- අයවැය හෙට
- ක්‍රිකට් රටම ගිනි තියපු හැටි
- රාජිත බලන්න සජිත්, රනිල් දෙන්නම ගිහින්
- වෛද්‍යවරුන්ට එක්ලක්ෂ විසි පන්දහසක්
- රොෂාන්ගේ ඇමතිකම බේරුණු හැටි
- පන්දුව – පිත්ත වෙනුවට රැවුල හා පච්චා
- CUSTOM – දේශීය ආදායම් අරුම පුදුම දඩ ක්‍රම
- සමාගම් ලක්ෂ එකහමාරක් තිබුනත් බදු ගෙවන්නේ විසිදහසයි
ජනිත සෙනෙවිරත්න (නිව්යෝර්ක් නුවර සිට)
නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): 2024 අයවැය හෙටය. ලබන වසර මැතිවරණ වසරක් වන හෙයින් මෙය ජනතාවට සහන සලසන අයවැයක් වෙතැයි අපේක්ෂා කෙරේ. රජයේ සේවකයනට වැටුප් වැඩිවීම් හා පාසල් දරුවන්ට ආහාර වේලක් මෙවර අයවැය යෝජනා අතර වෙයි. ජනාධිපතිවරයා හා පොහොට්ටුව අතර පැවති ගැටුම් නිසා මෙවර අයවැය සම්බන්ධයෙන් යම් යම් සැක සංකා පැවතිය ද මේ වන විට එම ප්‍රශ්න බොහෝදුරට සමනය වී තිබේ. විදුලි ගාස්තු වැඩිවීම් බදු වැඩිවීම් මෙන්ම ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩුවීම නිසා ව්‍යාපාර වැසීයමින් පවතින්නේ දහස් ගණනකට රැකියා අහිමි කරමිනි. මේ තත්ත්වයන්ට වහාම විසඳුම් නොලැබුණහොත් ජීවත්වීම උදෙසා මහා ජනතා රැල්ලක් ඇතිවීම වැළක්විය නොහැක.
ක්‍රිකට් අවුලෙන් රටම ගිනිගත් හැටි …….
ක්‍රිකට් හුටපටය නිසා රටම ගිනි ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දී ලැබූ අන්ත පරාජයත් සමඟ මෙතෙක් බරපතල දූෂණ චෝදනා නැඟුනු වර්තමාන ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් නව අතුරු පාලක මණ්ඩලයක් පත් කරන්නට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පියවර ගත්තේය. සිද්ධිය වටින් ගොඩින් දැනගත් ජනාධිපති රනිල් වහාම ඇමති රොෂාන්ට කතා කළ ද රොෂාන් දුරකතනයට පැමිණියේ නැත. පසුව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා කැඳවූ ජනාධිපතිවරයා ඊට අදාල ගැසට් නිවේදනය අවලංගු කරවන්නට උත්සාහ දැරුව ද ඇමතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කරන්නට ලේකම්වරයා කැමති වී නැත.
නව අතුරු පාලක මණ්ඩලය පත් කිරීම තමන් හෝ රජය නොදැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුනේ මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ පිරිස් වලටය. කෙසේ වෙතත් එදින පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා රොෂාන්ට පැවසුවේ අදාළ ගැසට් නිවේදනය අවලංගු කර නිසි ක්‍රියා පිළිවෙල යටතේ කටයුතු කරන ලෙසය. එය ප්‍රතික්ෂේප කළ ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළේ තමන් හොරු ආරක්ෂා නොකරන බවත් අවශ්‍ය නම් තමාව ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙසත් ය. මතුව ඇති තත්ත්වය සොයා බලන්නට ජනාධිපතිවරයා ද කැබිනට් අනුකමිටුවක් පත් කළේය.
කෙසේ වෙතත් ක්‍රිකට් පරිපාලනය මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගන්නට සමත් වූහ.
පසුව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අතර එහිදී විවිධ පාර්ශවවලට බරපතල චෝදනා එල්ල විය. රොෂාන් රණසිංහ ද ශම්මි ද කියලා දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට අභියෝග කළේය. ක්‍රිකට් පරිපාලනය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතර සබඳතා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල විය.
