මා පොලිස් කූඩුවේ සිටි අවසන් කාල සීමාව තුල මාගේ මවට මාව බැලීමට පැමීණීමට අවස්තාව සලසාදී තිබින. එසේ හෙයින් මේ කාලය වන විට ජීවිතය පිළිබඳ යම් විස්වාසයක් මා තුල ගොඩ නැගෙමින් තිබින.
මේ කාලය තුල සිදුවු විශේෂ සිද්දියක් නම් කැරැල්ළේදී මියගිය එ.ජා.ප. ප්‍රබලයෙකුගේ ඥාතියෙකු පොලීසියට පැමිණ කූඩුවේ සිටි මා දෙස විපරමින් බලා ආපසු පිටත්ව යාමයි.(එයට හේතුව අදටත් මා නොදනිමි)
මේ වකවානුවේදී මා කලින් සඳහන් කල ඉහල පොලිස් නිලධාරියා විසින් මාව පොලිස් ස්ථානයේ රඳවාතබා ගන්නවාට වඩා රැඳවුම් කඳවුරකට පිටත්කර හැරීම ආරක්ෂිත බැවින් සතියකින් රැඳවුම් කඳවුරකට පිටත්කර හරිනබව මාගේ මවට පවසා තිබින.
ඒ අනුව එක් දිනක් උදෑසන එකොළහට පමණ මාව පොලිස් ජීප් රියක නංවාගෙන කටුගස්තොට පොලිස් ස්තානයේ සිට මහනුවර පොලිස් මූලස්ථානයටත් එතැන් සිට පළ්ලෙකැළේ රැඳවුම් කඳවුර වෙතටත් මාව රැගෙන යන ලදී.
රැඳවුම් කඳවුර ස්තානගතකර තිබුනේ පළ්ලෙකැළේ පැරණි ආයෝජන මන්ඩල කලාපයේ හුදෙකලාවී තිබූ අබලන් ගොඩනැගිළි කිහිපයකය. කඳවුරට පිවිසීමට මීටර් හාරසීයකට පමණ පෙර පොලිස් මාර්ග බාදකයක් යොදා තිබින. පොලිස් මාර්ග බාදකය ලඟ නතර කල ජිප් රිය මුරපොලේ බටයන්ට කිසිවක් පවසා කඳවුර වෙත මාව රැගෙන ගියේය.
මුලින්ම මාව රැගෙන ගියේ කඳවුරේ පරිපාලන ඒකකය වෙතටයි. එහිදී මාහට අංකයක් ලබා දුනි. එතැන් සිට නිලධාරීන් මා සමඟ සියළු ගනුදෙනු කරන්නේ මේ අංකය හරහාය. මාගේ මතකයේ හැටියට ඒ අංකය හැටයි අසූතුන විය යුතුය. එහිදී මාගේ සියළු ඇඳුම් ඉවත්කර සිරුරේ තිබූ සියළු පහර කෑම් සලකුණු ඔවුන් විසින් සටහන් කරගත්තේය. අනතුරුව මාව රැගෙන ගොස් සිර කඳවුරේ ගේට්ටුව හැර ඇතුලට දැම්මේය. එහිදී මා දමාතිබුනේ වාට්ටු අංක දෙකටය.
මා කඳවුරට ගිය විගස කඳවුරේ සිටි රැඳවියන් කීපදෙනෙක් මා සමඟ කතාබස් කොට මාහට නැවතීමට තැනක් (පැදුර එලාගැනීමට ඉඩක් ) ලබා දුන්නේය.
ඒ මොහොත වන විට කඳවුරේ පරිපාලන ඒකකය සතුව පැදුරු නැති හෙයින් රාත්‍රියේ වැතිරගැනීමට මට පැදුරක් නොලැබුනි. එහිදී කඳවුරේ සිටි රැඳවියෙකු විසින් මට ඒ සඳහා ඉටිකොලයක් ලබා දුනි.
