*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

මිත්‍යා මූල්‍ය මතයන්ට බිලි වන 2024 අයවැය – ඊට නව මානව මූල්‍ය න්‍යායෙන් පණ දෙමු ද? නැත්නම් ආර්ථික ගාසා තීරයක ප්‍රාණ ඇපකරුවන් වෙමු ද?

හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන රාජ්‍ය අයවැය යනු දේශපාලනික රජයන්ගේ ප්‍රධානම මෙවලම යි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පවතින සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන සෑම රටකටම එය පොදු කරුණකි. දන්නා කියන සෑම පුද්ගලයෙකුම රාජ්‍ය අයවැයෙන් තම තමන්ට ලැබෙන සහනය හෝ වාසිය කුමක් ද? යන්න විමසිල්ලෙන් සිටීමේ අසාධාරණයක් නොමැත. ඊට හේතුව, රාජ්‍ය අයවැයෙන් සමස්ත ආර්ථිකයට සහ ජන ජීවිතයට කෙරෙන බලපෑම යි. එබැවින්, රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස ද හැඳින්වෙයි.

එනම්, රජය විසින් විසින් සමාජයට සහ ආර්ථිකයට කෙරෙන සියළු මැදිහත්වීමේ පරිමාව සහ ගුණාත්මකභාවය අයවැයෙන් නිරූපනය කෙරෙන බැවිනි. ඊට හේතුව, රාජ්‍ය අයවැය යනු එම මැදිහත්වීමේ මූල්‍ය ප්‍රතිඵලය හෝ ප්‍රකාශනය වන බැවිනි. රාජ්‍ය මැදිහත්වීම මෙන්ම එහි මූල්‍ය ප්‍රතිඵලය ද දරන්න වෙන්නේ මහජනතාවට ය. එබැවින්, සමහරුන් අයවැයට දොස් පැවරීමත්, තවත් සමහරුන් අයවැය ප්‍රසංශා කිරීමත් සාමාන්‍ය කරුණකි.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ 2024 රාජ්‍ය අයවැය තුළින් වත්මන් ආර්ථික අර්බුදයෙන් සහ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙලක් මහජනයාට බලාපොරොත්තු නොවිය හැකි බවට සංකල්පීය පදනම ඉදිරිපත් කිරීම යි. ඊට හේතුව, මෙම අයවැය සැකසීම සහ ක්‍රියාත්මක කිරීම IMF සහ මහ බැංකුව විසින් පිළි ගැනෙන පැරණි මූල්‍ය වාදී මතයන් තුළ සිදු කිරීම යි.

රාජ්‍ය අයවැය යනු කුමක් ද?

රාජ්‍ය අයවැය යනු ඉදිරි වසරේ රාජ්‍ය වියදම, ආදායම සහ ආදායම්-වියදම් පරතරය පියවෙන ආකාරය පිළිබඳ ඇස්තමේන්තුව යි. අප බොහෝ දෙනා අපේක්ෂා කෙරෙන්නේ රාජ්‍ය වියදමින් සහ ආදායමින් අප වෙත ලැබෙන සහනයන් පිළිබඳ ව ය.