ජනධිපතිවරයාගේ පාර්ශවයේ ප්‍රභලයන් රැසක් ඇමති රොෂාන් වහාම ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉවත් කළයුතු බවට ජන්ධිපතිවරයාට යෝජනා කර තිබුනේ එයින් සිදු විය හැකි බලපෑම් ගැන කිසිදු තැකීමක් සිදු නොකරමිනි. අඩුම තරමින් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය පවා ඔවුන් නොතකා හැර තිබිණි.
රොෂාන් ඉවත් කිරීමේ තීරණයට අගමැති දිනේෂ් හා ඇමති ප්‍රසන්න එරෙහි වෙයි?
මේ අතර ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අගමැති දිනේෂ් ගුණවර්ධන හා ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපති කාර්යාලයට කැඳවා තිබිණි. ඒ වන විටත් රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය අත්සන සඳහා ජනාධිපතිවරයාගේ මේසය මත තිබී ඇත. කෙසේවෙතත් අගමැතිවරයා හා ප්‍රසන්න ඇමතිවරයා මේ සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වය මෙන්ම එවැනි ක්‍රියාවක් නිසා ඇතිවිය හැකි බරපතල තත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළේය. මේ සාකච්ඡා පැයකට අධික කාලයක් පැවති අතර අවසානයේ ක්‍රීඩා ඇමතිවරයා ඉවත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් අත්හරින ලදී. මේ සිද්ධියට අදාළව කිසියම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකව ඇතැයි මෙහිදී සාකච්ඡා වී තිබේ.
පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හරින්නට යෝජනා ගෙන එන්නට එකඟතාවයක් ඇතිවිය. එම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන ආ අතර එය සම්මත කළේ සභානායක ඇමති නිමල් සිරිපාලය.
පසුව මෙය ඒකමතිකව සම්මත විය. එහෙත් එම අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබේ නොසිටි බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මේ සියල්ල අතරේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදී. එම තහනම පසුපස වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සිටින බවට චෝදනා එල්ල විය.
මේ අතර ක්‍රිකට් පරිපාලනය ලබාගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවද සමඟය.
පන්දුව – පිත්ත වෙනුවට රැවුල හා පච්චා
මේ සියල්ල අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩා විලාශය වගකීම් විරහිත බව කැපී පෙනේ. ඔවුන් වැද්දන් බව පෙන්නුම් කරන්නට උත්සහ කරන්නේ රැවුල් වවාගෙන පච්ච කොටගෙන ය. එදා අපේ ක්‍රිකට් කණ්ඩායම වැඩ පෙන්නුවේ බැට් එකෙන් හා පන්දුවෙනි. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොවට ගෙන ගියේ පිතිකරණයෙන් හා පන්දුකරණයෙන් වුවත් වත්මන් කණ්ඩායම වැඩ පෙන්වන්නට යන්නේ රැවුලෙන් හා පච්චා වලිනි. එදා ලෝක කුසලාන දිනු ක්‍රිකට් කණ්ඩායමේ ස්වරූපය හා වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්වරූපය පවා අහසට පොලොව මෙනි.
වීරත් කෝලි ට සුභ පැතීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා ලබාදුන් පිළිතුර ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ලොව හොඳම ආගන්තුක සත්කාරය යයි විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව නියෝජනය කරන නායකයකුගේ බොළඳ හැසිරීම විශ්මය ජනකය. ක්‍රීඩාවේ සාමුහිකත්වය හෝ මුලික ගුණාංග පවා අමතක කර ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය නැති කළ මෙවැනි ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හෙට දවසක් තිබේදැයි යන්න ප්රශ්නයකි.
වැට් බදු අඩු කරගෙන රජයේ වියදම් අඩු කරන ක්‍රම
වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ, රජය පවසන්නේ රජයේ ආදායම් වැඩි කර සිදු කරන බවය, රජයේ මෙම තීරණය නිසා ජනතාව කබලෙන් ලිපට වැටෙන්නේ ඒ සමඟ සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ රජයේ වියදම් අඩු කරන ලෙසය. ඊට ඕනෑතරම් විකල්ප තිබේ.