ඉක්බිති කඳවුරේ සිටි රැඳවියෙකු සමඟ කතාවට වැටුනු මම ඔහුගෙන් කඳවුර ගැන විස්තර අසා සිටියෙමි. එහිදී ඔහු ප්‍රකාශකර සිටියේ මේ වන විටත් කඳවුරෙන් පැනයාමට තැත් කල කිහිප දෙනෙකුම වෙඩි තබා ඝාතනය කර ඇතිබවත් මෙතනින් පැනයාම හෝ නිදහස්වී යෑම ඉතාම අසීරු දෙයක් බවත් ඇතැම්විට මුළු ජීවිතකාලයම එහි විසීමට සිදුවිය හැකි බවත් ය.
අසූඅට, අසූනමයේ කැරැල්ලට සම්බන්ධ වූවන් දකුණේ සිංහලයන් නොවී උතුරේ දමිළයන් වූවානම් සමහරවිට ඔහු එදා කීවා සේ අදටත් මා ඒ සිරකඳවුර තුලම සිරව සිටින්නටද ඉඩ තිබින. මන්ද උතුරේ ළමා සොල්දාදුවන් යැයි සැකපිට අත් අඩංගුවට ගත් ඇතැම් දෙමළ රැඳවියන් වියපත්ව මිය යන තුරුම රැඳවුම් නියෝග මත දඬුවම් විඳීමට සිදුවූබව පසුගිය සමයේ මට දැනගන්නට ලැබින.
ඒ කෙසේ හෝ සිංහල බෞද්ධයෙකුව ඉපදීම නිසා දෙමළුන්ට නැති සිංහලයන්ට ඇති විශේෂ අපබ්‍රංශ ඓතිවාසිකමක් අද අපට හිමිව ඇත.
උතුරුකරේ උන් සමූලඝාතය කිරීම සඳහා යුධ වැදුන රාජ්‍ය හමුදාවන් රණවිරුවන් සේ දකුණේදී බෞතිස්ම කෙරුනද දකුණේ කැරැල්ල අවසන්කල රාජ්‍ය හමුදාවන් කුළී මැරයන් ලෙස දකුණේදී පිළිකුල් කෙරිනි.
උතුර හමුදා ප්‍රහාරයන්ගෙන් නට්ටං කරදැමූ රාජපක්ෂලාට නැවතනැවතත් බලයට පැමිණීමට දුෂ්ඨ ප්‍රහාරය ආශීර්වාදයක් වුවද දකුණේ ඝාතනයන්ට වගකිවයුතු ප්‍රේමදාස එ.ජා.ප.යට තවදුරටත් බලය දීමට දකුණේ ප්‍රජාව එදා සූදානම් වූයේ නැත.
එකම චෝදනාව මත සැකපිට රැඳවුම් නියෝගවල හිරවූ එක් ජනවාර්ගයක් නිදහස් ය. තවත් ජනවාර්ගයක් දශක ගානක් තාමත් ඇතුලේය. අධිපති ජාතියක ඉපදීම සම්බන්දව විටෙක මට මහත් අපහසුතාවයක් දැනේ. තවත් විටෙක ඒ ගැන මහා වරදකාරී හැඟීමක්ද දැනේ.
මා ඒ කඳවුරට රැගෙන යාමට පෙර ඒ කඳවුර තිබී ඇත්තේ යුධහමුදා ගජබා රෙජිමේන්තුව යටතේය. නමුත් ඒ කාලසීමාවේ හදිසියේ ඇවිළුන උතුරේ යුද්ධය නිසා ඔවුන් කඳවුර පොලිස් දෙපාර්තමේන්තුවට බාරදී උතුරේ මෙහෙයුම් සඳහා ගොස් තිබින. නමුත් පොලීසියට රැඳවියන් පාලනය කරීම දුෂ්කරවූ රැඳවියන් පැනයන අවස්තාවල අසල තිබූ යුධහමුදා ක්ෂනික විහිදුම් බලකායේ (R.D.F.) වෙඩි සහය පොලීසියට ට ලැබී තිබින.
එදා මා අඩස්සිගත කල වාට්ටුව අඩි පනහක් පමණ දිග අඩි තිස් පහක් පමණ පළල පැරණි B.O.I.ගොඩනැගිල්ලකි. එහි රැඳෙවියන් දෙසීයක් පමණ දමා තිබින. වාට්ටුව වටා අඩි දහයක පහලවක පමණ පළල කුඩා මිදුල් කඩක්ද තිබින. සමස්ත කඳවුරේම තවත් එවැනිම රැඳවියන් ගාල් කල ගොඩනැගිලි තුනක් එක පෙලට තිබින. එහිදී ඒ ගොඩනැගිලි එකිනෙක අතර රැඳවියන්ට යාමට නොහැකි වන පරිදි කටුකම්බි වැටවල් සහ විශාල කටුකම්බි රෝල් එක උඩ එක දමා තිබින.