  • රාජ්‍ය වියදම් හරහා බලපොරොත්තු වන්නේ, රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටිතල පහසුකම් වැනි සමාජ සේවාවන් වැඩි කිරීම, පාරිභෝගික සහ නිෂ්පාදක සහනාධාර වැඩි කිරීම යනාදිය ප්‍රමුඛ බොහෝ දේවල් ය. 
  • රාජ්‍ය ආදායම ඇසුරින් බලපොරොත්තු වන්නේ මහජනයාගෙන් අය කරනු ලබන බදු පහළ දැමීම හෝ බදු සහන යි.
  • ආදායම්-වියදම් පරතරය හෙවත් අයවැය හිඟය පියවීම කෙරෙන්නේ මහජනයාගෙන් ණය ගැනීම හරහා වන අතර ඒ පිළිබඳව මහජනයාගේ දැනුවත්කමක් නොමැති බැවින් සහනයන් බලාපොරොත්තු නොවේ.
  • පක්ෂ සහ විරුද්ධ දේශපාලනික නායකයන් බලාපොරොත්තු වන්නේ වියදම් වැඩි කිරීමත්, බදු සහ ණය ගැනීම පහළ දැමීමත් ය.
  • එහෙත්, IMF ඇතුළු මහ බැංකුව සහ පැරණි මූල්‍ය වාදීන් විසින් නිරන්තරයෙන් අයවැය හිඟය පහළ දමා බැංකු ණය ගැනීම පහළ දමන ලෙස රජයට තරවටු කිරීම දැකිය හැකිය. ඊට හේතුව, ඔවුන්ගේ දෘෂ්ඨියෙන් අයවැය හිඟය සහ ණය ගැනීම යනු ආර්ථිකයේ උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟයේ මූලය වන බැවිනි. මහ බැංකුව පවසන්නේ තම වගකීම වන උද්ධමනය පාලනය කිරීම අපහසු වී ඇත්තේ රාජ්‍ය අයවැය හිඟය නිසා බව යි.

එහෙත්, ලෝකය පුරා පිළිගත් සාර්ව ආර්ථික මූලධර්මය වන්නේ අයවැය හිඟය තුළින් ආර්ථිකයේ වර්ධනය සහ සංවර්ධනය මෙහෙයවන බව යි. එය, විශේෂයෙන් අර්බුදයට හෝ අවපාතයකට ලක් වී ඇති ආර්ථිකයන් ගොඩ ගැනීම සඳහා කෙරෙන ප්‍රබල සාර්ව ආර්ථික නිර්දේශය යි. මෙය, 1930 ගණන්වල ලෝකය මුහුණ දුන් ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කෙරින. එය, එවක බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් කරනු ලැබූ නිර්දේශ මත පදනම් වූ අතර මේ දක්වා ලෝකය පුරා රජයන් විසින් අයවැය ක්‍රියාත්මක කිරීමේ දී අඩු වැඩි වශයෙන් අනුගමනය කෙරෙන්නේ එම නිර්දේශය යි.

එබැවින්, ආර්ථික සහ මූල්‍ය අර්බුදයන්ගෙන් කඩා වැටෙන ආර්ථිකයන් නැවත ගොඩ ගැනීම සඳහා ලෝකය පුරා භාවිතා කෙරෙන්නේ රාජ්‍ය අයවැය යි. 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් සහ 2020/21 ගෝලීය කොරෝනා වසංගත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සංවර්ධිත රටවල් විසින් භාවිතා කරනු ලැබුවේ ප්‍රසාරණාත්මක හිඟ අයවැය ප්‍රතිපත්තිය යි.

රාජ්‍ය අයවැයේ සාර්ව ආර්ථික පදනම කුමක් ද?

පුද්ගලයන් සහ දේශපාලන නායකයන් විසින් තම තමන්ගේ දෘෂ්ඨියන්ගෙන් අයවැය දෙස බැලුව ද, සමස්ත ආර්ථිකය සහ වෙළෙඳපොළවල් කෙරෙහි රාජ්‍ය මැදිහත්වීම හරහා සාර්ව ආර්ථික නිෂ්පාදන ධාරිතාවය, සංවර්ධනය, සම්පත්/ආදායම් ව්‍යාප්තිය සහ පොදුජන ජීවන මට්ටම කෙරෙහි අයවැය තුළින් කෙරෙන හිතකර බලපෑම පිළිබඳ ව ආර්ථික විද්‍යා විවාදයක් නොමැත. සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව රාජ්‍ය වියදම කුමන අංශයන්හි කළ ද, සමස්ත රාජ්‍ය වියදම ඉහළ යාම හෝ ප්‍රසාරණය මෙන් කිහිප ගුණයකින් ආර්ථිකයේ නිෂ්පාදනය සහ ආදායම ඉහළ යනු ඇත. එය රාජ්‍ය වියදම්හි ආදායම් ගුණකය හෙවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගුණකය ලෙස හැඳින්වෙයි. 