ඇමතිවරුන් හා ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන් සඳහා ලබා දී ඇති විශාල කාර්ය මණ්ඩල අඩු කළ හැක. ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය 15 කි. ඉහළ හමුදා නිලධාරීන්ගේ කරය මණ්ඩලය අටක් හෝ දහයකි. නිලය අනුව මෙය වෙනස් වේ. යුද්ධය පැවතී සමයේ එය සාධාරණය. දැන් යුද්ධය අවසන් වී වසර 14 කි. වහාම මේ කාර්ය මණ්ඩල අඩු කළ හැකිය. අවශ්‍ය නම් එක සේවකයකු හා රියදුරෙකු ප්‍රමාණවත් ය.
ඇමැතිවරුන්ට ද එසේමය. දැන් තාක්ෂණය දියුණු ය. බොහෝ දේ තාක්ෂණය උපයෝගී කරගෙන කළ හැකිය. තමන්ට අවශ්‍ය නම් පෞද්ගලික වියදමින් කාර්ය මණ්ඩල නඩත්තුව කළ හැකිය. රට බංකොලොත්ව තිබිය දී අනවශ්‍ය කාර්ය මණ්ඩල ජනතා මුදලින් පවත්වා ගෙන යාම බරපතලය. මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතුය.
අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධාන රාජකාරිය ඇමතිගේ ගෝලයන් සතුටු කිරීමද?
අද අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුව තිබෙන්නේ ඇමතිවරුන්ගේ ගෝලබාලයන් සතුටු කිරීම මිස වෙනකක් නොවේ.
ඇමති කාර්ය මණ්ඩලය 15 කි. මෙයින් 5 ක් විධායක ශ්‍රේණියේය. ඔවුන්ට වාහන හා රියදුරන් ලබාදිය යුතුය. ඔවුන්ගේ වාහන නඩත්තුව දුරකථන බිල් පත්තර බිල් ආදී එකී නොකී බිල් ගෙවීමට ප්‍රතිපාදන ලබාදීම ඇතුළු කටයුතු සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ට දිනපතා පැය දෙකතුනක් වැයවේ. එවිට රටේ ප්‍රශ්න වලට ජනතා ප්‍රශ්න වලට වැය කරන්නට කාලයක් ඉතිරි නොවේ. මේ සියල්ල කර ඇමති කාර්ය මණ්ඩලය සතුටු නොකලොත් කොතරම් දක්ෂ රාජ්‍ය නිලධාරියෙකු වුවද ලේකම් වැඩක් නැති නිලධාරියකු ලෙස හංවඩු ගැසේ. අවසානයේ ලේකම් වෙනත් තැනකට මාරු වන අතර මීළඟට පැමිණෙන ලේකම් පාඩම් ඉගෙන ගෙන ඇමති කාර්ය මණ්ඩලය සතුටු කරමින් තම තනතුර බේරා ගනී.
ඇමතිවරුන් ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන් හා වාහන දහස් ගණනක් යොදවා තිබේ. ඇතැම් ඇමතිවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතත් සියල්ලන්ටම එසේ නොමැත. මෙය ජාතික අපරාධයකි. මෙය වහාම වෙනස් කළ යුතුව තිබේ. වෙනත් රට වල ඇමතිවරුන් පොදු ප්‍රවාහන භාවිතා කරද්දී ජනතා බදු මුදලින් ආරක්ෂක රථ පිරිවර ගෙන යන ඇමතිවරුන් දකින අපේ රටේ ජනතාවට ඇතිවන්නේ පිළිකුලකි. මේ තත්ත්වයන් වෙනස් කර රජයේ වියදම් අඩුකළ විට වැට් බදු අඩුකළ හැක.
CUSTOM – දේශීය ආදායම් අරුම පුදුම දඩ ක්‍රම
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා සාමාන්‍යයෙන් ඉහළ වැටුප් ගෙවනු ලැබේ. එහෙත් මේ නිලධාරීන් සඳහා ඔවුන් නියම කරන දඩ වලින් සියයට පනහක්ම හිමිවන්නේ ඔවුන්ටමය. මෙය අරුම පුදුම ක්රමවේදයකි. උදහරණයක් ලෙස කවර හෝ වරදකට නියම කරන රේගු දඩයෙන් භාගයක් එය නියම කරන නිලධාරියාට හෝ කණ්ඩායමට ය. වැරදි HS කාණ්ඩයක් යටතේ භාණ්ඩයක් ගෙන්වුවහොත් දඩය සියයට තුන්සියයකි. භාණ්ඩය ලක්ෂ සියයක් නම් දඩය ලක්ෂ තුන්සියයකි. ලක්ෂ එකසිය පනහක්ම එය නියමකළ නිලධාරීන්ට ය.
