Thursday, February 9, 2023
spot_img

Latest Posts

“ලංකාවේ වඩාත් රැඩිකල්ම මුලින්ම ඩෙනිම ඇඳපු කාන්තාවයි”

ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් සුදුසු ඇඳුමක් ඇඳ පාසලට පැමිණීම ගැන සංවාදයක් ඇති වී තිබේ. මෙයට වඩා ප්‍රධාන ප්‍රශ්න නොසෑහෙන ප්‍රමාණයක් රටේ තිබෙතත් සංස්කෘතිකමය ඉදිරිගාමිත්වය පැත්තෙන් සලකා බැලූ විට මෙම සංවාදයද ඉතා වැදගත් එකක් සේ ම ප්‍රගතිශීලී එකකි. ඒ ගැන සැකයක් ඇත්තේ නැත. සාරිය මෙරට පැරැණි සංස්කෘතියට හෝ අපේකම යැ යි කියාගන්නා දෙයට ඇති සම්බන්ධයක් ද නැත. එය වෙනස් වූවා කියා කිසිවක ඓන්ද්‍රිය වෙනසක් සිදුවන්නේ ද නැත. ඇඳුම යනු පෞද්ගලික තෝරාගැනීමක් මිස බලකිරීමක්, නියතියක් ලෙස පැටවීමක් ශිෂ්ට සමාජයකට හොබින්නේ ද නැත. (සාරි අඳින අයට තහනමක් මින් යෝජනා නොකෙරෙන බැවිනි.)

එහෙත්, බැලූ බැල්මට පවා ඉදිරිගාමී යැ යි සිතෙන මෙම ක්‍රියාව අරභයා මිලින්ද ප්‍රශ්නය තරම් දරුණු මට්ටමේ සංවාදයක් ඇතිව තිබෙන්නේ ඒ සා ක්ෂුද්‍ර ශිෂ්ට වෙනසක්වත් දරා ගැනීමට නොහැකි තරම් මේ සමාජය ආපස්සට ගොස් ඇති නිසා ය. රට මෙසේ ආපස්සට ගෙන යාම උදෙසා ගුරුවරුන් බහුතරයක් දෙනා ද දායක වී සිටීම ගැන නොකියා මේ සංවාදය ඉදිරියට ගෙන යා යුතු නොවේ.

විදුහල්පති යනුවෙන් නමට පසුව යොදාගෙන ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන ලක්ෂ්මන් විජේරත්න නම් අයෙක් (මොහු ගම්පහ සංඝබෝධි විදුහලේ විදුහල්පතිල) ලියූ සටහනක් පහත දැක්වේ.

“දරුවන්ගේ සුන්දර ගුරුතුමිය විනාශ කරන්න එපා.

මේ සුන්දර ගුරුතුමිය මා දිවිහිමියෙන් රකිනවා. මට අනිත් පාසල් ගැන කියන්න බෑ හැබැයි මම සංඝ බෝධිය ගැන එකක් කියනවා. සංඝබෝධියෙ ගුරු මහත්මීන් සාරිය හැර සුදුසු ඇඳුමකින් සැරසී පාසැලට පැමිණෙන්නේ සංඝබෝධිය වහල වෙළඳ කලාපයේ ගාමන්ට් එක්ක කළදාට පමණයි.”

මානව ධර්මතා යනු මොනවාදැයි දසමයක්වත් නොදන්නා අමනයන් විදුහල්පතිවරුන් ලෙස සිටින රටක අප ශිෂ්ට වෙනස්කම් යෝජනා කරමින් සිටිමු.
(ඔහුගේ පාසලට ජලය ලබා දී ඇත්තේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක උපකාරයෙනි. අඳෝමැයි!)

අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීම විෂයෙහි ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිකයන් සෑහෙන තරම් පසුගාමී පිරිසකි. ගුරුවරයෙක් නොවෙතත්, වසර 10ක පමණ කාලයක් පුරා ලංකාවේ පැරණිම ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයත් සමකාලීන ප්‍රබල ගුරු වෘත්තීය සමිති සමගත් තිබු පයුරු පාසානය නිසා මේ බව තහවුරු කිරීමට මට ඕනෑ තරම් සාක්ෂ්‍ය තිබේ. (සමහර ගුරු සටන් ක්‍රියාමාර්ග වෙත ගුරුවරුන්ගේ සහභාගිත්වයේ තරම් කොතරම්දැයි කියන්නේ නම්, මහ පාරේ ගුරු සටන් බැනර් අල්ලාගෙන සිටීමට ගුරුකමක් ගෑවීවත් නැති මටද සිදුවී තිබේ.)

ගුරදෙවිවරුන් යනුවෙන් සමාජ ව්‍යවහාරයෙහි ඔජ වඩා තිබෙන බැවින්දෝ සටන් කිරීම පසෙකලා ගුරු වංශයේ ගෞරවාර්හකම කබල්ගෑමට නැතක් ගුරුන්-වරියන් කැමති ය. සාතිශය බහුතරයකට වෘත්තීය සමිතියක් සිහි වන්නේ මාරුවක් හදා ගැනීමට, සේවයේ අසාධාරණයක් වූ විට පමණි. වෘත්තීය සටන් ඉතිහාසයේ පවා ඉල්ලීම් අරභයා කරන ලද අතිශය දැවැන්ත ගුරු සටන් පිළිබඳ දක්නට නොලැබේ. කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පණතට එදිරිව ඇරැඹී මහසටනක් බවට පත් වූ අරගලය ගුරු වැටුප් ඉහළ දැමීමක් දක්වා වර්ධනය වී අසමාන්‍ය පිරිසක් සටනට බැසීම පසුගිය සමයේ සිදු වූ සුවිශේෂී තත්වයකි. එසේ වුවත් ඒ සටන මධ්‍යයේ පවා සෑහෙන ගුරු ප්‍රමාණයක් කර ඇරියෝ ය. එසේ මේ අය සෑහෙන තරම් බහුතරයක් ආකල්පමය අතින්ද, සමාජ කියවීම අතින්ද, ලෝකය පිළිබඳ සිය දැක්ම අතින්ද අන්ත දිළින්දෝ වෙති. මෙරට පාසල්වල ගුරුවරුන්ගේ මෙකී චින්තනමය දිළිඳුකම වත්මන් සමාජය බෛකරණයට ලක්ව තිබීමට ප්‍රබල හේතුවක් ලෙස දැක්විය හැකි ය. සරලව කියන්නේ නම් මේ නෙළන්නේ වපුරපුවාම තමා කියා ය.

ගුරු වෘත්තිකයන් අතර මේ සාරි ප්‍රශ්නය අරභයා ඡන්දයක් පවත්වනු ලැබුවහොත් නිසැකවම සාරිය පමණක් තවදුරටත් ඉදිරියට ගෙන යායුතු බවට එයින් සම්මත වනු ඇතැයි බියක් පවා ඇති වෙයි.

මේ බහුතරයක් දෙනා අතර සුළුතර පිරිසක් සබුද්ධික, ඉදිරිගාමී, ලෝක දැක්මක් සහිත පිරිසක් සිටිති. තමන් විඳිනා හිරිහැරය, පීඩාව ඉදිරියේ නිවටව නොසිට උහු ඉදිරියට එති. ගුරුවරුන් සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීම නම් සටන් පාඨය රැගෙන පෙරට ආවා පමණක් නොව ඔවුන් එය සිදු කර පෙන්වූයෝ ය. මෙයද සමාන වෙන්නේ උපයුක්ත අප දැක්වූ ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩ කෙරෙනා ඌරුවට ම ය. සටන්කාමී පිරිසක් සිටිති. “රාජා හෝ මා හෝ ගංගා හෝ” කියා මේ පිරිස තමන් අනුදක්නා මතය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිති. අභියෝගයන්ට මුහුණ දෙති. හඳපාන්ගොඩ පන්නයේ ගොබ්බ පිරිසක් අනෙක් පස සිටිති. අනෙක් පිරිස නම් අතරමැද පිරිසයි. වරද දැක, පීඩා විඳිමින් එයට වචනයෙන් එරෙහි වුවද ක්‍රියාවෙන් එයට විරුද්ධ වීමට අසමත් මේ අය අතිබහුතරයකි. තමා වෙනුවෙන් අනෙකුන් ඉදිරිපත් වී ඉල්ලීම් දිනාගත් පසු මේ අය එහි පල භුක්ති විඳිති.

