*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

එන්න අපි ලංවිම විකුණමු!

ඉතිහාසය පුරාවටම මෙරට වැසියෝ නහයට උඩින් වතුර යනකන් ගිලෙන්නට ඉඩ හැර පසුව ගඟට බනින්නෝය. ඉඟුරු දී මිරිස් ගැනීමට රුසියෝ ය. පසුව ආපු අඟට ආවඩා කන කපා දමන්නට කැමැත්තෝය. කන කැපූ පසු ඇහෙන්නේ නැති බව තේරුම් යනවිට අස්සයා ඉස්තාලයෙන් ගොස් ඇති බව දකින්නෝය. කරපු ගොන්කම් ඇතුන් ලවා වත් අද්දවන්න බැරි බව දැනදැනත් ගොන්කම් කර පසුව ඇතුන්ට බනින්නෝය. මේ කියවන ඔබත් මමත් නියෝජනය කරන වර්තමානයේද වෙනසක් නොමැත. අනාගතයේද වෙනසක් වනු ඇතැයි සිතීමට වත් අපහසුය. වෙනසක් නොවුනහොත් ප්‍රතිවිපාක සිතීමට වත් අපහසු තරම් බිහිසුණු විය හැක.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට රුපියල් බිලියන 300කට ආසන්නව පාඩු ලබා ඇත. ලංවිම මුලු වියදමෙන් 85%ක්ම වැයවී ඇත්තේ විදුලිබල ජනනයට ය. සේවක පඩිනඩි දීමනා සියල්ල ආවරණය කිරීමට යන වියදම මුලු වියදමෙන් 08% කටත් වඩා අඩු ප්‍රමාණයකි. මේ ඉලක්කම් වල නිරවද්‍යතාවය අන්තර්ජාලය හරහා හෝ මහජන උපයෝගිතා කොමිසම ප්‍රසිද්ධ කරන දත්ත මඟින් ඕනෑම අයෙකුට තහවුරු කරගත හැකිය.

රටට දරාගත නොහැකි, මෙම අධික පාඩුව පිටුපස ඇත්තේ කතාන්දර 2කි. එක නිසි කලට අඩු වියදම් ජනන බලාගාර නොසෑදීමයි. දෙක මාස කීපයක් තුළ ඇමෙරිකානු ඩොලරය තුන් ගුණයකට ආසන්නව වැඩි වී රුපියල අවප්‍රමාණය වීමයි.

මේ යථාර්තය එළිපිට අමු අමුවේ පෙනි පෙනීත් ලංවිම සමස්ත පාඩුව එහි සේවකයින් නිසා වන බව, ඔවුන්ගේ පඩිනඩි දීමනා වලට බොරු ඉලක්කම් පෙන්වමින් ජනතාව නොමග යවා ඔවුන්ගේ ආවේගය ලංවිම සේවකයින් හරහා පිටවන්නට ඉඩ හැර සිය සායම රැක ගන්නට දේශපාලකයින් සහ වගකිව යුත්තන් ගන්නා උත්සාහය ජනතාවට තේරුම් කර දීමට සක්කරයා ගෙන්වූවත් අපහසුය, නොවේ කරන්නටම බැරිය. ඔබ මේ පේජයේම (CEBEU FB Page) පහලට ගොස් බලන්න. රටට අනර්ථකාරී නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුමට විරුද්ධව අපි හඬ නැගුවෙමු. නොරොච්චෝලේ හතරවන අදියර නවත්වන විට අපි හඬ නැගුවෙමු. සාම්පූර් බලගාරය ඉදිකරන එක නවත්තන විටද අපි එක ලෙසම හඬ නැගුවෙමු. ඉහළ කොත්මලේ බලාගාරය, මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීමට එරෙහිව තිබූ කුමන්ත්‍රණ පරාජය කලෙමු. රටේ ජනතාව වෙනුවෙන් අපි කෙතරම් හඬ නැගුවද ඔබගේ අවධානය එයට නිකමට වත් යොමු වූයේද?. ඒ පෝස්ට් වල කමෙන්ට්, ශෙයා දෙස බලන්න. ඇත්තේම අපවාද සහ අපහාස පමණි. නමුත් විදුලි ඉංජිනේරු විද්‍යාව ගැන වචනයක් නොදත් වාණිජ ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය කළ ආචාරියෙක් වැන්නෙක් පැමිණ මෙන්න ඉංජිනේරු මාෆියාව ගෑවොත් ඒ පෝස්ටුවට එන ප්‍රතිචාර සංසන්දය කරන විට අප නගන හඬ ගඟට කපන ඉනි වලටත් වඩා අපරාදෙ බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