උදාහරණ ලෙස හෙට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් යෝජිත රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම තුළින් ආදායම් ගුණකය ක්‍රියාත්මක වනු ඇත. එනම්, රාජ්‍ය සේවකයන් විසින් තම ඉහළ ගිය වැටුප් තුළින් භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ දැමීමත්, එමගින්, භාණ්ඩ හා සේවා සැපයුම හරහා එම වැටුප නිෂ්පාදන සාධක හිමියන්ගේ නව ආදායම් ලෙස ලැබීමත්, එම නිෂ්පාදන සාධක හිමියන් විසින් තම නව ආදායම් තුළින් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම් කිරීමත් යනාදී වශයෙන් ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනය සහ ආදායම වට කිහිපයකින් ඉහළ යාම යි.

වත්මන් ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් IMF යෝජනාවන් මත රාජ්‍ය වියදම් සීමාවන් පැනවීම හේතුකොට රජයට භාණ්ඩ හා සේවාවන් සපයමින් සිටි නිෂ්පාදන සහ සැපයුම් දාමයන් අක්‍රීයවීම සහ අවහිරවීම හරහා ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ කුටුම්බ ආදායම් පහළ යාම මේ දිනවල සාමාන්‍ය දසුනකි. එය ද සෘණ ආදායම් ගුණකයක් ලෙස සමස්ත ආර්ථිකය කෙරෙහි බලපානු ඇත.

මීට අමතරව, රාජ්‍ය වියදම තුළ ඇති ආයෝජන වියදම හේතු කොට සමස්ත ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ යාම තුළින් ඉදිරි කාලයේ ආර්ථික වර්ධනයට හේතු වනු ඇත. තව ද, අයවැයෙහි අඩංගු ආංශීය නිෂ්පාදන උත්තේජනයන් හේතු කොට නිෂ්පාදන සහ සැපයුම් අවහිරතාවයන් පහළ ගොස් ආර්ථිකය ආංශීය වශයෙන් ද වර්ධනය වනු ඇත.

මේ දිනවල IMF සහ මහ බැංකුව ඇතුළු දේශපාලන නායකයන් විසින් රාජ්‍ය ණයට සාප කිරීමට මහජනයා පොළඹවමින් පවතී. එහෙත්, අයවැය හිඟය පියවීම සඳහා රාජ්‍ය ණය යොදා ගැනීමේ සැබෑ ආර්ථික පදනම කුමක් ද? යන්න ඔවුන් විසින් පවසන්නේ නැත. රාජ්‍ය ණය යනු ආර්ථිකයේ මුදල් සහ බැංකු ක්‍රමයේ පදනම යි. ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ මුදල් සහ බැංකු ක්‍රමය හරහා වන අතර මුදල් සහ බැංකු ක්‍රමය ගොඩ නැගී ඇත්තේ රාජ්‍ය ණය මත ය.

ඊට හේතුව, වත්මන් මුදල් යනු රාජ්‍ය වගකීම හෝ විශ්වාසය සහිත ස්වෛරී මුදල් වන අතර සංසරණයේ පවතින බහුතර මුදල් ප්‍රමාණය ජනිත වී ඇත්තේ රාජ්‍ය ණය හරහා ය. විශේෂයෙන් මහ බැංකු විසින් මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රධාන මූලය වනුයේ ඔවුන් විසින් රජයට දෙන ණය යි. රජය විසින් ණය ගැනීම අත්හිට වුවහොත් ගනුදෙනු සඳහා ආර්ථිකයට අවශ්‍ය කාසි සහ නෝට්ටු හිඟයක් හට ගන්නා අතර මුදල් හිඟය හේතු කොට ආර්ථිකය අවපාතයකට මුහුණ දෙනු ඇත. රාජ්‍ය විදේශ ණය හරහා විදේශ වත්කම් සංචිතයක් ගොඩ නැගීම තුළින් ආර්ථිකයේ විදේශ මූල්‍ය ගනුදෙනු පහසු කිරීම සහ විනිමය අනුපාතය පාලනය කිරීම සිදු කෙරේ. එහි වැදගත්කම මේ දිනවල මහ බැංකුව විසින් රාජ්‍ය විදේශ ණය පැහැර හැරීමේ ආදීනව දෙස බලන විට මැනවින් පැහැදිලි වෙයි.