මේවා නීතිගතකළ අල්ලස් වැනිය. ඔවුන් කරන්නේ රාජකාරියයි. රාජකාරියට වැටුපක් ගෙවයි. එසේනම් උපරිම ලෙස සියයට දහයක පමණ දීමනාවක් ගෙවුවාට කමක් නැත. එය ද සියයට පහක් වැටලීම කළ කණ්ඩායමටත් ඉතිරි සියයට පහ සමස්ත දෙපාර්තමේන්තුවේම සේවකයන් සඳහාත් ය. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තත්ත්වයද මෙලෙසම ය. මේ මඟින් රජයේ ආදායම වැඩි කර ගත හැකිය. එවිට වැට් බදු වැඩි කළ යුතු නැත.
අනෙක් අතට යම් යම් සේවක පිරිස් මත මෙලෙස අසාධාරණ දීමනා ලබාදීම මත ඔවුන් විශාල දඩ මුදල් නියම කරන්නට පෙළඹවීම සිදුවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂකයන්ට දඩ වලින් සියයට පනහක් ගෙවීම නිසා සිට ගෙන යන්නට ඉඩක් නැති දුම්රිය වල මගීන් අල්ලා ගෙන ගොස් දඩ ගැසීම ජයටම සිදුවේ.
ජනතාවගෙන් වැට් අයකර ආණ්ඩුවට නොගෙවන සමාගම් රැසක් …..
මේ අතර සමාගම් මඟින් ජනතාවගෙන් අයකරගන්නා වැට් බදු මහා භාණ්ඩාගාරය වෙත නොලැබෙන බවට කලක සිට පවතින චෝදනාවකි. බොහෝ හෝටල් ආපන ශාලා මෙම බදු ගෙවීම් පහර හරින බවට චෝදනා එල්ල වේ. ඒවා පරීක්ෂා කරනට ද ක්‍රමවේද නැත. එම නිසා ජනතාගෙන් වැට් බදු අයකරන විට ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒවා නිරීක්ෂණය කළ හැකි හෝ ඒවා ඒ මොහොතේම දෙපාර්තමේන්තුවේ ගිණුමට ස්වයංක්‍රීයව බැර වන ක්රමවේදයක අවශ්‍යතාවය පවතී.
රාජිතව බලන්න රෝහලට සජිත්ට පස්සේ රනිලුත් ගිහින්
කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගියදා රෝහල්ගතව සිටියේ හදිසි සෞඛ්‍ය පරීක්ෂණ කීපයක් සඳහාය. රාජිත රෝහල්ගතකළ ආරංචියට සජිත් රාජිතව බලන්නට ලංකා හොස්පිටල්ස් වෙත ගියේය.
ඉන් විනාඩි 20 කට පමණ පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද රාජිත බලන්නට පැමිණියේය. වර්තමාන දේශපාලනය සම්බන්ධයෙන් රනිල් – රාජිත සමඟ සාකච්ඡා කළේය. එසේම ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු විය.
ලබන මාර්තු හෝ අප්‍රේල් මහා මැතිවරණයකට වැඩි ඉඩක්
අප මුල සිටම කී පරිදි මුලින් මහා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්ය. ජනාධිපතිවරයා ගේ ගණන් බැලීමට අනුව කිසිවකු 113 ක බහුතරය ලබා නොගන්නා තත්ත්වයක් තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවා එහි නව ඇමතිවරුන් සමඟ ඡන්දයකට යාම වඩා වාසි සහගත බව ජනාධිපතිවරයාගේ කැමැත්ත වී තිබෙන බව සඳහන් ය.
මහා මැතිවරණයක් මුලින් කැඳවූ පසු සියලු දෙනාටම තමතමන් පාර්ලිමේන්තු එන්නට වැඩ කරන්නට සිදු වෙයි. ජනාධිපතිවරණයක් මුලින් පැවැත්වුවහොත් එවැනි බලපෑමක් බොහෝ දෙනෙකුට නොමැත. එහෙත් මුලින් මහමැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවට විරෝධය පාන්නේ රනිල් ඉදිරි ජනාධිපතිවරණය ජයගතහොත් එම රැල්ලෙන් ඒ සමගම පවත්වන මහා මැතිවරණය පහසුවෙන් ජයගෙන පාර්ලිමේන්තුවට යන්නට බලා සිටින රනිල් වටේ සිටින කීප දෙනෙකි.
