සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බවත් ඊයේ (15) ප.ව. 11.30 වන විට මෙම පද්ධතිය, ත්‍රිකුණාමලය සිට කි.මී. 640 ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණු අතර තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ඇදෙමින් අද දින (නොවැම්බර් 16) සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘සුළි කුණාටුවක්’ දක්වාත්, නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් 16) දිනයේ සිට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වල සහ මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 02.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


