අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම අද රටට අවශ්‍ය ප්‍රමුඛතම විසඳුමයි – මානව හිමිකම් ආරක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය එම්. එම්. සෆාන්

ජීවන වියදමෙන් පීඩාවට පත්වන ජනතාවට සහන කෝ? රජයේ සේවකයන්ට පමණක් නොව සියලු ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුයි!

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්ව ඇත්තේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදමයි. ආදායමට සාපේක්ෂව වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය දැඩි අසීරුතාවකට පත්ව තිබේ.

අද වන විට වේල් තුනක් ආහාර ගත් පවුල් වේල් දෙකකට සීමා වන තත්ත්වයක් දක්නට ලැබේ නම් එය හුදෙක් ආර්ථික ගැටලුවක් පමණක් නොව සමාජීය හා මානුෂීය අවධානය යොමු කළ යුතු බරපතළ තත්ත්වයකි.

රජයේ සේවකයන් පමණක් නොව සියලුම සේවකයන් ගැන සිතන්න!

රටක ජීවත් වන්නේ රජයේ සේවකයන් පමණක් නොවේ. පෞද්ගලික අංශයේ සේවකයන්, කර්මාන්තශාලා සේවකයන්, වෙළෙඳ සේවකයන්, දෛනික වැටුප් ලබන කම්කරුවන්, ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභී පවුල් විශාල සංඛ්‍යාවක් මේ රටේ ජීවත් වෙති.

ඔවුන් සියලු දෙනාටම ආහාර, නිවාස, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව තිබේ.

එහෙත් බොහෝ පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන මාසික වැටුපෙන් වර්තමාන ජීවන වියදම කළමනාකරණය කර ගැනීම ඉතා අපහසු වී ඇත. වැටුප ලැබෙන දිනයේ සිට ඊළඟ වැටුප් දිනය දක්වා ජීවිතය ගෙන යාම අද බොහෝ පවුල්වලට විශාල අභියෝගයකි.

එබැවින් සහන ලබාදීමේදී රජයේ සේවකයන් පිළිබඳව පමණක් නොව පෞද්ගලික අංශයේ සේවකයන් සහ සමාජයේ සියලුම ආදායම් කාණ්ඩ පිළිබඳව ද රජය අවධානය යොමු කළ යුතුය.

රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සාධනීය ඇගයීමක් ද අවශ්‍යයි!

වර්තමාන රජය විසින් දූෂණය හා වංචාව මැඩපැවැත්වීම, රාජ්‍ය පාලනය විධිමත් කිරීම සහ අනවශ්‍ය රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සාධනීය ඇගයීමක් කළ යුතුය.

රටේ ණය බර, ආර්ථික අභියෝග සහ ජාත්‍යන්තර මූල්‍ය බැඳීම් කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවේ. රජයට ඒ සඳහා විශාල වගකීමක් පැවරී තිබේ.

එහෙත් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තුළ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය අමතක නොකළ යුතුය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ මූලික ජීවන අවශ්‍යතා සුරක්ෂිත කිරීම ද රජයක ප්‍රමුඛ වගකීමකි.

විපක්ෂයටත් වගකීමක් තිබෙනවා!

ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට පමණක් නොව විපක්ෂයට ද විශාල වගකීමක් තිබේ.

විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ දේශපාලන විවේචනවලට පමණක් සීමා නොවී ජනතාවගේ සැබෑ ගැටලු හඳුනාගෙන ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමයි.

එසේම ආණ්ඩු පක්ෂය ද ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙමින් කඩිනම් ප්‍රතිචාර දැක්විය යුතුය.

ජීවන වියදම යනු එක් දේශපාලන පක්ෂයකට පමණක් බලපාන ගැටලුවක් නොවේ. එය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම බලපාන ජාතික ප්‍රශ්නයකි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන්න!

වර්තමාන තත්ත්වය තුළ ජනතාවට සහනයක් ලබාදිය හැකි ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සාධාරණ මට්ටමකට පහත හෙළීමයි.

ඒ සඳහා රජය විසින් පහත කරුණු පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතුය.

සහල්, පිටි, සීනි, පරිප්පු, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීම.

ඉන්ධන සහ විදුලි ගාස්තු ජනතාවට දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉලක්කගත සහනාධාර වැඩසටහන් ශක්තිමත් කිරීම.

පෞද්ගලික අංශයේ අඩු වැටුප් ලබන සේවකයන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම.

වෙළෙඳපොළේ අසාධාරණ මිල වැඩි කිරීම් සහ පාරිභෝගික සූරාකෑම් වැළැක්වීම.

රජයේ සහනාධාර සැබෑ ලෙසම අවශ්‍ය ජනතාව වෙත ලැබෙන බව තහවුරු කිරීම.

ආහාර සුරක්ෂිතතාව සහ පවුල්වල මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කිරීම.

අපේ රටේ ජනතාව දන්කවා අද අප රට විශාල ණය බරකට මුහුණ දී සිටින බව. එම ණය ගෙවීමටත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් රජයට සිදුව තිබේ. නමුත් ඒ සියල්ල අතරතුර සාමාන්‍ය ජනතාවගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සහන ලබාදීම ද අත්‍යවශ්‍ය වේ.

රජයේ සේවකයාටත් ජීවත් වීමට අයිතියක් තිබේ. පෞද්ගලික අංශයේ සේවකයාටත් ජීවත් වීමට අයිතියක් තිබේ. දෛනික වැටුප් ලබන කම්කරුවාටත්, කුඩා ව්‍යාපාරිකයාටත්, ගොවියාටත්, ධීවරයාටත්, විශ්‍රාමිකයාටත් ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අයිතියක් තිබේ.

අපගේ අරමුණ කිසිදු දේශපාලන පක්ෂයකට සහාය දැක්වීම හෝ විරුද්ධ වීම නොවේ. අපගේ අරමුණ ජනතාවගේ හඬ නියෝජනය කිරීමයි.

අද ජනතාව ඉල්ලා සිටින්නේ විශාල පොරොන්දු නොවේ. තමන් උපයන මුදලින් පවුලේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමටත්, බෙහෙත් ලබා ගැනීමටත්, මාසික වියදම් කළමනාකරණය කර ගැනීමටත් හැකි සාධාරණ ආර්ථික පරිසරයකි.

ජනතාව සතුටින් ජීවත් වන රටක් ගොඩනැගීම සියලු දේශපාලන පක්ෂවලම වගකීමකි.

ඒ වෙනුවෙන් රජය, විපක්ෂය, පෞද්ගලික අංශය සහ සියලුම වගකිවයුතු පාර්ශ්ව එක්ව ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කළ යුතුය.

ආචාර්ය එම්. එම්. සෆාන්
විධායක අධ්‍යක්ෂක
මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය (HRPO) – ශ්‍රී ලංකාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට ප්‍රහාර ; නාවික ගමනාගමනයට ඉරානයෙන් දැඩි සීමා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉරානය හෝමූස්...

ඉතිහාසයේ අද වැනි දිනක: ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට ලක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : 1963 නොවැම්බර්...

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු

සටහන - රුවන් නෙළුගොල්ල නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක...

ඉරාන ප්‍රහාරයකින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයක ගින්නක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉරානය විසින්...