කෙසේ වෙතත් ඉදිරි මහා මැතිවරණය සඳහා එජාපය පුළුල් සන්ධානයකට යාමට නියමිත අතර එහි ලකුණ හංසයා ය. එම පක්ෂය රවී කරුණානායකට අයත් එකකි. මේ අතර ඕනෑම මොහොතක මැතිවරණ සඳහා සුදානම් වන ලෙස ජනාධිපතිවරයා පක්ෂයේ ප්‍රභලයන්ට දන්වා ඇත.
ජනමත විචාරණයක් ගැන එජාපය තුළ යලිත් සාකච්ඡා …..
මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමටත් එහි දී එවකට ජනාධිපතිවරයා තවත් වසර පහක කාලයක් බලයේ සිටිය හැකි වන පරිදි ජනමත විචාරණයක් ලෙස එය පැවැත්වීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා වී තිබේ. එහෙත් එහි නීතිමය වලංගුතාවය ගැන ද මෙහි දී ඇතැමුන් ප්‍රශ්න කර තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සියලු දෙනා එකඟ නිසා එය සැලකිල්ලට ගෙන මෙම යෝජනා ඉදිරිපත් වී තිබේ.
කරු ජයසුරියද නැවත වරක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සමඟ සටනට බැස තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එකඟ වුවද ධුර කාලය වැඩි කරන්නට කිසිඳු පාර්ශවයක් එකඟ වේ දැයි සැක සහිතය.
පාසල් ගාස්තු සියයට පනහකින් ඉහළ දමන්න රජය උත්සාහ ගන්නවා – සජිත් ප්‍රේමදාස
“සියලු ක්‍රීඩා දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර කර අදාළ ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයන්ට ඒවායේ වගකීම ලබාදී එම ක්‍රීඩා නඟා සිටුවීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලේ “සක්වල” වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ යෝධඇල මහා විද්‍යාලයට 43 වැනි සුහුරු පන්තිකාමරය ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, ක්‍රිකට් ක්‍රිඩාවේ ගජමිතුරු සේවනයට තිත තැබීමත්, පාසල් වයසේ සිට දක්ෂතාවය හා කුසලතාවය මත ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම යා හැකි තත්ත්වයක් ඇති කිරීමත්, සමස්ථ ක්‍රීඩා පද්ධතියම නිර්දේශපාලනීකරණය කිරීමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්හී අනාගතයට සුබවාදී වනු ඇති බවයි.
එමෙන්ම, මේ වන විට රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දී සිටින බවත්, ආර්ථික පීඩනය හමුවේ දරුපවුල නඩත්තු කරන දෙමාපියන්ට තවත් පීඩනයක් ගෙන දෙමින්, ඉදිරියේදී පාසල් සංවර්ධන සමිති ගාස්තුවද 50% ඉහළ දැමීමේ සූදානමක් ඇති බවට දැන ගන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
බැසිල් ඇමරිකානු පුරවැසිභාවය අත්හරීද?
ලබන මාර්තු මාසයේ හෝ අප්‍රේල් මාසයේ පවත්වන මහා මැතිවරණයකට මුහුණ දෙන්නට පොහොට්ටුවේ අභ්‍යන්තර සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබේ.
මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගෙන් ඇමරිකානු පුරවැසිභාවය අත්හරින ලෙසට එහි මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා තිබේ. ඒ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නටය. එහෙත් බැසිල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් පළ කර නැත. ඔහු මෑතක් වන තුරුම සිටියේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර නොගැනීමේ තීරණයක ය. එහෙත් දැන් ඔහු කවර තීරණයක් ගනීදැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන තවමත් තීරණයක් නොමැත. පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිටින බව පැවසෙන්නේ ඉදිරි වසර පහත් රනිල්ට සහය දී එක්ව ගමනක් යාමේ ස්ථාවරයක බව සඳහන්ය. එහෙත් බැසිල්ගේ තීරණය සමග පොහොට්ටුවේ තීරණය ඉදිරි දිනවලදී ගැනීමට නියමිතය.
