සටහන – පුලී
නොවැම්බර් 15, LNW (කොළඹ): හොලිවුඩයේ කලක් ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි සුපිරි නළු ජොනී ඩෙප් නැවතත් ප්‍රධාන පෙළේ හොලිවුඩ් සිනමා නිෂ්පාදනයකට එක්වීමට සූදානම් වෙයි. ඒ, චාල්ස් ඩිකන්ස්ගේ ලෝක ප්‍රකට සාහිත්‍ය කෘතියක් වන A Christmas Carol ඇසුරින් නිර්මාණය වන නවතම චිත්‍රපටය වන Ebenezer හරහාය. මෙහි ඩෙප්, කතාවේ ප්‍රධාන චරිතය වන එබිනීසර් ස්ක්රූජ්ගේ චරිතයට පණ පොවයි.
මෙම චිත්‍රපටය විශේෂ අවධානයක් දිනාගැනීමට හේතුව වන්නේ, හිටපු බිරිඳ වන නිළි ඇම්බර් හර්ඩ් සමඟ පැවති අතිශය ප්‍රසිද්ධ අධිකරණ සටන්වලින් පසුව ජොනී ඩෙප් ප්‍රධාන පෙළේ ස්ටුඩියෝ චිත්‍රපටයකට එක්වන පළමු අවස්ථාව මෙය වීමයි. එම නිසා චිත්‍රපටයේ කලාත්මක සාර්ථකත්වය මෙන්ම බොක්ස් ඔෆිස් ආදායම පිළිබඳව ද සිනමා ක්ෂේත්රයේ අවධානය යොමුව තිබේ.
චාල්ස් ඩිකන්ස්ගේ A Christmas Carol කෘතියෙන් කියැවෙන්නේ මුදලට පමණක් ආදරය කරන, දැඩි මසුරුකමකින් යුත් එබිනීසර් ස්ක්රූජ් නමැති පුද්ගලයාගේ ජීවිතය වෙනස් වන ආකාරයයි. නත්තල් සමයේදී ඔහු වෙත පැමිණෙන අද්භූත ආත්මයන් තුනක් ඔහුගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ අවබෝධයක් ලබාදෙයි. එම අත්දැකීමෙන් පසු ඔහු සිය වැරදි තේරුම්ගෙන කරුණාවන්ත පුද්ගලයෙකු බවට පත්වීමට තීරණය කරයි.

කෙසේ වෙතත්, මෙම චරිතය සඳහා ජොනී ඩෙප් තෝරාගැනීම තුළ විශේෂ සංකේතාත්මක බවක් ද පවතී. ඩෙප්ගේ පෞද්ගලික ජීවිතය සහ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔහුගේ ප්‍රතිරූපය පිළිබඳව පසුගිය වසර කිහිපය තුළ දැඩි කතාබහක් ඇතිවිය.
2020 වසරේදී එක්සත් රාජධානියේ The Sun පුවත්පතට එරෙහිව ගොනු කළ අපහාස නඩුව ඩෙප් පරාජයට පත්විය. ඇම්බර් හර්ඩ් සමඟ පැවති විවාහ සබඳතාව සම්බන්ධයෙන් පුවත්පත පළ කළ ලිපියේ අන්තර්ගතය සැලකිය යුතු ලෙස සත්‍ය බව අධිකරණය තීන්දු කළේය. මෙම තීන්දුවෙන් පසුව Warner Bros සමාගම ඔහු Fantastic Beasts චිත්‍රපට මාලාවේ ගෙලර්ට් ග්රින්ඩෙල්වෝල්ඩ්ගේ චරිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව 2022 වසරේදී ඩෙප් සහ හර්ඩ් අතර තවත් ප්‍රසිද්ධ අධිකරණ සටනක් ඇරඹිණි. මෙවර ඇමරිකා එක්සත් ජනපදයේදී ඩෙප් විසින් හර්ඩ්ට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේ ඇය Washington Post පුවත්පතට ලියූ ලිපියක් සම්බන්ධයෙනි. සති හයකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් පසුව ජූරි සභාව ඩෙප්ට පක්ෂව තීන්දුවක් ලබාදුන් අතර, හර්ඩ් ඔහුට අපහාස කර ඇති බව ද තීරණය කළේය.
එම නඩු විභාගය අතරතුර දෙදෙනාගේ විවාහ ජීවිතය, මත්ද්‍රව්‍ය භාවිතය සහ එකිනෙකා අතර පැවති ගැටුම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය. ඔවුන්ගේ හිටපු විවාහ උපදේශිකාවක වූ වෛද්‍ය ලෝරල් ඇන්ඩර්සන් ද සාක්ෂි ලබාදෙමින් දෙදෙනා අතර අන්‍යෝන්‍ය වශයෙන් අපයෝජනකාරී හැසිරීම් පැවති බව තමන් නිරීක්ෂණය කළ බව සඳහන් කර තිබිණි.
මෙම සිදුවීම්වලින් පසුව ජොනී ඩෙප්ගේ හොලිවුඩ් වෘත්තීය ජීවිතය පිළිබඳව විවිධ ප්‍රශ්න මතුවූ අතර, ප්‍රධාන චිත්රාගාර නිෂ්පාදනවලින් ඔහු ඈත්ව සිටීම ද කැපී පෙනිණි. එවැනි පසුබිමක Ebenezer චිත්‍රපටයට ඔහුගේ සහභාගීත්වය ඔහුගේ සිනමා ජීවිතයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.

