සටහන – රුවන් නෙළුගොල්ල
ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් තවමත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ලබාදී නැති අතර මේ අයවැයෙන් ද එය සිදුකර නොමැති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් අපේ ආණ්ඩුව තාම කළෙත් නෑ, මේ අයවැයෙන් කරලාත් නෑ. ඒක ඉදිරියේදී ඊළඟ අයවැයෙන් තමයි අපිට බලන්න වෙන්නෙ. හැබැයි තව දෙයක්. අයවැය කියලා කියන්නෙ ඔක්කෝම ප්‍රශ්නවලට උත්තර දෙන එකකුත් නෙවෙයි. අපිට අමාත්යාංශ මට්ටමින් සාකච්ඡා කරමින් සමහර ප්‍රශ්න විසඳාගන්න තියෙනවා, ඊළඟට මේ පැත්තෙන් වැටුප් කොමිසම තියෙනවා, ඒ නිසා මේ අයවැය කියන්නෙ සියල්ලටම අවසාන උත්තර ලැබෙන එකක් නෙවෙයි. අතරමැදදීත් අපට තව උත්තර තියෙනවා. ඒ නිසා මම වෘත්තීය සමිතිවලට කියනවා ඒවා සාකච්ඡා කළාට කමක් නෑ. උද්ඝෝෂණ කළත් කමක් නෑ. ඒක අයිතියනෙ, ඒක පාවිච්චි කරගන්න ඕනෙ. අනිත් එක වෘත්තීය සමිති කරපු අය කවුරුත් දන්නවා, වෘත්තීය සමිතිවලට මොනවා හරි කරන්නත් ඕනෙ. ඕනෙ තරම් ප්‍රශ්නත් තියෙනවා. ඒ ප්‍රශ්න පාදක කරගෙන එහෙම කරේ නැත්නම් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගෙනියන්න බෑ. ඉතින් අපිත් හැමදාම කරපු අයනෙ. එහෙම එකකුත් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවක් කොච්චර දුන්නත්, අයවැයකින් කොච්චර දුන්නත් කොහේ හරි මොකක් හරි තියෙන එකක් හොයලා ගන්නවා. ඒකට අපේ කිසි අමනාපයක් නෑ. ඒ පිළිබඳව අපට අවබෝධයකුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ රාජ්‍ය සේවයේ අයටත් අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි සමහර ඒවාට සමහරු සම්බන්ධ වෙන්නෙත් නැත්තෙ”
කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


