සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකාව පුරා ගුවන් ගමන් පැය කිහිපයක් අත්හිටුවීමට හේතු වී ඇත්තේ ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ පැරණි තඹ රැහැන් වෙනුවට ෆයිබර් ඔප්ටික් රැහැන් සවිකිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් බව එරට ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී ප්‍රකාශ කර තිබේ.

පසුගිය නොවැම්බර් 13 වැනිදා සිදුවූ මෙම තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් ගුවන් ගමන් 4700ක් අවලංගු වී තිබූ අතර තවත් ගුවන් ගමන් 10,494ක් ප්‍රමාද වී තිබිණි. ප්‍රවාහන ලේකම්වරයා සඳහන් කළේ, ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතිය නවීකරණය කිරීමේ කටයුත්තක නිරතව සිටි L3Harris සමාගම විසින් සිදුකළ නඩත්තු කටයුත්තක් අතරතුර මෙම ගැටලුව හටගෙන ඇති බවයි.
එහිදී නව රැහැන් පද්ධතියට සම්බන්ධ කළ රවුටරයකින් අධික දත්ත ප්‍රමාණයක් පද්ධතිය වෙත යොමු වීම හේතුවෙන් ගුවන් ගමන් පාලන සන්නිවේදන ජාලයට සහ රේඩාර් පද්ධතිවලට බාධා එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සයිබර් ප්‍රහාරයක් හෝ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් සිදුවූවක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බව බලධාරීහු සඳහන් කරන අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, එය කොන්ත්‍රාත් සමාගමේ ස්ථාපන දෝෂයක්ද නැතහොත් උපකරණයක දෝෂයක්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.

