සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: මියන්මාරයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
විවාහ මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබූ ස්ථානයක්, පාසලක්, බෞද්ධ විහාරස්ථානයක්, වෙළෙඳපොළක් සහ අවතැන් වූ ජනතාව රැඳී සිටින කඳවුරක් ද මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ.
නැගෙනහිර මියන්මාරයේ මෝ බ්යේ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇති අතර, මියගිය පිරිස අතර ළමුන් පස්දෙනෙකු ද සිටින බව ප්‍රාදේශීය සහන සංවිධානයක් සඳහන් කරයි. තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
බටහිර රකයින් ප්‍රාන්තයේ ම්රාඋක්-ඌ නගරයේ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් නවදෙනෙකු මියගොස් ඇති අතර මධ්‍යම මියන්මාරයේ මැග්වේ ප්‍රදේශයේ පාසලක් සහ ආරාමයක් ඉලක්ක කර බ්‍රහස්පතින්දා එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනෙකු මියගිය බව විපක්ෂ ජාතික එක්සත් රජය (NUG) පවසයි.
2021 වසරේ හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව ආරම්භ වූ මියන්මාර සිවිල් යුද්ධය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 100,000 ඉක්මවා ඇති බව ගැටුම් නිරීක්ෂණ සංවිධානයක් වන ACLED පෙන්වා දෙයි.

