ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධ නවතම තොරතුරු ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත යොමුකර ඇති අතර සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ICCයේ අවධානයට ලක්ව තිබේ.
කෙසේවෙතත්, හැකි ඉක්මනින් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ අවශ්‍යතාව යළි අවධාරණය කර ඇති ICCය දැනට පවතින තත්වය යටතේ ICC සාමාජික රැස්වීම්වලට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවස්ථාව ලබාදිය නොහැකි බවට එකඟතාවකට පැමිණ ඇත.
යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පසුගිය ඔක්තෝබර් 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමුවුණු පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ද පසුගිය නොවැම්බර් 11 වනදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි. එහිදී එම පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණු අතර එම වගන්ති දෙක සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එම පනත් කෙටුම්පත සම්මත කළහැකි බවට තීන්දු කර ඇත.
ඒ අනුව පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇති අතර එය සම්මත වීමෙන් පසු, එහි ප්‍රතිපාදන අනුව දින 180ක් ඇතුළත නව අධ්යක්ෂ මණ්ඩලය නිලවරණයකින් පත්කර ගත යුතුවේ.


