Thursday, February 9, 2023
spot_img

Latest Posts

අවුරුදු එක්දාස් දෙසීයක් ඉබේ සුරැකුණු පුරා වස්තුව අවුරුදු විසි පහක් රැක ගන්න ආණ්ඩුවට බැරි වෙලා!

සියවස් දොලහක් කාලසීමාවක් ස්වභාවික පද්ධතියක සුරක්ෂිතව තිබූ අපගේ ජාතික උරුමයක් එවැනි දේ ආරක්ෂා කිරීම පිළිබඳ පරම හිමිකමක දරන රජය භාරයට ගෙන “සියවස් කාලක්” තුළ මුළුමනින්ම විනාශයට පත්වීමේ ඛේදනීය සිදුවීමක් පසුගිය දා අනාවරණය විය. ඒ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ අලුත්ම වාර්තාවකිනි.

1998 වසරේ අත්තනගලු ඔය ඉවුරේ වැලි යට තිබී හමු වූ ක්‍රි.ව. අටවෙනි සිය වසට හෙවත් අනුරාධපුර රාජධානි සමයේ අග භාගයට අයත් අඩි හැට තුනක් දිගැති දැවමය පහුරක් ඒ සමයේම ආරක්ෂිතව ඉන් ගොඩ ගෙන කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ විශේෂයෙන් ඉදිකරන ලද ලී කුඩු පිර වූජල ටැංකියක තැන්පත් කරන ලදී. එහෙත් ඉන්පසු ඒ සම්බන්ධ අදාල බලධාරීන් ගේ අවධානයක් නොමැති වීම මත එය මේ වන විට මුලුමනින් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ 2021 වසරේ විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙම පහුර සංරක්ෂණය කිරීම පිණිස රුපියල් ලක්ෂ පනහක මුදලක් වැය කොට පොලිඑතලීන් ,ග්ලපිකෝල් (Polyethylene,Glycol ) යන රසායනිකයන් මිලට ගෙන ඇති බවත් එම පහුර සංරක්ෂණය කිරීම පිණිස ඒවා භාවිතා කොට නොමැති බව එම විගණන වාර්තාවේ සඳහන් ව තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වනුයේ එම රසායනිකයන් වෙනත් කටයුතු සඳහා යොදා ගෙන මෙම පහුර සංරක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය විකල්ප ක්‍රමවේද යෙදීම හේතුවෙන් මෙම ජාතික උරුමය අද වන විට මුලුමනින්ම විනාශ වී යාමේ අවදානමකට ලක් ව ඇති බව ය.

අත්තනගලු ඔයේ වැලි ගොඩ දමන්නවුන්ට එම වැලි අතරේ තිබී හමු වූ අඩි 63ක් දිගැති මෙම දැවමය පහුර ඒ සමයේ ම ආරක්ෂිතව කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන එන ලදී. ඒ ගැමුණු ද සිල්වා ,ආචාර්ය ගාමිණී විජේසූරිය සහ එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ සිරිනිමල් ලක්දුසිංහ යන විද්වතුන් ගේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ය. හොර දැව කඳක් උපයෝගී කර ගෙන තනා තිබූ මෙම පහුර කුමන කාලයක දී කුමක් පිණිස යොදා ගන්නා ලද්දක් ද? යන්න පිළිබඳව එවක විද්වතුන් අතරේ පුළුල් කතිකාවක් ඇති වූ අයුරු අපට මතක ය.ඒ අතර එම දැවමය ව්‍යුහය ක්‍රි.ව. අටවැනි සියවසට අයත් වූවක් බව විද්‍යාත්මකව තහවුරු වූ පසු එය එම කාලසීමාවේ අත්තනගලු ඔයේ යාත්‍රා කෙරුණු ජලජ යාත්‍රාවක් විය හැකිද? යන්න පිළිබඳව විවිධ මතවාද ඇති විය. සමකාලීන යුගයේ අප රටේ ගංගා සේම සමුද්‍රය ආශ්‍රිත ජලජ ප්‍රවාහන පද්ධතිය හා සැසදීමේදී මෙතරම් සුවිසල් දිගකින් යුතු යාත්‍රාවක් අත්තනගලු ඔය වැනි එතරම් පළලක නොමැති ජල මූලාශ්‍රයක් ඔස්සේ කුමන අරමුණක් සඳහා කෙසේ යාත්‍රා කරවන ලද්දේ ද යන්න පිළිබඳ කුකුසක් විද්වතුන් තුළ ඇති විය.

