරදකට වන්දි ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ !

රටක් යනු හුදෙක් භූමිය පමණක් නොවේ. රටක් යනු එහි ජනතාව යි. රටේ අනාගතය යනු රටේ දරු පරපුර යි. දිනෙන් දින උත්සන්න වන ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ මන්දපෝෂිත දරු පරපුරක් බිහිවීමේ බිහිසුණු අනතුරෙහි මුවවිටෙහි ය.

අනෙක් අතට දෙමව්පියන්ට ඇති වටිනාම සම්පත දරුවන් ය. එය හුදෙක් සාහිත්‍යමය කතාවක් නොවන බව අපි හොඳින්ම දන්නෙමු. එහෙයින් දරුවකුගේ කෑම පෙට්ටියට පොල් සම්බෝල සහ බත් පමණක් වැටෙන්නේ හෝ පොල් මදවලින් පමණක් එය පිරෙන්නේ හෝ කෑම පෙට්ටිය හිස්වන්නේ බැරිකමෙහි පතුළටම වැටුණු විටදී ය.

රටේ ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන වේදිකාවල ඉතාම තියුණු සංවාද මේ වසර පුරාම අසන්නට ලැබිණි. ආණ්ඩු පක්ෂයේ අය කියන්නේ ජනතාව පටි තදකරගෙන සිටිය යුතු බව ය. විපක්ෂයේ කණ්ඩායම් ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් ජනතාව බේරාගැනීමට නම් තම තමන්ගේ පක්ෂවලට බලය ලබාදෙන ලෙසය. තවත් කොටසක් කියන්නේ 225 ම එපා කියා ය.

කෙසේවෙතත් දේශපාලන පක්ෂ තම තමන්ගේ බල අරගල බේරාගන්නා තුරු රටේ දරු දැරියන් කුසගින්නෙන්, පෝෂණ ඌනතාවන්ගෙන් පෙළෙන්නට ඉඩදෙන්නට නොහැක. එසේම යමක් පටන් ගන්නට ආණ්ඩු බලය අත්‍යාවශ්‍යයයි කියා අප සිතන්නේත් නැත.

ඒ අනුව නෙළුම්යාය පදනම වශයෙන් අපි, අඩු ආදායම්ලාභීන් බහුලව වෙසෙන දුෂ්කර ප්‍රදේශවල පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් සතියකට දෙවතාවක් බිත්තර සහ කිරිපැකට්ටු / යෝගට් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කළෙමු. එහි පළමු පියවර ලබන සතියේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත ය.

මේ සටහන තැබුවේ එම වැඩසටහන දිවයින පුරා පුළුල් කිරීම සඳහා හැකියාව ඇති දෙස් විදෙස් සහෝදර සහෝදරියන් ද ඊට එකතු කරගනු පිණිස ය.

නැවතත් කියන්නෙමු. ශ්‍රී ලංකාව යනු අපේ ජනතාව යි. ශ්‍රී ලංකාවේ අනාගතය යනු වත්මන් කුඩා දරු පරපුර යි. ශ්‍රී ලංකාවේ අනාගතය මන්දපෝෂිත නොවන්නට වගබලා ගමු ! හැකි සියලු දෙනාම එක්වෙමු !!

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan