රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW:
‘කවන්තිස්ස’ ඇතුගේ මරණය සිදුව ඇත්තේ බඩවැල් පැටලීමක්, ඒ ආශ්‍රිතව ඇති වූ ‘සෙප්ටික් ෂොක්’ (septic shock) තත්ත්වයක් සහ ඉන් අනතුරුව ශරීරයේ අවයව කිහිපයකටම බලපෑ සංකූලතා හේතුවෙන් බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
‘කවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධ නඩුව ඊයේ (18) ගල්ගමුව මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළි විය.
මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර මහතා විසින් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඇතාගේ දකුණු පාදය අවට දිගුකාලීන තුවාල තුනක් දක්නට ලැබුණු බවත්, එම තුවාල තුළ වෙඩි උණ්ඩ හෝ උණ්ඩ කොටස් කිසිවක් හමු නොවූ බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
එසේම, මරණ පරීක්ෂණයේදී ඇතාගේ දකුණු පස උදර බිත්තියේ සහ උරස් බිත්තියේ වෙඩි උණ්ඩ තුනක් හමු වූ නමුත්, ඉන් කිසිවක් අභ්‍යන්තර අවයවවලට හෝ අස්ථිවලට හානි සිදු කර නොතිබූ බව ද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මෙම නඩුවට මැදිහත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සහ නීතිඥවරුන් වන රෝහිත රාජකරුණා සහ බාලක්‍රිෂ්ණන් ප්‍රියංග යන මහත්වරුන් විසින්, ජාත්‍යන්තර පශු වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් ලවා ‘කවන්තිස්ස’ ඇතාගේ මරණ පරීක්ෂණය නැවත සිදු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


