ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ.
මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල වායු තත්ත්ව දර්ශකය 200ට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවයි.
මීට ප්‍රධාන හේතුව ලෙස බෙංගාල බොක්ක ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවැති කැලඹිලි සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් දේශසීමා හරහා සිදුවන වායු සංසරණය ඔස්සේ මෙරටට වායු දූෂක අංශු ඇතුළුවීම හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් එළිමහනේදී මීදුමට සමාන ස්වභාවයක් ඇතැම් ප්‍රදේශවල නිරීක්ෂණය කළ හැකි බවත්, එලෙස දිස්වන්නේ වායුගෝලයේ පවතින දූවිලි හා අනෙකුත් අංශු බවත් ඔහු පෙන්වා දෙයි.
දැනට පවතින දත්ත අනුව මෙම තත්ත්වය තවත් දින තුනක් හෝ හතරක් පමණ පැවතිය හැකි නමුත්, පවතින කාලගුණික කැලඹිලි සහ වායු සංසරණ රටාවන් හේතුවෙන් එය නිශ්චිතව පුරෝකථනය කිරීම අපහසු වෙයි.
විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්, ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ වායුගෝලයේ පවතින දූවිලි අංශු සඳහා අසාත්මිකතා ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර එවැනි පුද්ගලයන්ට අසාත්මිකතා හෝ ශ්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
‘‘මධ්‍යම පරිසර අධිකාරී විදිහට අපි නිරන්තරයෙන්ම අපේ වායුගෝලයේ තත්ත්වය ගැන අපි සොයා බලනවා. අපිට ඊයේ දිනයේදී දකින්න ලැබුණා මෙම වායුගෝලයේ තියෙන ගුණාත්මකභාවයේ අඩු වීමක්. විශේෂයෙන් අපිට දැකගන්න පුළුවන් වුණා උතුර, ඒ වගේම උතුරු-මැද වගේ ප්‍රදේශවල වායුගෝල තත්ත්ව දර්ශකය ඉහළ යාමක්. ඒ අගය 150ත් 200ත් අතර ප්‍රමාණයක් ගත්තා. අපි දන්නවා පහුගිය දිනකීපය තුළ බෙංගාල බොක්ක ප්‍රදේශයේ තිබුණු ඒ කැලඹිලි ස්වභාවයත් නිසා, අන්තර් දේශසීමා අතර සිදුවන වාතය සංසරණය නිසා අපේ රටට වායු දූෂකකාරක ඇතුල් වෙලා තියෙන එක තමා මේකට ප්‍රධාන හේතුව. ගොඩක් වෙලාවට එළියට ගියාට පස්සේ අපිට දකින්න හම්බවෙන්නේ මීදුම් වගේ ස්වභාවයක්. ඇත්තටම ඒ වාතයේ තියෙන අංශු තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ.
ඉතින් ඒ තත්ත්වය අද වෙනකොට තවදුරටත් වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන් උතුර, උතුරු-මැද, ඒ වගේම බස්නාහිර, නැගෙනහිර වගේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මෙම අගය අහිතකර මට්ටම දක්වා, ඒ කියන්නේ 200ට වැඩි අගයක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව විදිහට අර විදිහට මම සඳහන් කරන්න තියෙන්නේ මේ වාතයේ අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය. ඉතින් මේකෙදී අපි කියන්න තියෙන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා, විශේෂයෙන් මේ අසාත්මිකතාවලට, ඒ කියන්නේ වාතයේ තියෙන ඒ ධූවිලි අංශවලට ඒ වගේ දේවල්වලට අසාත්මික පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ අසාත්මිකතාවයක් ඇති වුණොත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න කියලා මධ්‍යම පරිසර අධිකාරී විදිහට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා කියා සිටියේය.