මහ බැංකුව විසින් ආර්ථිකයේ මුදල් සහ ණය සැපයුම සහ බැංකු ව්‍යාපාරයන් නියාමනය කිරීම සඳහා භාවිතා කෙරෙන ප්‍රධාන මෙවලම ද රාජ්‍ය ණය යි. උදාහරණ ලෙස රාජ්‍ය සුරැකුම්පත් (එනම්, වෙළෙඳාම්වන රාජ්‍ය ණය) දැක්විය හැකිය. එබැවින්, ස්වාධීන බවට හුවා දැක්වෙන මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තිය ද රඳා පවතින්නේ රාජ්‍ය ණය මත ය. සමස්තයක් ලෙස මුදල් යනු රාජ්‍ය අයවැය මෙන් ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් තීරණය කෙරෙන තවත් ප්‍රධාන සාර්ව ආර්ථික සාධයකි. මුදල් හරහා ද ආර්ථිකයේ නිෂ්පාදන/ආදායම් ගුණාකාර ක්‍රියාවලියක් සිදුවන බව සාර්ව ආර්ථික විද්‍යාවේ පිළි ගැනේ. එය මූල්‍ය ප්‍රතිපත්ති ගුණකය ලෙස හැඳින්වෙයි. මුදල් යනු රාජ්‍ය ණය සහ විශ්වාසය මත රඳා පවතින නිෂ්පාදන සාධකයක් වන බැවින් එම මූල්‍ය ප්‍රතිපත්ති ගුණකය ද රාජ්‍ය අයවැයේ අතුරු ඵලයකි.

එබැවින්, ආර්ථිකයක් මෙහෙයවන පදනම රාජ්‍ය වියදම් සහ ණය ලෙස සැලකිය හැකිය. රාජ්‍ය අයවැය කපා රජය කුඩා කිරීම යනු ආර්ථිකයේ පදනම හැකිළීම යි. එම හැකිළීම වැලැක්වීමට පෞද්ගලික අංශයට නොහැකි බව කිව යුතු නැත.

රාජ්‍ය අයවැයට අදාළ ජාතික ආදායම් සංකල්පය කුමක් ද?

රාජ්‍ය අයවැයට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කෙරෙන බොහෝ ආර්ථික විග්‍රහයන් පදනම් වන්නේ සාර්ව ආර්ථික විද්‍යාවේ පැරණි ජාතික ආදායම් සමතුලිතතාවය සංකල්පය මත ය. ඒ අනුව, ආර්ථිකයක නිෂ්පාදන වටිනාකම හෙවත් සමස්ත ආදායම ආර්ථිකයෙහි සමස්ත වියදමට සමාන වෙයි. ඊට හේතුව, ආර්ථිකය සමස්තයක් ලෙස ගත් විට වියදම් කෙරෙන්නේ ආදායම වන බැවිනි. මෙහි දී, වියදම යනු පරිභෝජනය සහ ආයෝජනය යි. ආයෝජනය කෙරෙන්නේ ආදායමින් පරිභෝජනය නොකොට තබා ගන්නා ඉතුරුම් ය. එබැවින්, ආදායම සහ වියදම යනු එකම කාසියක දෙපැත්ත යි.

එබැවින්, රාජ්‍ය වියදම සහ බදු ද ද ජාතික වියදමේ සහ ආදායමේ කොටස් වෙයි. ඒ අනුව, ඉදිරි වසරේ අයවැය යනු රජය විසින් ඉදිරි වසරේ ජාතික ආදායම හෝ වියදමින් සැලකිය යුතු කොටසක් වේලාසනින් තීරණය කිරීම යි. පසුගිය වසර 5 අනුව, එය ජාතික ආදායමින් 18%-21% ක පමණ ප්‍රමාණයකි. එහෙත්, මුලින් දැක්වූ පරිදි රාජ්‍ය අයවැයෙහි වක්‍ර හෙවත් ආදායම් ගුණක බලපෑම ගණනය කළ හොත්, ආර්ථිකයෙහි සමස්ත ආදායම සහ වියදම තුළ රාජ්‍ය අයවැයෙහි මුළු බලපෑම සැලකිය යුතු ප්‍රතිශතයක් වනු ඇත.

සාර්ව ආර්ථික විග්‍රහයට අනුව, ජාතික ආදායම් සමතුලිතය යනු ජාතික ආදායම (Y) ජාතික වියදමට (E) සමාන වීම යි. එය අසමාන වන අවස්ථාවක, එය තුලනය කිරීමට ගන්නා ප්‍රතිපත්ති ආර්ථික ස්ථායිකරණ ප්‍රතිපත්ති ලෙස දැක්වෙයි. වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉල්ලුම් සැපයුම් තුලනයක් නොමැති බැවින්, මෙම අයවැය ද ආර්ථික ස්ථායිකරණ අයවැයක් ලෙස දැක්වෙනු ඇත.

ජාතික ආදායම් සහ වියදම් තුළ රාජ්‍ය අයවැයේ සාර්ව ආර්ථික සබඳතාවය පහත ලෙස ඉදිරිපත් කෙරේ.

  • ජාතික නිෂ්පාදිතය (Y) = ජාතික වියදම (E) හෝ  Y = E

මෙහිදී, ජාතික වියදම කොටස් රැසකට බෙදා දැක්වෙයි. එනම්, පෞද්ගලික පරිභෝජනය (C), පෞද්ගලික ආයෝජනය (I), රාජ්‍ය බදු (T), රාජ්‍ය වියදම (G), අපනයන (X) සහ ආනයන (M) යනාදිය යි. ඒ අනුව, 

  • Y = C + I – T + G + X – M. 

මෙය පහත දැක්වෙන ලෙස නැවත සැකසිය හැකිය.

  • Y – C = I + (G – T) + (X – M)

මෙහි Y යනු මහජනතාවගේ සමස්ත ආදායම (එනම්, වැටුප්, බදු කුලිය, පොලිය සහ ලාභවල එකතුව) වන බැවින් (Y – C) යනු පෞද්ගලික අංශයේ ඉතුරුම් වෙයි. ඒ අනුව, පහත දැක්වෙන සමීකරණය ලබා ගත හැකිය.

  • (G – T) = (S – I) + (M – X)

IMF සහ මහ බැංකු ඇතුළු පැරණි මූල්‍ය ආර්ථික විද්‍යාඥයන් විසින් අයවැය විවේචනයට භාවිතා කෙරෙන්නේ ඉහත දැක්වූ ගණිතය යි. ඒ අනුව කෙරෙන ප්‍රධාන විවේචනයන් හෝ මතවාදයන් දෙකකි.

1. පළමු මතවාදය 

අයවැය හිඟය = පෞද්ගලික ශුද්ධ ඉතුරුම් + ගෙවුම් ශේෂ ජංගම ගිණුමේ හිඟය 

මෙහි අදහස, රටක අයවැය හිඟය හේතු කොට පෞද්ගලික ඉතුරුම් අතිරික්තයක් සහ/හෝ ගෙවුම් ශේෂ හිඟයක් හට ගන්නා බව යි. ඊට හේතුව, ඒ හරහා අයවැය හිඟය පියවීමට අවශ්‍ය මුදල් සැපයීමට යි. එහි අදහස වනුයේ, පෞද්ගලික අංශයේ මන්දගාමීත්වයත්, විදේශ විනිමය හිඟයටත් හේතුව රාජ්‍ය අයවැය හිඟය බව යි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට සහ බංකොලොත්භාවයට හේතුව ද මෙය ලෙස දැක්වෙයි. ඊට විසඳුමක් ලෙස රාජ්‍ය වියදම් කැපීම හෝ අයවැය හිඟය සහ ණය පහළ දමන ලෙස යෝජනා කරන්නේ එබැවිනි.

2. දෙවන මතවාදය 

රාජ්‍ය වියදම්/හිඟය ප්‍රසාරණයත්, එය පියවීමට ණය ගැනීමත් හේතු කොට ආර්ථිකයේ සමස්ත වියදම හෝ ඉල්ලුම ඉහළ යාම තුළින් උද්ධමනය හට ගැනීම. මෙයට පැරණි මූල්‍ය ප්‍රමාණවාදී සංකල්පය ද භාවිතා කෙරේ.

IMF සහ මහ බැංකු විසින් සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ දී ආර්ථික දේව ධර්මයන් ලෙස අනුගමනය කෙරෙන්නේ ඉහත දැක්වූ මතවාදයන් දෙක යි. එහෙත්, ඉහත දැක්වූ මතවාදයන් හුදෙක් ගණිත/සංඛ්‍යාන සංකල්පයන් වන අතර ප්‍රයෝගික ආර්ථික පදනමක් නොමැත. 

  • පළමුව, පළමු මතවාදය සාවද්‍ය වන්නේ, රාජ්‍ය අයවැය හිඟයට හේතුව ලෙස ආර්ථිකයේ ආයෝජනය සහ විදේශ අතිරික්තයක් ජනිත කිරීමට පෞද්ගලික අංශය අසමත් වීම දැක්විය හැකිවීම යි. 
  • දෙවන මතවාදය සාවද්‍ය වන්නේ උද්ධමනයට හේතුව රාජ්‍ය අයවැය හිඟය හෝ ණය ප්‍රසාරණය බවට ආර්ථික පර්යේෂණ සාක්ෂි නොමැති වීම යි. එසේම, උද්ධමනයට බලපාන හේතු පිළිබඳ ව කිසිම එකඟතාවයක් ආර්ථික විද්‍යාඥයන් අතර නොමැත. ඒ බව, 2022 වර්ෂයේ සිට පවතින වත්මන් ගෝලීය උද්ධමන පීඩනය පිළිබඳ ආර්ථික විවාදයන්ගෙන් පැහැදිලි වෙයි. ඊට හේතුව, ආර්ථිකයක ගනුදෙනු පරිමාව සහ නිෂ්පාදන සම්පත් තොගය කාර්යක්ෂම ලෙස උපයෝජනයට යෝග්‍ය මුදල් ප්‍රමාණය කුමක් ද? යන්න පිළිගත් ප්‍රමාණාත්මක නිර්දේශයක් පැරණි මූල්‍ය වාදීන් විසින් නොකිරීම යි. උද්ධමනය පිළිබඳ මූල්‍ය ප්‍රමාණවාදී සංකල්පය මෙන්ම මූල්‍ය ප්‍රතිපත්තිය/පොලී අනුපාත මගින් උද්ධමනය පාලනය කළ හැකි බවට සංකල්පය ද හුදෙක් සැබෑ ලොව දත්තවලින් සනාථ නොවන ගණිත සංකල්පයන් ය. එබැවින්, උද්ධමනය යනු මුදල් මුද්‍රණය පදනම් කර ගෙන හට ගන්නා බවට, පවතින රජයට චෝදනා කෙරෙන හුදෙක් දේශපාලනික විෂයක් පමණි.

නූතන මූල්‍ය න්‍යායෙන් නිර්දේශිත රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය කුමක් ද?

නූතන මූල්‍ය න්‍යාය විසින් ඉහත දැක්වූ පැරණි රාජ්‍ය අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රයෝගිකත්වය ප්‍රශ්න කෙරේ (නූතන මූල්‍ය න්‍යාය වැඩි විස්තර). ඔවුන්ගේ මතය වන්නේ රාජ්‍ය අයවැය සහ ණය ව්‍යාපාරික ආයතනයක හෝ කුටුම්බයක අයවැය සහ ණයට සමාන කළ නොහැකි බව යි. ඊට හේතුව, රාජ්‍ය මුදල් මුද්‍රණය හරහා රාජ්‍ය අයවැය පියවීමත්, රාජ්‍ය අයවැයේ නිෂ්පාදන ධාරිතා ප්‍රතිඵලයත් ය. 