රට පුරා පාසල් සියල්ලේ ම පාහේ ගුරුවරියන් හරි අඩක්වත් මේ ක්‍රියාමාර්ගයට එක් වූයේ නම් ලෙහෙසියන්ම මේ රෙද්දෙන් සංස්කෘතිය රැකීමට බල කිරීමේ විකාරය ඉක්මනින් ම නවතා දමන්නට තිබුණි. න්‍යාය ටොන් එකකට වඩා භාවිතය අවුන්සයක් සෑහෙන බලවත් බව කියා ඇත්තේ ලෙනින් ය.

ලංකාවේ වඩාත් රැඩිකල්ම මුලින්ම ඩෙනිම ඇඳපු කාන්තාව බව මහාචාර්ය ලියනගේ අමරකීර්ති වරක් කියා තිබුණා මට මතකය. සාරිය වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳීම පවා සටන් කර දිනාගත යුතු නම් ලෝකය තවදුරටත් අප සිතියමේ තබාගෙන සිටීම ගැන සතුටු විය යුතු ය. අප සිටින්නේ අන්තිම දසමස්ථානයට බෛකරණය වූ සමාජයක ය. සියලු තැන්හි පාහේ වෙලාගෙන ඇත්තේ පසුගාමීත්වයයි. නූතන බව නියෝජනය කළ යුතු දේශපාලන ව්‍යාපාරයන් පවා බහුතරය දිනාගැනීම උදෙසා මේ වැනි තැන්වල මෞනව්‍රත රකිති. කොට්ට උරයක් කණපිට ගසා දමන්නාක් මෙන් බොහෝ ආචීර්ණකල්පික අගතීන් කණපිට ගැසිය යුතුව තිබේ. ඇත්තවශයෙන් ම කියන්නේ නම් කණපිට ගැසිය යුතු දේවලට සාපේක්ෂව මෙය අතිශය අප්‍රධාන දෙයකි. මේ සියලු ආකාරයේ ඇඳුම් හැඳ සිටින මිනිසුන්ගේ විඥානයේ මහත් බරෙන් එල්ලී තිබෙන, දුගී චින්තනය ගලවා විසි කළ යුතු ය. එවිට මෙවැනි දේ මහකාරියක් නොවනු ඇත.

ගුරුවරියනි,
චක්‍රලේඛ එකපිට එක ගැසුව ද, තඹ සතයකට මායිම් නොකර සුදුසු ඇඳුමකින් සැරසී පාසල් එන්නට ඔබට අවශ්‍ය ද?
එසේ නම් සටන් කරන්න.
වචීපරම නොවී ක්‍රියාවෙන් ද එරෙහි වූ ඒ සුලුතරයක් නිර්භය ගුරුවරියන් පිරිස තනි වූයේ නම් ඔවුන් දඩයමට පහසු වනු ඇත.
පොත අත්සන් කරන්නට නොදෙන්නේ යැ යිද, විනය පරීක්ෂණ කරන්නේ යැ යිද තවත් අටෝරාසියක් කයිකතන්දරද කියා ඔවුන් බිය ගන්වනු ඇත. ඒ පිරිස ගත් මග යන්නට ලංකාව පුරා දසදහස් ගණනක් ඉදිරිපත් වන්නේ නම්, ඒ සියලු දෙනාගේ ම වැඩ තහනම් කර හමුදාව දමා පාසල්වල ඉගැන්වීමට පාලකයන්ට හැකියාවක් තිබේ ද?

නිසැකව ම සාරිය වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳ පාසල් පැමිණීමේ දිනයක් එළැඹෙනු ඇත.

ඒ දිනය සඳහා ගත වෙන කාලය තීරණය කරන්නේ අන් කිසිවෙකු නොව ඔබ ම ය!

~ සඳුන් ප්‍රියංකර විතානගේ

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.