එමෙන්ම ඊට පෙර ද එතරම් සුවිසල් නොවුණ ද ඊට සමාන දැවමය වස්තුන් අත්තනගලු ඔයෙන් හමු වූ බවට ද වාර්තා වී තිබිණ. එමෙන්ම ඒ සෑම දැවමය වස්තුවක්ම අත්තනගලු ඔයේ අත්තනගල්ල රජමහා විහාරයට පහළ කොටසින් මතු වීම ද විශේෂත්වයකින් යුතු විය. මේ සියළු කරුණු සැළකිල්ලට ගත් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් මේ සම්බන්ධයෙන් විශේෂ මතයක් ඉදිරිපත් කළේය. එනම් මෙය ඔරුවක් හෝ පාරුවක් වැනි ජලජ යාත්‍රාවක් නොව ඒ කාලයේ දිය මත රඳවා තිබූ ශක්තිමත් පහුරකට අයත් දැවමය කොටසක් බව ය. කුරුණෑගල රාජධානි සමයේ (1239-1347) ලියැවුණු ‘දඹදෙණි අස්න’ වැනි කෘතීන් හි පහුර යන්නෙන් ප්‍රාකාරය ද හැඟවෙන බැවින් ආචාර්ය ලක්දුසිංහයන් වැඩිදුරටත් කියා සිටියේ මෙම පහුර එවක අත්තනගලු විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් ගේ විනය කර්ම සඳහා යොදා ගැනුණු අත්තනගලු ඔය මැද තනවා තිබූ දිය මත සැකසුණු උදකුක්බේප සීමා මන්දිරයක පාදම සඳහා යොදා ගත් දැව කඳක් වන්නට ඇති බව ය. ඊට යොදා ගත් සෙසු දැව කඳනවිවිධ පලිබෝධකයන් ගෙන් සහ ස්වභාවික හේතූන් මුල් කොට මුලුමනින් හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇතත් ඒ සඳහා වන සාධක අවප්‍රමාණ වීම මත මෙම දැවමය ව්‍යුහය මෙලෙස වසර දහසකටත් වැඩි කාලයක් අත්තනගලු ඔය ඉවුරේ වැලි අතර සැඟවී ස්වභාවික සංරක්ෂණයකට නතු වන්නට ඇති බව ය. එවක ආචාර්ය ලක්දුසිංහයන් දැක්වූ එම මතය එවක සෙසු විද්වතුන් ගේ ද පිළිගැනීමට ලක් විය.

ඒ කෙසේ හෝ තමන් භාරයේ ඇති මෙම දැවමය ව්‍යුහයට වර්තමානයේ සිදු වූ විනාශය මුල් කොට කෞතුකාගාර දෙපාර්තමේන්තු පාර්ශවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙසට ඇගිල්ල දිගු කරනු පෙනේ. එහි ප්‍රධාන නිලධාරියකු මාධ්‍යයට පවසා ඇත්තේ එය ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති මුත් එහි සංරක්ෂණ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වන බව ය. එහෙත්, එම කටයුතු සම්බන්ධ වගකීම් දරන නිලධාරියකු වන ඔහුගේ එම ප්‍රකාශය වෙනම විමසුමකට ලක් විය යුත්තකි. මක් නිසාද යත් ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තු ප්‍රතිග්‍රහණ ලේඛනයේ අංකයක් පවා හිමිව ඇති කෞතුක වස්තුවක් වන එහි ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන වගකීම ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සතු වන බැවිනි. එම නිලධාරියා කී අන්දමට එය ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ මහජන ප්‍රදර්ශනය සඳහා පමණක් හෙවත් “නිකම් පෙන්නීම” සඳහා තබා ඇති භාණ්ඩයක් නම් ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීමට යටත් නොවන එසේ “නිකම් පෙන්වීම තබා ඇති භාණ්ඩ පිළිබඳ ලේඛනයක් ද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් මහජනයා ගේ දැන ගැනීම පිණිස වෙනම ප්‍රකාශයට පත් කළ යුතු ය.