එබැවින්, නූතන මූල්‍ය වාදීන්ගේ නිර්දේශය වන්නේ, රජයන් විසින් උද්ධමනයට බිය නොවී, නිෂ්පාදන ධාරිතාවය ප්‍රසාරණය කෙරෙන අයවැය හිඟයන් හරහා මානව සංවර්ධනය සඳහා ක්‍රියා කළ යුතු බව යි. මෙය, නූතන සැපයුම් ආර්ථික විද්‍යාව මත පදනම් වෙයි. එහෙත්, පැරණි අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති පැරණි ඉල්ලුම් පාලන ආර්ථික විද්‍යාව මත ගොඩ නැගී ඇත. නූතන මූල්‍ය වාදී නිර්දේශය සාධාරණ එකක් වන්නේ, ලෝකයේ බොහෝ රටවල අද පවතින මානව සංවර්ධනය රාජ්‍ය අයවැය හිඟයන් සහ නිෂ්පාදන ධාරිතාව ප්‍රසාරණය (මූලික වශයෙන් යටිතල පහසුකම් සහ සෞඛ්‍යය සහ අධ්‍යාපන පහසුකම්) හරහා ලඟා කර ගෙන ඇති බැවිනි. 

මෙම මතයට අනුව, පුනරාවර්තන හෝ පරිභෝජන වියදම් ලෙස සැලකෙන බොහෝ රාජ්‍ය වියදම් ආයෝජන වියදම් වෙයි. උදහරණ ලෙස සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් සියල්ල ආයෝජන වියදම් සහ නිෂ්පාදන ධාරිතා වර්ධනයක් වන්නේ, ඒවා මගින් ශ්‍රම සම්පතේ සැපයුම සහ ගුණය ඉහළ දමන බැවිනි. 

ඔවුන්ට අනුව, විශේෂිත මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය නොවන අතර එය අයවැය මෙවලම් හරහා සෘජුව සහ වේගයෙන් ක්‍රියාත්මක කළ හැකිය. එබැවින්, අයවැය සකස් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ ව නව අර්ථකතනයන් අනුගමනය කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි ආර්ථික සහ මූල්‍ය අර්බුදයකින් පෙළෙන රටවලට එය විශේෂයෙන් අවශ්‍ය වෙයි. 

එහෙත්, හෙට ඉදිරිපත් කෙරෙන රාජ්‍ය අයවයෙන් එවැනි කිසිම නව්‍යකරණයක් බලපොරොත්තු විය නොහැකිය. ඊට හේතුව, මෙම අයවැය සැකසීම පැරණි මූල්‍ය වාදී නිලධාරීන් විසින් ඔවුන්ගේ තවත් රාජකාරියක් ලෙස කෙරෙන අතර අදාළ දේශපාලන නායකයන්ට නව ආර්ථික සහ මානව සංකල්පයන් පිළිබඳ ව යාවත්කාලීන දැනුමක් නොමැති බැවිනි. ඔවුන් මහජන මුදලින් හෝ රාජ්‍ය අයවැයෙන් නඩත්තු වන බැවින් මහජන ජීවන තත්ත්වය ඔවුන්ට අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේව ධර්මයන් මෙන් තම සංකල්පයන් ක්‍රියාත්මක කිරීමෙන් සතුටුවීම පමණි. 

එසේම, පැරණි මූල්‍ය වාදීන් විසින් උද්ධමන සංකල්පය මත පදනම් වී නූතන මූල්‍ය න්‍යාය නිර්දය ලෙස බැහැර කිරීමේ ගෝලීය දාමයක් දැකිය හැකිය. ඊට හේතුව, ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම යි.

