සටහන – පුලී
නොවැම්බර් 15, LNW (කොළඹ): අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SpaceX සමාගමේ Starship අභ්‍යවකාශ යානය පෘථිවියට ආපසු පැමිණීමෙන් පසු දැවැන්ත යාන්ත්‍රිකයන් ආධාරයෙන් ගුවනේදීම අල්ලා ගැනීමට එම සමාගම සමත්ව තිබේ. පසුගිය සිකුරාදා ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි SpaceX අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ යානය පැය 22කට ආසන්න කාලයකට පසුව සෙනසුරාදා නැවත එම ස්ථානයට පැමිණ මෙලෙස සාර්ථකව අල්ලා ගැනීම විශේෂත්වයකි.
මෙය අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණි Starship යානයක් ගුවනේදී යාන්ත්‍රික අත් මඟින් අල්ලාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ‘Mechazilla’ ලෙස හැඳින්වෙන දැවැන්ත යාන්ත්‍රික අත් පද්ධතිය භාවිත කරමින් සිදුකළ මෙම මෙහෙයුම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් සිහිගන්වන අයුරින් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, SpaceX සමාගම අපේක්ෂා කළ පරිදි මෙහෙයුමේ අදියර දෙකම සාර්ථක කරගැනීමට හැකි වී නොමැත. ගුවන්ගත කිරීමෙන් පසු Starship යානයේ පළමු අදියරේ රොකට් බූස්ටරය පුපුරා විනාශ වී තිබීම ඊට හේතුවයි. එහි සුන්බුන් මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයට වැටී තිබූ අතර, ආරක්ෂක පියවරක් ලෙස එම ප්‍රදේශය බෝයාවන් යොදා සීමා කිරීමට ද කටයුතු කර තිබේ.
එසේ වුවද, දෙවන අදියර වූ Starship අභ්‍යවකාශ යානය සාර්ථකව සිය ගමන අවසන් කරමින් නැවත ගුවන්ගත කළ ස්ථානයට පැමිණ සිරස් අතට ස්ථානගත වීම මෙහෙයුමේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ. SpaceX විකාශන කණ්ඩායමේ සාමාජික ඩෑන් හූට් මෙම අවස්ථාවේදී සිය විස්මය පළකරමින්, “ඔබට මෙය විශ්වාස කළ හැකිද?” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.
SpaceX බලධාරීන් පවසන්නේ මෙම සාර්ථක අල්ලාගැනීම Starship යානය නැවත නැවතත් භාවිත කිරීමේ සමාගමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ වැදගත් පියවරක් බවයි. මීට පෙරද පළමු අදියරේ බූස්ටරය නැවත අල්ලාගැනීමේ මෙහෙයුම් තුනක් සාර්ථකව සිදුකර තිබූ අතර, මෙවර අභ්‍යවකාශ යානයම ආපසු පැමිණ අල්ලාගැනීම එම තාක්ෂණයේ තවත් ඉදිරි පියවරකි.
අඩි 407ක් හෙවත් මීටර් 124ක් පමණ උසකින් යුත් Starship ලොව විශාලතම හා බලවත්ම රොකට් පද්ධතිය ලෙස සැලකේ. සිකුරාදා සවස අමෙරිකානු-මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ පිහිටි SpaceX මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ එය පළමු අදියරේ බූස්ටරයෙන් සාර්ථකව වෙන්වීමෙන් පසු කක්ෂගත වීමට සමත් විය. එහිදී උසස් තාක්ෂණයෙන් යුත් Starlink චන්ද්‍රිකා 26ක් ද අභ්‍යවකාශයට මුදාහැර තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව NASA ආයතනය ද සිය ප්‍රසාදය පළකර තිබේ. ඉදිරි දශකය තුළ Artemis මෙහෙයුම යටතේ ගගනගාමීන් සඳ මතට රැගෙන යාම සඳහා Starship යානය භාවිත කිරීමට NASA ආයතනය SpaceX සමාගම සමඟ ඩොලර් බිලියන ගණනක ගිවිසුම්වලට එළඹ තිබේ. එමෙන්ම අනාගතයේදී සඳ මත ස්ථිර මිනිස් වාසස්ථානයක් ඉදිකිරීමේ සැලසුම් සඳහා ද මෙම තාක්ෂණය වැදගත් වනු ඇත.
SpaceX ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්ගේ අරමුණු සඳ ගවේෂණයෙන් ඔබ්බට විහිදී තිබේ. Starship යානා සමූහයක් අඟහරු ග්‍රහයා වෙත යවා එහි මිනිස් ජනාවාසයක් හෙවත් නගරයක් ඉදිකිරීම ඔහුගේ දිගුකාලීන අභිලාෂයයි.

