පෙරමුණු හතරක සටනක් වූ “නසසප මුල මැද අග සහ මම”

නොවැම්බර් 17, කොළඹ LNW :

“ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය” යන විෂයයට ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” මැයෙන් පරිකතාවක් ලියා තිබේ.

එහෙත් ඒ ධර්මප්‍රදීපිකාවේ පැණෙන “දත්ත පුරයේ රාජා හුත්වා” යන පාඨයට ලියු “සුළු කළිඟ දා වත” පරිකතාව තරම් රමණීය වූ ගද්‍ය කාව්‍යයක් ලෙස නොව, මාක්ස් ලෙනින්වාදී පක්ෂයක අචල වාමාංශිකයෙක් සහ අවස්ථාවාදී, ජාතිවාදී මෙන්ම ෆැසිස්ට්වාදී බහුතරයක් අතර ඇති වූ අනවරත අරගලයක ඛේදනීය ප්‍රකාශනයක් ලෙසය.

කොත්තිගොඩ සහෝදරයාගේ කෘතිය ස්ථර ත්‍රිත්වයකින් සමන්විත සළුවක් වැන්න. එහි ප්‍රධාන ස්ථරය වන්නේ නව සම සමාජ පක්ෂයේ ආරම්භය, එහි නැගීම සහ එහි බිඳවැටීමයි. ඔහුගේ ඒ ගෙත්තම මත සියුම් හුයක් සේ තත්කාලීන සමාජ දේශපාලන ඉතිහාසය කතාවද ඇඳී යයි. ඒ කතා ද්විත්වය මතම කොත්ති සහෝදරයාගේ ජීවන සෙවනැල්ලෙන් ඇඳුණු රටා වැටී පවතී.

වඩා යහපත් සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් බිහි වන වාමාංශික ව්‍යාපාර තුළ මෙන්ම, සුජාත සමාජ සංවිධාන ලෙස පෙනී සිටින මාධ්‍ය ව්‍යාපාරයන් තුළ පවා පාවාදීම්, පසු පස සිට කෙරෙන පිහියෙන් ඇනීම්, අවස්ථාවාදය, වංචාව සහ දූෂණය අඩු වැඩි වශයෙන් පවතින බව මෙහිදී කොත්ති සහෝදරයා පෙන්වා දෙයි.

කලක් අපගේ වීරයන් බවට පත්ව සිටි වාමාංශික නායිකයින් පමණක් නොව මාධ්‍ය වීරයින්ද ඔහු වරෙක උත්කර්ෂයට නංවයි. තවත් විටෙක ඔසවා පොළොවේ ගසයි. වරෙක තමන්වත්, තමන්ගේ පක්ෂ නායකයින්වත් ඝාතනය කරන්නට පැමිණි ෆැසිස්ට් කල්ලියට එරෙහිව අවි දරන අතරේම, තවත් වරෙක ඒ ෆැසිස්ට් කල්ලියේ අරගලයට සම්බන්ධ වූවන් කෙරෙහි දයාර්ද්‍ර බැල්මක් හෙළයි.

කොත්ති සහෝදරයා මේ ඓතිහාසික පරිකතාව ලියන්නේ සුදු සහ කළු චරිත හැකිතාක් අවම කරමිනි. ඔහුගේ සමකාලීන දේශපාලන සගයෝ මෙන්ම මාධ්‍ය සගයෝද වරෙක වීරයෝ වෙති. තවත් වරෙක දුෂ්ටයෝ වෙති. ඉතිහාසය ලියද්දී කොත්ති සහෝරයා ඇතැම් විටෙක මහානාම හිමියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ වීදැයි යන කුකුස අප තුළ පැන නගින්නේ එහෙයිනි.

තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන්‍ කොත්ති සහෝදරයා එක වර සටන් පෙරමුණු හතරක සටන් වැදුණු බව මේ කෘතිය පරිශීලනයේදී අපට විද්‍යමාන වෙයි. ඉන් එකක් නම් තමන්ද පූර්ණකාලීන කාඩරයෙකු වූ නව සම සමාජ පක්ෂයේම අභ්‍යන්තරයයි. දෙවැන්න 88-89 ජවිපෙ ෆැසිස්ට් භීෂණයයි. තෙවැන්න මාධ්‍ය සංවිධාන අභ්‍යන්තරයයි. සිව්වැන්න රාජ්‍ය භීෂණයයි.

මේ සටන් හතරෙන් කොත්ති සහෝදරයාට ජය ගත හැකි වූයේ ජවිපෙ ෆැසිස්ට් භීෂණයට එරෙහිව කළ සටන පමණක් යනු මගේ හැඟීමයි. අනෙක් සටන් තුනෙන්ම ඔහු පරාජය වුවද, ඒ හැම සටනකම අවසානය දක්වාම, අභීතව ඔහු කළ සටන් මේ කෘතියේ පරිච්ඡේද පුරා පැතිර පවතී.

මේ කෘතිය වූ කලී අනවරත අරගලයක ඛේදනීය ප්‍රකාශනයක් යැයි මා මුලින් සඳහන් කළේ එහෙයිනි. දේශපාලන මෙන්ම මාධ්‍ය සටන්කාමියෙකුට, එකී සමාජ දේහයෙන් වියුක්තව පිටුවහලේ දිවි ගෙවීමට සිදුවීමම එකී ඛේදාන්තය තීව්‍ර කරයි.

එනයින්ද කොත්ති සහෝදරයාගේ “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” ඛේදාන්තයකි. එහෙත් එකී ඛේදාන්තයද රසවත් වියමනක් ලෙස ප්‍රකාශමාන කරන්නට කොත්ති සහෝදරයා සමත්ව සිටියි. “ශෝකයත් රසයක්” යැයි භරතමුණි පඬිවරයාද පවසා තිබේ!

⁃	තිළිණ රුවන් මලලසේකර විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වායුගෝලයේ ගුණාත්මකභවයේ පහළ වැටීමක් – ආසාත්මිකතා ගැන අවධානයෙන් ඉන්න

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස්...

Jeffrey Epsteinගේ මරණය මිනීමැරුමක්ද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණය සියදිවි...

මිනුවන්ගොඩ, මාතර සහ වලපනේ සිදුවූ මරණ තුනක් සම්බන්ධයෙන් විමර්ශන!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: මාතර සහ වලපනේ ප්‍රදේශවලදී...

ශ්‍රී ලංකාව තවත් ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කරමින් ‘A’ කාණ්ඩයේ පෙරමුණට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: අජ්මාන් හි පැවැත්වෙන ICC...