සුපුරුදු පරිදි සූර්ය බලාගාර ගෙවල් වල සවි කරන්නට ඉඩ දුන්නා නම් මේ අර්බුදය නොඑන බවට එන කමෙන්ටු දකින විට එන්නේ කලකිරීමකි. නිවසට සවි කර ඇති Off Grid Solar System ලෙසින් මුළු රටේම විදුලි පද්ධතිය ක්‍රියා කරවීමට හැකි බවට පම්පෝරි මූණු පොතේ එමටය. විචල්‍ය සුනිත්‍ය බලශක්ති ප්‍රභේද වලින් රටක විදුලි සැපයුම ස්ථායීව පවත්වාගත නොහැකි බව පාසල් යන දරුවෙකුට වුවත් තේරුම්ගත හැකිවන පරිදි මේ පේජයේම පෙන්වා දී ඇත. නමුත් අපේ වැසියන්ට තමන්ට අහන්න ඕන දේට පිටින් සක්‍රයා ඇවිත් යමක් කිව්වත් ඒ කනින් අසා මේ කනින් ඩ්‍රොප් ය. එය ඉතිහාසයේ ඉඳන්ම එලෙසය. නැත්තම් පන්නගන්න ඔන්න මෙන්න තිබූ පෘතුගීසින් එක්ක හබේට ලන්දේසීන් ගෙන්නගෙන පස්සෙ ඉංග්‍ර්‍රීසීන් වද්දගෙන සියවසකට වඩා කාලයක් අරාජික වන්නේ නැත.හොඳම කතාව එහෙම පන්නගත්ත ඉංග්‍ර්‍රීසීන් හිටියා නම් හොඳයි කියා දැන් කියන සෙට් එකක් බිහිවී තිබීමය. පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසයට මීට වඩා ප්‍රමුඛත්වයක් තිබුණේ නම් අපේ අය මේ එකම වැරැද්ද රිපීට් කරන එක අඩු වන්නට තිබිණි. එක්කෝ ඒකත් ශුවර් නෑ!

ඉතින් දැන් ලංවිම පාඩු පිට පාඩු ලබයි. විදුලි බිල 75%ක් වැඩි කළත් පාඩුව ආවරණය කිරීමට හැකි වී නැත. මේ ලබන්නේ දශක ගණනාවක් පුරාවට අඩු වියදම් බලාගාර නොසෑදීමෙන් අසීමාන්තිකව ඉහළ ගිය ජනන වියදමේ පාඩුවයි. මේ ලබන්නේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය හමුවේ තුන් ගුණයකින් රුපියල අවප්‍රමාණය වූ පාඩුවයි. සාම්පූර් බලාගාරය 2016 ඉදි කලා නම් මේ වනවිට මෙගාවොට් 500ක් එයින් ලබාගැනීමට යන්නේ වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 600කි. නමුත් එය අවලංගු වූයෙන් ඒ ජනනය ඩීසල් වලින් සිදු කරගැනීමට යන වියදම වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1600කි. පාඩුව ඔබම ගණනය කර ගන්න. දකුණු පළාතට අවශ්‍ය විදුලි සැපයුම ආවරණය කිරීමට හදිසි විදුලි මිලදී ගැනීම් වලට ආණ්ඩුව වියදම් කිරීමට යන වියදම රුපියල් බිලියන 50 කි. නමුත් කොත්මලේ පොල්පිටිය වෝල්ට් 220,000 කිලෝමීටර් 20ක සම්ප්‍රේෂණ මාර්ගය සම්පූර්ණ කිරීමට ආණ්ඩුව විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 1.2 ක් දීමට කටයුතු නොකරයි. අදාළ ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් විශය භාර අමාත්‍යවරයා ඇතුළු සියළුම වගකිව යුත්තන් මේ පිබඳව දැනුවත් කළද, සදාකාලයටම රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් දීමට බිලියන 1.2ක් වියදම් කරනවා වෙනුවට ඉංජිනේරුවන්ගේ ඩීසල් මාෆියා යනුවෙන් රටට කෑගසමින් රුපියල් බිලියන 50ක් මාස හයකට හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ගැනීමට ඔවුන් කැමැත්තෝය. ඉතින් ඒ පාඩුවත් ඔබම ගණනය කරන්න. ජනතාව ඉදිරියේ සිදුවන මාධ්‍ය සංදර්ශන වල තිරය පිටුපස කතාන්දරය, තේරුම් ගැනීමට ඔබට මේ ටික පමණක් වුව ප්‍රමාණවත්ය.

