විශිෂ්ට කලාකරුවකු වූ ධර්මසිරි ගමගේ සුලවතාණන් පිළිබඳව, එවක දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂාංග කර්තෘ අභාවප්‍රාප්ත වූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා විසින් ලියන ලද මෙම ලිපිය එතුමාගේ අභාවය වෙනුවෙන් මෙයට විසි වසරකට පෙර, 2004 සැප්. 22 දින බදාදා දිවයින පුවත්පතෙහි පළවූවකි. මෙම ලිපිය නැවත පුවත්පත වෙත යොමු කරන්නේ ධර්මසිරි ගමගේ සූරීන්ගේ විසිවන ගුණානුස්මරණය වෙනුවෙනි. ඊට සමගාමීව ධර්මසිරි ගමගේ පදනම සහ ‘පහන් වැට’ නිර්මාණ කේන්ද්‍රය මගින් සංවිධානය කෙරෙන ධර්මසිරි ගමගේ ගීත රචනා රැගත් ‘සිහින නෙළුම් මල’ සංගීතමය හරසර උළෙල 2024 දෙසැම්බර් මස 6 වන දින ප.ව. 5.30 ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙහිදී ආරම්භ වේ.
අතීතයේ සොඳුරු දවසක…
අතීතයේ සොඳුරු දවසක ලකී ඩයස්, මහාචාර්ය සුනිල් ආරියරත්න අමරසිරි කලංසූරිය, සනත් ගුණතිලක, ධර්මසිරි ගමගේ සූරීන් පුවත්පත් කතුවර නාරද නිශ්ශංක, ආචාර්ය නන්දා මාලනිය, වජිරා, සරුංගලේ නිෂ්පාදක වයි.එම්. කරුණාතිලක මෙහි වෙති.
ඔහු විසල් ගසක් වන් මිනිසෙකි. මේ මහා මිනිසාගේ සෙවණේ හැදී වැඩුණු දරුවෝ දහස් ගණනක් වෙති. ඒ දහස් ගණන් දරුවන් අතර කවියෝ, ගී පද රචකයෝ, චිත්‍ර ශිල්පීහු, ඡායාරූප ශිල්පීහු හා පුවත්පත් කලාවේදීහු ද වෙති.
එදා ඔහුගේ දෑතේ ඇඟිලිවල එල්ලීගත් කුඩා දරුවෝ අද ඒ ඒ ක්ෂේත්‍රයන්හි ලොකු මිනිස්සු වී සිටිති. එපරිද්දෙන් මේ කුඩා දිවයින පුරා බැතිබරින් හිස නවා ඔහු පුදන කලාකරුවන් රැසකගේ ගුරුවරයකු වන්නට තරම් ඔහු වාසනාවන්ත වූයේය.
මහා පත්තර දහරාව තුළ කවියක්, කෙටිකතාවක්, ලිපියක් පළ කරවා ගැනීම ආධුනිකයකුට ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. බොහෝ විට මහා පත්තර දහරාව තුළ ඉඩ ලැබුණේ නමක් ඇති ප්‍රවීණයන්ට ය. මෙයින් විසි වසරකට පමණ පෙරදී ආධුනික ලේඛකයාගේ තත්ත්වය ඉතා අසරණ එකක් විය. ඒ අතර ‘යොවුන් ජනතා’ නමැති යව්වනයන් සඳහාම වෙන් වූ පුවත්පතක් 1980 දී පමණ බිහිවූයේ ධර්මසිරි ගමගේ මහතාගේ කර්තෘත්වයෙනි.
රට පුරා සිටි අලුත් ලේඛකයන්ට ගමගේගේ පත්තරය මැද මිදුලක් මෙන් විය. ජීවිතයේ පළමු වරට තමාගේ කවියක්, කෙටිකතාවක් පළවුණේ ගමගේ මහතාගේ පත්තරයේ යැයි කියන ප්‍රවීණයෝ අද බොහෝ සිටිති. ආධුනික කවියාට, කෙටිකතාකරුවාට, චිත්‍ර ශිල්පියාට අතදෙන්නට ඔහු බිය වූයේ නැත. ඔහු සතුව තිබුණේ නොමසුරු දෑතකි.
ඉනික්බිති දහසක් මල් පිපෙන්නට විය. මහා ඝන කැලෑ තුළ පිපෙමින් පරවෙමින් තිබූ දහසක් මල් කලඑළියේ පිපී හිනැහෙන සොඳුරු වසන්තයක් බවට පත්කළේ ධර්මසිරි ගමගේගේ සංස්කරණ බිම් කෙත තුළ ය.
දැවැන්තයන් විසින් අතෙහි ගුලිකොටගෙන තිබූ පත්තර කලාව ඔහු අත දිග හැර ආධුනිකයා වෙත පිරිනැමුවේය. එය එක්තරා අන්දමක විස්මයජනක දෙයකි. එකල දුහුනන් වූ අපට ඇත්තටම එය විස්මයජනක වූයේය.
ඔහු අන් කිසිදු පුවත්පත්කරුවකු බිහි නොකළ අලුත් පරම්පරාවක් බිහි කළේය. පෙරට යන්නට පාරක් නොතිබූ ඒ පරම්පරාවට ඔහු අලුත් පාරක් කපා දුන්නේය.
ඔහු ගීත රචකයෙකි. සිනමාකරුවෙකි. නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. එබැවින් කලා ක්ෂේත්‍රයේ විවිධ කලාකරුවන් අති මහත් ප්‍රමාණයක් මිය ගිය ඔහුට ගරු කරන්නට එති. එහෙත් කලාකරුවන්ගේ බුහුමන් පෙරහැර අතරේ තවත් කුඩා පෙරහැරක් ඔහුගේ දෙන ගෙනයන්නට බලා සිටී. ඒ ඔහු බිහි කළ අර අලුත් පරම්පරාව ය.
හිස නවා ගරු කරන්නට තරම් ඔහු ඉතා අවංක මිනිසෙකි. එසේ කියන්නට කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම් ඔහුගේ නිකසල හදවත ය. ඒ හදවත බෙහෙවින්ම පිරිසිදු ය. කුහකකමේ දූවිලි බිඳකුදු ඒ හදවතේ ගෑවී තිබුණේ නැත.
දෙවැන්න ඔහු පෑ නිහතමානිකම ය. ක්ෂේත්‍රය තුළ කෙතරම් දැවැන්තයෙකු වුවද ඔහු ආධුනික රචකයා සමග එක බංකුවේ හිඳගත්තේය. ඉතා මන බඳනාසුලු ඇතැම් ගීත ඔහුගේ රචනා බව අප දැනගත්තේ ඔහුගේ අභාවය වෙනුවෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන විට ය. තමන්ගේ කෙරුම් කියුම් ගැන ඔහු කතා කළේ නැත. ඉහ වහා ගිය කරුණාවන්තකම ඔහු තුළ තිබූ හොඳම ලකුණකි. ඔහු කතාකරන විට ඒ සීතල කරුණාව වචන තුළ දැවටී ගලා ආවේය. කෝපය කිසිදාක ඔහු තුළින් පළවූයේ නැත.
මේ සියල්ල එකතු වී ඔහුගේ මුවින් ගලා ආ සිනහව මා දුටු මිහිරිම සිනහවකි. එය කෘත්‍රිම සිනාවක් නොවේ. අනුන් රවටන පින්තාරු සිනාවක් නොවේ. කෙනෙකු සමග හද පුරා සිනාසෙන්නට තරම් හොඳ හිතක් ඔහුට තිබිණි.
පුවත්පත් කලාවේදී ඔහු ප්‍රහාරකයකු නොවීය. අනුන්ට පහර දීම ඔහුගේ කලාව නොවූයේය. ඔහුගේ ප්‍රියතම විෂයය වූයේ සෞන්දර්යයි. ඔහු ලියූ පරිසර ලිපි ඔහුගේ රචනා ශෛලියේ විශිෂ්ටත්වයට හොඳම නිදසුන් ය.
ධර්මසිරි ගමගේ ජීවත් වූයේ කොළඹ මාලිගාවත්තේ කොන්ක්‍රීට් නිවාස සංකීර්ණයක ය. එහි ගහක් කොළක් මලක් පෙනෙන්නට තිබුණේ නැති තරම් ය. එහෙත් ඔහුගේ ජීවිතයේ අවසන් වසර ගණනාවම ගතවුණේ කොළඹින් බොහෝ ඈත සොඳුරු වනපෙත් තුළ ය. ගලා යන ගංගා අද්දර ය. තුඟු කඳු මුදුන්වල ය.
සොබාව සෞන්දර්ය අපි හැමදෙනාම රස විඳින්නෙමු. එහෙත් අප විඳි චමත්කාරය අනුනට කියාදීමට අප හැමකෙනෙකුටම කළ නොහැක. නමුත් ධර්මසිරි ගමගේ නම් ශූර රචකයා ඔහු දුටු ගහ කොළ, ඇළ දොළ, වනපෙත, කඳුයාය වෙතටම අප රැගෙන ගොස් බලා හිඳුවන්නට තරම් අපූරු රචනා බසකින් පරිසරය කියාපාන්නට තරම් වදන් වැලක් ඇත්තෙකි.
ඔහුගේ පරිසර ලිපියකට නොදැනීම බැඳෙන අපට වනපෙතේ අඳුරු චමත්කාරය දැනේ. ගලන දොළක සිලිලාරය දැනේ. කඳු පෙළක ශෝකී නිහඬතාව දැනේ. ඔහු වචන ගැට ගසා තලා පෙලුවේ නැත. සුන්දර යුවතියක් විහිදාලන දිගු ලිහිල් වරලසක් මෙන් ගලා යන්නට ඉඩ හැරියේය.
අද අපෙන් වෙන්ව යන්නේ එවැනි වටිනාබර මිනිසෙකි. අලුත් පරම්පරාවක පළමු ගුරුවරයා ය.
දක්ෂ මිනිස්සු සිටිති. එහෙත් දක්ෂකමත්, යහගුණයත් එකතු වූ හොඳ මිනිසුන් විරල ය. ධර්මසිරි ගමගේ ඒ විරල මිනිසුන් ස්වල්ප දෙනා අතරින් එක් අයෙකි.
ඉපිද මැරේ
යළි ඉපදේ
නොතිර සසර සාගරේ….
මේ ඔහු ලියූ ගීයක වචන ය. මේ සසරේදී යළි ඉපදී ඔහු අප අතරට එන්නේ නම්… එය මොන තරම් සතුටක් ද…?
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
(2004 සැප්තැම්බර් 22 බදාදා – දිවයින)