අප ජන වහරේ එන “කිතුල් ගහට නැග්ග මිනිහා ගේ කතාව” යළි යළි යාවත්කාලීන කර ඇඟ බේරා ගැනීමට වෙර දරන මෙවන් නිලධාරීන් ගැන මුලු රට අවධානයෙන් සිටිය යුතු වනු ඇත. එමෙන්ම ඔවුන් පවසන අන්දමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් එම පහුර ආරක්ෂා කරගැනීමට නිසි පියවර නොගත්තේ නම් ඒ සඳහා ගත යුතු ආයතනික පියවර ද කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතු ව තිබේ. එසේ නොමැතිව ජාතික විගණන වාර්තාව මගින් ඒ සම්බන්ධයෙන් අනාවරණය කරන තුරු නිහඬව සිට පසුව හිටිහැටියේ නින්දෙන් පිබිදුණාක් මෙන් මෙලෙස දන් මාධ්‍යයෙන් “ඈනුම් ඇරීම” බරපතල වරදකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන අන්දමට එම පහුර ජාතික කෞතුකාගාරයට භාර දෙන අවදියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව රසායන සංරක්ෂණ අංශයක් නොතිබීම සේම මෙවන් ඉපැරණි දැව ආරක්ෂණ කටයුතු සම්බන්ධ පූර්ව අත්දැකීම් හෝ විද්‍යා තාක්ෂණික දැනුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොතිබීම ආදී හේතුන් මේ තත්වයට හෙතු වී ඇත. නමුත් එම දැව ස්කන්ධයේ අරටුවට මේ දක්වා කිසිදු හානියක් සිදු වී නොමැති අතර ඉදිරියේ දී විදේශ විශේෂඥ සහාය ගෙන හෝ මෙබඳු පුරාවස්තුන් ගේ සංරක්ෂණ කටයුතු සිදු කරන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් මෙම ප්‍රකාශයන් හි සත්‍යතාව සහ ප්‍රමිතිය පිළිබඳව අපි කිසිත් නොදනිමු.

නමුත් ඒ සම්බන්ධයෙන් කෞතුකාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග කරනුයේ එම දැව පහුර තැන්පත් කොට තිබූ ටැංකියට ඉහළින් සවි කොට ඇති වහලය කඩා වැටීම ආදී හේතු මත ඊට වැසි දිය එක්වීම ආදි හේතු මත එම හානිය වඩාත් ශීඝ්‍ර වී ඇති බවයි. කෙසේ හෝ මෙම තත්වය යටතේ කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර සිදුවන කඹ ඇදීමකට වැඩි යමක් ජනතාව බලාපොරොත්තු වෙති.

“මම ඒ කාලේ මගේ රාජකාරි කොටස කළා. වයස සම්පූර්ණ වෙලා පැන්ෂන් අරන් ගෙදර ආවා. ඊට පස්සේ ඕක සංරක්ෂණය කරන්න කොළඹ යන්නවත් ඕක අපේ ගෙදර ගෙනත් සංරක්ෂණය කරන්නවත් මට බෑනේ”. ඒ සම්බන්ධයෙන් අප නැඟූ පැනයකට පිළිතුරු දුන් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කීය.

“අනික ඕක අත්තනගලු ඔයෙන් මතු වුණු වෙලාවේ ඔය මොකක්ද කියලා දැනගන්න කාගෙත් ලොකු උනන්දුවක් තිබුණා. එතකොට ජනාධිපති චන්ද්‍රිකා නෝනත් ඔය ගැන ආරංචි වෙලා පෞද්ගලිකවත් උනන්දු වෙලා ඕක සංරක්ෂණය කළොත් හොඳයි නේද?කියලා මගෙනුත් ඇහුවා ඒ වෙන කොටත් අපි ඕක කටුගෙට ගෙනත්
සංරක්ෂණය කරන්න අදහස් කරලා තිබුණේ. මොකද මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වුණාට පස්සේ ඔය වගේ දෙයක් එහෙම අනාරක්ෂිතව තියන එක අතිශය අවදානම් හින්දා. ඒත් ඉතින් කොහොම හරි අවුරුදු එක්දාස් දෙසීයක් විතර ස්වභාවිකව ආරක්ෂා වුණු දෙයක් රජයේ භාරයට අරගෙන අවුරුදු විසි පහක් තුළ විනාශ වුණා කියන එක නම් බරපතල කාරණයක් තමයි. එසේ කී ආචාර්ය ලක්දුසිංහ “හැබැයි ඉතින් ඕක අත්තනගලු ඔයේ වැලි අස්සෙම පරිස්සමට තිබුණා නම් අදත් හොඳට තියනවා” යයි කීයේ සුසුමක් ද හෙළමිනි.

විනිවිද

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.