වෛද්‍යවරුන්ට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක දීමනාවක්?
වෛද්‍යවරුන් විශේෂ දීමනාවක් ඉල්ලා තිබේ. ඒ සඳහා රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. එම දීමනාව දැනට රුපියල් තිස්පන්දහසක් වන අතර එය රුපියල් එක්ලක්ෂ විසි පන්දහස දක්වා වැඩි කිරීමට නියමිතය. එම දීමනාව පෙර පැවතියේ මසකට රුපියල් 17500 ක් ලෙසටය. එය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී 35.000 දක්වා වැඩි කරන ලද අතර මෙවර එය එක්ලක්ෂ විසිපන්දහස දක්වා වැඩි කෙරෙන්නේ අයවැයෙන් පසුවය.
මේ දීමනාව ලබා දෙන්නේ නම් වෛද්‍යවරුන් සඳහා වේලා සටහන් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නට ද නියමිතය. වේලා සටහන් යන්ත්‍ර වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන්නේ බොහෝදෙනා පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වී සිටීම නිසා බව පැවසේ.
රටේ සියලු දෙනාට ඇති නීතියක් වෛද්‍යවරුන්ට පමණක් වෙනස් වන්නේ ඇයි දැයි යන්න කලක සිට පවතී ප්රශ්නයකි.
වෛද්‍ය පරිපාලනයේ යෙදෙන වෛද්‍යවරුන් ට නව දීමනාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළු මතුව තිබේ. රටේ වෛද්‍ය හිඟයක් පවතිද්දී වෛද්‍යවරුන් දහස් ගණනක් පරිපාලනයේ යෙදී සිටින අතර ඔවුන් වෛද්‍ය සේවයට යොදවා පරිපාලන කටයුතු සාමාන්‍ය නිලධාරීන් හරහා කළ හැකි බවට රජයේ ප්‍රභලයන් අතර සාකච්ඡා වී තිබේ. දැනට ග්‍රාමීය රෝහල් 21 ක් වැසී ගොස් ඇත්තේ වෛද්‍ය හිඟයෙනි. පරිපාලන සේවා සඳහා පත්කර ඇති වෛද්‍යවරු බොහෝදුරට භාරධුර කාර්යයක නොදෙන බවට ද චෝදනා තිබේ.
වෛද්‍යවරුන් ගැන පාර්ලිමේන්තුවේත් සාකච්ඡා
වෛද්‍යවරුන්ට බලපාන ප්‍රශ්න ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාමරයේ සාකච්ඡාවක් පැවැත්විණි. මේ සඳහා ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, රාජිත සේනාරත්න, සීතා අරඹේපොල, චන්න ජයසුමන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පන්ලක්ෂ හතලිස් හතර දහසක නිවෙස්වලට විදුලිය විසන්ධි කරලා
මේවන විට අධික විදුලි බිල් ගෙවීම රටේ විශාල පිරිසකට බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ වන විට නිවාස හා ව්‍යාපාරික ස්ථාන පන්ලක්ෂ හතලිස් හතරදහසකට අධික ප්‍රමාණයක විදුලිය විසන්ධිකර ඇත්තේ බිල්පත් නොගෙවීම නිසාය. මේ අනුව විසි ලක්ෂයක පමණ ජනතාවක් මෙයින් අපහසුවට පත්ව සිටිති.
මේ අතර විදුලි බිල වැඩි කර ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය වැරදි තොරතුරු ලබා දී ඇතැයි පවසන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වහාම විදුලි ගාස්තු වැඩි කිරීම අහෝසිකරන ලෙස ඉල්ලා තිබේ.
ඔවුන් පවසන අන්දමට විදුලිය බිල හදිසියේ ඉහළට එසවිය යුතු බවට තීරණය වීම ආරම්භ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2023 සැප්තැම්බර් 04වන දින මහජන උපයෝගීතා කොමිසමට යොමු කළ ලිපියක, මෙම වසරේ රුපියල් බිලියන 32.5ක පාඩුවක් අත්වනු ඇතැයි ගණන් බලා සටහන් කිරීමෙනි. එහෙත් එයින් මසක් ඉකුත්ව යත්ම ඔවුහු නැවත් ගණන් බැලීමේ දී මේ වසරේ පාඩුව රුපියල් බිලියන 18.7 කට අඩුවන බව පවසා තිබේ.