සමාප්ත සටහන

  • IMF සහ මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් විසින් භාණ්ඩාගාරය පාලනය කිරීම අවසන් වන තෙක්, නූතන ආර්ථික සංකල්පයන් මත පදනම් වූ නව මානව සංවර්ධනය කෙරෙහි යොමු වූ රාජ්‍ය අයවැය ක්‍රියාවලියක් ආරම්භ කළ නොහැකිය.
  • එබැවින්, හෙට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් වත්මන් දේශපාලන අධිකාරිය පවත්වා ගැනීමේ වියදම් පියවා ගැනීම හැර වෙනත් සාර්ව ආර්ථික අරමුණක් බලපොරොත්තු විය නොහැකිය. පසුගිය කාලයේ ඉදිරිපත් වූ අයවැය රාශියක් එවැනි ඒවා ය.
  • එබැවින්, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මැදි හා දිගු කාලීන සාර්ව ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට මෙම අයවැයට නොහැකි බැවින් ගෝලීය ආර්ථික ගාසා තීරයක විදේශ ආධාර සහ ප්‍රේෂණ හරහා චිරාත් කාලයක් ජීවත්වන රටක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. ඒ බව එහෙන් මෙහෙන් ලැබෙන විදේශ ආධාර මුදල් පිළිබඳ ව රාජ්‍ය අධිකාරීන් විසින් දෙනු ලබන ප්‍රසිද්ධියෙන් පැහැදිලි වෙයි. මහ බැංකු අධිපති විසින් ද මහජනයාට අවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය සඳහා විදේශ මුදල් ආධාර නිල වශයෙන් ආයාචනය කොට ඇත.
  • රජයේ අයවැය ප්‍රතිපත්ති වගකීම වන්නේ ආර්ථිකය සහ මහජනයා අර්බුදයෙන් සහ බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට යෝග්‍ය රාජ්‍ය අයවැයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම යි. ඊට හේතුව, ඉන් උද්ධමනයක් හට ගනී නම්, එය පාලනය කිරීම ස්වාධීන මහ බැංකුවේ වගකීම වන බැවිනි. එහෙත්, රජය විසින් මූල්‍ය වාදී උද්ධමන සංකල්පයක් මත රාජ්‍ය අයවැය හැකිළීමට ක්‍රියා කෙරේ නම්ය, එය රජය විසින් තම මහජන වගකීම පැහැර හැර මහ බැංකු උද්ධමන සපත්තුව දා ගැනීමකි. එවිට, උද්ධමනය පාලනය කරන බව පවසමින් මුදල් මුද්‍රණය හරහා බෝනස් සහ ලෝකයේ ඉහළම විශ්‍රාම ප්‍රතිලාභ ගෙවන මහ බැංකුවක් රටට අවශ්‍ය ඇයි ද? යන්න සාධාරණ ප්‍රශ්නයකි.
  • එබැවින්, රජය විසින් මහ බැංකු මූල්‍ය වාදීන් භාණ්ඩාගාරයෙන් ඉවත් කොට, ස්වාධීන රාජ්‍ය අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය. ස්වාධීන මහ බැංකු ක්‍රමය පිළි ගැනෙන රටවල් අනුගමනය කෙරෙන ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සම්මතය එය යි. එසේ නොවුවහොත් මහජනයා තම ප්‍රතිචාරය දක්වන්නේ රජය මෙහෙයවන දේශපාලන නායකයන් වෙත ය. ඊට හේතුව, මූල්‍ය වාදය ඔවුන්ට අදාළ විෂයක් හෝ ධර්මයක් නොවන බැවිනි. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි ශ්‍රී ලංකාවෙන් මෙන්ම විදේශ රාජ්‍යයන්ගෙන් ද දැකිය හැකිය.

(ඉහත දැක්වූ අදහස් මත පදනම් වී නව රාජ්‍ය අයවැයේ සාර්ව ආර්ථික වැදගත්කම පිළිබඳ කෙටි ලිපියක් පසුව පළ කෙරේ.)

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)

මූලාශ්‍රය: Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan