දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 400 ට අදාළව සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අත්අඩංගුවට !

ඊයේ (20) දිනයේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව ඊයේ පන්නල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගනු ලැබූ මෙම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා ඊයේ පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වූ අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූප පහතින් දැක්වේ.