CEB ගාස්තු වැඩි කරන්න බොරු කියලා
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් විදුලිය නිපදවනු ලබන්නේ ජල විදුලි බලාගාර සහ, තාප බලාගාර මඟින් ය. තාප විදුලි බලාගාර තෙල් දහනයෙන් මෙන්ම ගල් අඟුරු දහනයෙන්ද ක්‍රියාත්මක වෙයි. මෙම 2023 වසර සඳහා ඇස්තමේන්තු ගත නිෂ්පාදන දල වශයෙන්, ජල විදුලිය එක් ඒකකයකට (kWh) රු. 3.35ක්ද, ගල් අඟුරු සඳහා රු 35ක් සහ තෙල් සඳහා රු 65ක් පමණ ද ගණන් බලා තිබේ. ජල විදුලි ඒකකයක වියදම මෙන් දස ගුණයක් පමණ ගල් අඟුරු මගින් ජනනය සඳහා ද විසි ගුණයක පමණ වියදමක් තෙල් මගින් ජනනය සඳහාද වැය වෙයි. මේ නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා 26%ක් ජල විදුලියෙන්ද, 22% ක් තෙල් දහනයෙන්ද, 39%ක් ගල් අඟුරු මගින්ද නිපදවීමට සිදුවන බැව් ඇස්තමේන්තු කොට තිබිණි. එහෙත් අද වන විට ඇදහැලෙන තද වැසි සමඟ 70%ක් පමණ ජල විදුලියෙන් නිපදවෙන අතර ගල් අඟුරු මගින් 26%ක්ද නිපදවෙන අතර තෙල් දහනයෙන් විදුලිය සියයට දශම ගණනක් පමණක් නිපදවයි. මේ හේතුවෙන් මේ දිනවල විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 12කට පමණ පහතගොස් ඇති අතර එය පෙර ඇස්තමේන්තු අගයෙන් 1/3ක් පමණි.
PUCSL වලට එරෙහිව පියවර නොගන්නේ ඇයි ?
මෙලෙස වසරේ අවසන් ඇස්තමේන්තු ප්‍රමාණයට වඩා 500GWh ප්‍රමාණයකින් තෙල් දහනයෙන් නිපදවන විදුලිය අඩුවන බවත් ගල් අඟුරු මගින් නිෂ්පාදනය 250GWh ප්‍රමාණයකින් අඩුවන බවත් මේ වන විට පැහැදිලිය. ඔක්තෝබර් 17 දා ලං.වි.ම. මහජන උපයෝගීතා කොමිසමට දන්වා සිටින්නේ සැප්තැම්බර් මාසයේ තෙල් දහනය අඩුවීමෙන් 300GWh ප්‍රමාණයක් ඇස්තමේන්තුවෙන් පහතයාමෙන් රුපියල් බිලියන 17.8ක් පහත ගිය බවයි. එලෙසින් තවදුරටත් තෙල් මඟින් රුපියල් බිලියන 29.7ක් සහ ගල් අඟුරු මඟින් රුපියල් බිලියන 7.5 පමණ ඉතිරි වීමට නියමිතයි. මේ ලං.වි.ම. මගින් සිදු කළ තක්සේරු කිරීම් මත පදනම් ව සිටිමින්ය. ඔවුන්ගේ තක්සේරු කිරීම් 88%ක් අවස්ථාවන්හි දී අධිතක්සේරු කිරීම් බැව් දකින්නට ද තිබේ. ඔවුන්ගේ ගණනයන් අනුවම වුවත් මේ වන විටත් ඔවුන්ගේ පාඩු පියවී ඇති අතර, ඒ අනුව මේ වසර තුළ පෙර විදුලි බිලට අනුව ආදායම ලැබුවත් රුපියල් බිලියන 10කට වඩා ලාභයක් අත්කර ගැනීමට ලංවිම සමත්වන බව ද එම සංවිධානය පෙන්වා දී තිබේ.
මෙසේ සිදුවන්නේ, ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබන බව පෙන්වා විකිනීමට ද එසේත් නැතිනම් මැතිවරණ ඉදිරියේ ගාස්තු අඩු කිරීමට ද යන්න අප දන්නේ නැත. එසේම මෙම වැරදි මිල වැඩි කිරීම්වලට ඉඩදුන් මහජන උපයෝගිතා කොමිසම එනම් PUCSL හා එහි අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගත යුතු අතර එම මිල වැඩි කිරීම නිසා අපහසුවට පත් ජනතාවට වන්දි ගෙවීම මහජන උපයෝගිතා කොමිසම හා එහි අධ්යක්ෂ මණ්ඩලය කළ යුතුව තිබේ.