අප සිටි ගොඩනැල්ල පිටුපස වාට්ටුවේ සිටි දෙසීයක පමණ රැඳෙවියන් සඳහා දොරවල් රහිතව තහඩුවලින් සකසන ලද වැසිකිලි හතරක් තිබින. වැසිකිලි යාම සඳහා ජලය ලබාගත යුතුවූ ජල කරාමය තිබුනේ වෙනත් තැනකය. මෙහිදී දිනපතා වැසිකිළියාමට ප්‍රථම වැසිකිළි පෝලිමේ අනිවාර්යයෙන්ම සිටිය යුතුවිය.
වාට්ටුවේ සිටි පිරිසට නෑමට සහ රෙදි සේදීමට අඩි හතරක් පමණ පළල අඩි හයක් පමණ දිග ජල ටැංකියක් වැසිකිළිය අසල සාදා තිබින.
මේ ජලටැංකියේ බිත්තියටම සම්බන්දව ඉදිකර තිබූ ගඩොලින් බැඳි බාවිතා නොකල කුඩා පරණ වැසිකිලි කාමරයක් තිබින. මා කඳවුරට ගෙනවිත් දමා වසරකට පමණ පසුව රැඳවියන් විසින් පලායෑම සඳහා හෑරූ උමගයේ රහස් බිම් දොරටුව තිබුනේද මේ කුඩා වැසිකිලි කාමරය තුලය.
කඳවුරු ගොඩනැගිල්ලේ පිටත එක් පසෙක පොලොව ගොඩනැගිල්ලට වඩා උසින් තිබින. අනික් පැත්තේ පොලොව පහතින් පිහිටා තිබින. උඩින් තිබුන පැත්තේ මුරපොලවල් තිබුනේ පොලොවෙන් අඩි පහලවක් පමණවන සේ ඉහළින් තැනූ යකඩ අට්ටාල මතය. අනික් පැත්තේ මුරපොලවල් තිබුනේ සාමාන්‍ය පොළොව මතය. ඇතැම් මුරපොලවල් වල එල්.එම්.ජී. අවි ද තිබුනාසේ මට මතකය.
ඒ සෑම මුරපොලක් අසලම තිබූ අඩි විසිපහක් පමණ උස කනු මත ෆ්ලෑෂ් ලයිට් කඳවුර තුලට එල්ලකර රාත්‍රී කාලයේ දල්වා තිබින. දිනපතා රාත්‍රී හතට පමණ රාත්‍රී ආහාරය අවසන් වීමෙන් පසු සියළු රැඳවියන් ශාලාව තුලට ගොස් ඉබි යතුරු දමාගත යුතු විය. නැවත ඉබි යතුරු විවෘත කල හැක්කේ පසුදා උදෑසන හයෙන් පසුවය.
එදා මා කඳවුරට ගිය දිනයේදීම රාත්‍රී අටට පමණ කඳවුරේ විදුලිය විසන්දි විය. එවිට මුරපොලවල්වල සිටි බටයන් විසින් කඳවුරේ කටුකම්බි වැට පෙදෙසට හා කඳවුරේ මිදුල දෙසට වෙඩි තබන්නට විය. එහිදී මා සිතුවේ කිසිවෙකු හෝ පැනයාමට තැත් කරන නිසා ඔවුන් මෙසේ වෙඩිතබනවා වියයුතු යැයි යනුවෙනි.
නමුත් මා අසල සිටි රැඳවියෙකුගෙන් මේ ගැන ඇසූ විට ඔහු පැවසුවේ රාත්‍රයේ හැම විදුලි විසන්දි වීමකදීම රැඳවියන් පැන යතැයි යන සැකය නිසා ඔවුන් මෙසේ වැට දිගට හා මිදුලට වෙඩි තබන බවය.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN
පෙර ලිපි –