තරඟකාරී මිල ගණන් කැඳවීම යටතේ, අඩු වියදමිකින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ගන්නා ක්‍රියාවලිය මාස ගණනක් විවිධ හේතු මත ලංකා ගල් අඟුරු සමාගම හරහා ප්‍රමාද කර, අවසානයේ රට බරපතල විදුලි කප්පාදුවකට යාවි යැයි බිය ගන්වමින් Spot prices වලට කැමති විදිහකට ගල් අඟුරු මිලදී ගන්න නීති සම්පාදනය කරගෙන ඇත. මේ පාඩුව කොපමණදැයි ගණනය කිරීමට ඔබට ඉදිරි මාස කීපය තුළ හැකි වනු ඇත. මේ පාඩු සියල්ලම අවසානයේ ලංවිම ගිණුමට බැර වෙන හෙයින්, පාඩුව ඇති කිරීමට කවුරු පෙරමුණ ගත්තත් එයට කර ගැසීමට වන්නේ මේ ලියන මටත් කියවන ඔබටත් පමණි. එදාටද ලංවිම සේවකයන්ගේ පඩි කියා බොරු ඉලක්කම් පෙන්වා ඔවුන් ලස්සනට ලිස්සා යනු ඇති අතර ඔබද ලංවිම සේවකයාට දෙස්දෙවොල් තියා කරන්නට කිසිවක් නොමැති තැන මේ පාඩුව ඔබේ කර මතට ගනු ඇත. නොගත්තත් එය අපි සියල්ලන්ගේම කර මත පතිත වනු ඇත.

අලුත්ම මාතෘකාව ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයයි. එයට පෙරමුණ ගන්නන්ගේ වදන් මනෝහරය. අහන් ඉන්නට ආසය. “අහෝ ! ලංවිම මහත් වූ පාඩු ලබන්නේය. අකාර්යක්ෂමය. ජනතාවට සෙතක් නැත්තේමය. ඉතින් අපි මෙය ප්‍රතිව්‍යුහගතකරණය නොකර කුමක් කරන්නද?. එය වූවාට පසුදින සිට රට පුරා විදුලි කප්පාදු කිරීම් අහවරය. ජාත්‍යන්තර තත්ත්වයේ සේවාවන් ඔබට ලැබෙනු ඇත. ලංවිම සේවකයින් බාගෙට බාගයක් දොට්ට දානු ඇත. ඉතුරු උන්ගේද පඩිය බාගයකට අඩු කරනු ඇත.”

කෙතරම් නම් සුන්දර නාට්‍යයක්ද?. මේ කියවන ඔබත් ඒ නාටකය නරඹන්නට ඇලුම් කරන්නේද?. පොඩ්ඩක් නවතින්න. ප්‍රතිව්‍යුහගතකරණය කියා දෙයක් නොමැත. ඇත්තේ ඒ නමින් අයිසින් ආලේප කල පෞද්ගලීකරණය නොහොත් රටේ බලශක්තියේ අයිතිය පෞද්ගලික අංශ වලට පැවරීමයි. “ඉතින් මොකක්ද වරද? ටෙලිකොම් එහෙම කලේ… දැන් ඔය ඒක අපූරුවට ලාබ ලබන්නේ.” ඔබට එසේ සිතේද?. ටෙලිකොම් පෞද්ගලීකරණය කළත් ඔවුන්ට තරඟයක් ඇත. තරඟයෙන් පිටට ගොස් සේවාවන් මිල වැඩි කළොත් ඔවුන් තරඟයෙන් පරදිනු ඇත. නමුත් ලංවිම යනු විදුලිබල ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා ඒකාධිකාරිය ඇති රටේ අනාගත පැවැත්ම තීරණය කරන ආයතනයකි. එයට තරඟයක් දීමට කිසිදු ආයතනයක් නොමැත. හෙට දිනයේ ඔබ පතන ලෙසටම ඔවුන් ලංවිම බලාගාර ටික පෞද්ගලික අංශ වලට විකුණනු ඇත. අනිද්දා ඒ බලාගාර හිමියන් එකිනෙකා සමඟ තරඟ කරනවා වෙනුවට එකතු වී එකවර සිය විදුලි ඒකකයක් තුන් ගුණයකින් වැඩි කළොත් ඔබ, අපි කුමක් කරන්නද?. ලංවිම මෙන් අඛණ්ඩව ඔබට විදුලිය සැපයීමට ඔවුන් බැඳී නැත. වුවමනාවක්ද ඇත්තේම නැත. සල්ලි නැත්තම් නිකන් හිටපන් කියා ඔවුන් බලාගාර ක්‍රියාවිරහිත කළහොත් ඔබ ඇතුලු මෙරට විදුලි පාරිභෝගිකයින්ට අබසරණය. ” එහෙම වෙන්නෙ කොහොමද?. මේවා නියාමනය කරන්න කොමිසම් තියේ නෙ”. ඔබට එසේ සිතිවිල්ලක් එනු ඇත. එසේ වුවහොත් ඒ පිලිබඳව මේ ලියුම්කරුගේ කණගාටුව පලකරමි. ස්වාධීන යැයි කියාගන්න ඔය නියාමන කොමිසම් සභාවල වැඩ ගැන කීමට වචන නාස්ති කිරීමත් අපරාධයක් බැවින් මෙතනින් එහාට ඒ පිලිබඳව සටහනක් නොතබමි.