ඇහැළේපොළ වලව්ව ප්‍රතිසංස්කරණය කලාට UDA එක දළදා මාලිගාවෙන් ලක්ෂ 1470 ක් ඉල්ලලා
මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවසයි.
ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශයේ පිහිටා ඇති අතර 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි.
ඓතිහාසික ඇහැලේපොල වලව්ව පසුගිය කාලයේ රුපියල් මිලියන 147 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය හරහා ප්‍රතිසංස්කරණය කර තිබිණි. මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා වැයකළ මිලියන 147 ක මුදල ගෙවන ලෙසට ශ්‍රී දළදා මාලිගාවට දන්වා තිබු අතර එසේ නොමැති නම් මෙය ආයෝජකයකු වෙත ලබා දෙන බවට ද ප්‍රකාශ විය.
පසුව මෙය මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දෙන ලෙස මල්වතු අස්ගිරි මහනායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා තිබු අතර ඒ අනුව ජනාධිපතිවරයා එය පූජා සන්නසක් මඟින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදී. ඒ සමගම මේ සම්බන්ධයෙන් පැවති ගැටලුව නිරාකරණය වී තිබේ.
සමාගම් ලක්ෂ එකහමාරක් තිබුනත් බදු ගෙවන්නේ විසිදහසයි – රවී කරුණානායක
සමාගම් ලක්ෂ එකහමාරක් රටේ තිබුනත් බදු ගෙවන්නේ විසිදහසක් පමණක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන පදයට නැමෙන්නට අවශ්‍ය නැති බවත් හිටපු මුදල් ඇමති රවී කරුණානායක Grand Oriental හෝටලයේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.
“ජාත්‍යන්තර අරමුදල කියන හැමදේකටම නැමෙන්න ඕනි නෑ. අපේ රටේ ක්‍රමවේදයක් හරහා හැමදේම නිකං දෙනවට වඩා ස්වාධීනව මහන්සිවෙලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. අද සමාගම් ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා රටේ, නමුත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. ඉතින් මේක පුදුම රටක් මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.
මම හැමතිස්සෙම කියන්නේ රජයේ නිලධාරීන්ට වැඩ කරන දක්ෂයින් ඉන්නවා. නමුත් 15%, 20% කට්ටිය මේ රට නොමඟ යවලා තියෙනවා. හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. අද ලංකාවේ ඉන්නේ ඔක්කොම ගත්තොත් දේශපාලකයෝ නව දහක් විතර අපි කියමුකෝ මේ දේශපාලඥයෝ ඔක්කොම එපයි කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ, මේ හැමදේම කරන්න තියෙන්නෙ ඔවුන් තුළින්. මේ රට අවුරුදු 71 තිස්සෙම එක් එක් කෙනාට ඇඟිල්ල දික් කරලා ප්‍රශ්න මග ඇරලා තියෙන්නෙ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.
එන වසරේ ප්රජාතන්ත්රවාදී විදියට මැතිවරණ පැවැත්වීමට නියමිතයි,” හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම්වලට එරෙහිව ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය එක්වෙයි
ශ්‍රී ලංකාවේ චීන ඇඟිලිගැසීම් හා මැදිහත්වීම්වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව අත්වැල් බැඳ ගෙන නව සන්ධානයක් ඇති කර ගෙන තිබේ. මෙතෙක් චීන මැදිහත්වීම් සම්බන්ධයෙන් වෙන්වෙන්ව කටයුතුකළ මේ දෙරට නව සන්ධානය හරහා මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපෘති සඳහා ඉදිරියේදී ඍජු මැදිහත්වීම් සිදු කරනු ඇත. කොළඹ වරායේ නව පර්යන්තයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 553 ක නව ව්‍යපෘතියක් ආරම්භ කරන ලද අතර ජෝන් කීල්ස් සමාගම හා ඉන්දියානු අදානි සමාගම්ද එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව පැවසේ.
කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049