අඩු වියදම් බලාගාර අපට අහිමි වී ඇත. ඉදිරියේදී හෝ ඒවා ඉදි කළහොත් ඒත් තවත් වසර ගණනාවකිනි. එතෙක් සූර්‍ය බලය වැනි විචල්‍ය සුනිත්‍ය බලශක්තීන් වලින් පමණක් රටක මෙතරම් දරුණු බලශක්ති අර්බුදයක් විසඳිය නොහැක. විදුලි ඉංජිනේරුවන් සුනිත්‍ය බලශක්තියට විරුද්ධ යැයි අපූරු කතාවක් ජනගත කර ඇත. ජනතාවද ඒ ලණුව ගිල දමන අතර එහි ඇත්ත නැත්ත සොයා බැලීමට කිසිවෙකුටත් උවමනාවක්ද නැත්තේය. ඉහත සඳහන් අඩු වියදම් බලාගාර ඉදිකිරීම නැවැත්වීමට මුදල් විසිකර, තරඟකාරී මිළ ගණන් යටතේ පුනර්ජනනීය විදුලිය මිලට ගැනීම වලක්වා ඉතා ඉහළ මිලකට අවරුදු විස්සකට ගිවිසුම් ගතව අදානි වැනි සමාගම් වලට ශ්‍රී ලංකාවේ සූර්යයාලෝකය ඩොලර් වලින් විකිණෙද්දී එහි පාඩුව දරන්න වන්නේ අපේ අනාගත පරපුරට බව නොතේරීම අපේම කරුමයකි.

ඔබට මුදල් තිබේ නම්, ඔබේ නිවසට සූර්ය පැනල සවිකරගෙන හයිබ්‍රිඩ් ඉන්වර්ටරයක් සමඟ බැටරි බෑන්ක් එකක් සවිකරගෙන හොඳින් ඉර පායා ඇති දවස් ටික හෝ විදුලි සැපයුම ලබාගත හැක. එය කිරීමට හැකි නම් මෙවෙලේ ඉතාමත් අගනේය. එහෙත් පාසල් යන දරුවාට අලුත් වසරට අවශ්‍ය පොත් ටික අරන් දෙන්නේ කෙසේ දැයි ලත වෙන පවුල් ලක්ෂ ගණනකට ඒ විසඳුම ප්‍රායෝගික නැත. අප කතා කරන්නේ අන්න ඒ අසරණ අය වෙනුවෙනි. මෙතුවක් අප කී දේ නෑසූකන්ව සිටි ඔබ දැන් එහි ප්‍රථිඵල යහමින් අත් විඳින්නේය. අනාගතය මීටත් වඩා අතිශය භයංකර විය හැක. හැක්කෝ කෙසේ හෝ කුණාටුවට පෙර රටින් පැන යනු ඇත. තවත් අය සිය මිලමුදල් වලින් ආරක්ෂිතව සුවෙන් සිටිනු ඇත. නමුත් මේ ලියන මමත් කියවන ඔබත් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් හට මේ කුණාටුවෙන් තැලී පොඩිවී ඇඹරී බොහෝ දුක් විඳීමට නියමිතය.

පැලැස්තර විසඳුම් සෙවීමට රටේ ජීවනාලිය බඳු විදුලි බලාගාර විකුණා ඩොලර් සෙවීම ඔබ අනුමත කරනවා නම්, ඔබ වරක් නොව දෙවරක් ඔබගේ දරුවන් දෙස බලන්න. ඔබ මෙතෙක් කල් ගත් තීරණ ඒ දරුවන්ට කර ඇති අභාග්‍ය ගැන සිතන්න. මෙය මතු පරපුරට සිදු කරන මහා විනාශකාරී කුණාටුවක් බව දැනේ නම් සහ එය නැවැත්වීමට උවමනා බව හැඟේ නම් බොරු වාද භේද, ජාති භේද, පක්ෂ භේද දුරලා අප සැවොම එකා මෙන් එකතු විය යුතුමය. නැත්තම් අප පමණක් නොව අපගේ දරුවන්ද මේ කුණාටුවේ අසරණ වින්දිතයන් වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැක. නමුත් ඔබට, මට, අපට එක අරමුණකින් එක් වුව හොත්, සත්‍ය වශයෙන්ම එම විනාශය වැලැක්විය හැකිමය.

ලංවිම ඉංජිනේරු සංගමය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan