*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ඉස්සරහට මොකක් වෙයිද? (පළමු කොටස)

අපි ලියන ගොඩක් සටහන් වල ඉස්සරහට මොකක් වෙයිද කියන එක ගැන යම් ඉඟි තියෙනවා. සමහර ලිපි වල සමහර දේවල් කෙළින්ම කියා තියෙනවා. නමුත්, ඒ ගොඩක් ලිපි වල මෙන් පොඩි පොඩි කෑලි විග්‍රහ කරන්නේ නැතුව සමස්ත චිත්‍රය ගැන විග්‍රහයක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලා තියෙනවා. මීට කලින් වරින් වර ඒ වගේ විග්‍රහ කර තිබුණත්, ටික කාලයකින් එවැන්නක් කරලා නැහැ.

ඉකොනොමැට්ටා කියන සන්නාමය හා බැඳුනු අතීතය වෙත ගියොත්, මේ සන්නාමය එක්ක බ්ලොග් එකක් එළි දකින්නේ 2015 වසරේදී. ඒ වෙද්දී, මහින්ද රාජපක්ෂව පරාජය කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා. මහ මැතිවරණය තියලා නැහැ. රැල්ල තිබුණේ යහපාලනය පැත්තට. සමාජ මාධ්‍ය ඇතුළේ රාජපක්ෂවාදීන්ව බොහෝ දුරට යටපත් වෙලා හෝ යටපත් කරලයි තිබුණේ.

ඔය වෙලාවේ බ්ලොග් එක පටන් ගත්ත එක අහම්බයක්. ඒකට කිසිදු විශේෂ හේතුවක් නැහැ.

එන්නට නියමිත ආර්ථික අර්බුදය ගැන ඉකොනොමැට්ටා සන්නාමය හරහා අපි කතා කරන්න පටන් ගත්තේ අඩු වශයෙන් ඔය කාලයේ ඉඳලා. ඒ වැඩේ අපි දිගින් දිගටම කළා. ඔය අතරේ යහපාලන ආණ්ඩුව මැතිවරණය දිනුවා. ඊට පස්සේ මහින්ද සුළඟ හමලා රැල්ල අනික් පැත්තට හැරුණා. පළාත් පාලන මැතිවරණ හරහා පොහොට්ටු පිපුණා. මහින්ද අගමැති වෙලා ආණ්ඩුවක් පිහිටෙවුවා. සත් සතියක් පහු වෙලා දවස් දෙකක් යද්දී රනිල් නැවත අගමැති වුනා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනා.

ඔය අතරේ කබ්රාල් ඉල්ලා අස් වෙලා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වුනා. ඒ කාලයේ වෙච්ච කවුරුත් දන්න සිද්ධිය යහපාලන ආණ්ඩුවේ හා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය බිංදුවට ඇදල දැම්මා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය ඉවර වුනාට පස්සේ කුමාරස්වාමි මහ බැංකු අධිපති වුනා. කුමාරස්වාමි අස් වෙලා ලක්ෂ්මන් ආවා. ඊට පස්සේ ලක්ෂ්මන්ට අයින් වෙන්න කියලා නැවත කබ්රාල්ව පත් කළා. ඔය දේවල් වෙද්දී අපි දිගින් දිගටම එන්න නියමිත ආර්ථික අර්බුදය නැහැ බ්ලොග් එක හරහා දැනුවත් කිරීම් කළා.

අපි ඔය විදිහට එන්න නියමිත ආර්ථික අර්බුදයක් ගැන දිගින් දිගටම දැනුවත් වීම් කළේ ලංකාවට කෙළ වෙන හැටි බලලා පැත්තකට වෙලා කුරිරු සතුටක් ලබන්න නෙමෙයි. ලංකාවට කෙළවෙන හැටි හිතෙන් මවාගෙන සතුටක් ලබන්නත් නෙමෙයි. අඩු වශයෙන් ආර්ථිකය කඩා වැටුණට පස්සේ ඔන්න අපි කියපු දේ වුනා කියලා ඒකෙන් වාසියක් ගන්නත් නෙමෙයි. එහෙම වාසියක් ගන්නනම් මේ වගේ නමකින් ලියන්නේ නැහැනේ. ඔය වැඩේ කළේ ඒ වෙන්න තියෙන දේ වෙන එක වලක්වා ගැනීම සඳහා පොඩි හෝ තල්ලුවක් දෙන්නයි. වෙනවා කියා අපි කියපු දේ නොවෙනවා දකින්න ඉඩක් ලැබෙයි කියා හිතාගෙනයි.

ඔහොම දිගින් දිගටම අනාගතයේ එන්න තිබෙන ආර්ථික අර්බුදය ගැන ලියද්දී සමහර අය නෙමෙයි ගොඩක් අය අපිව විග්‍රහ කරගත්තේ අසුබවාදියෙක් විදිහටයි. නරක පැත්තම දකින කාලකන්ණි, මුස්පේන්තු මනුස්සයෙක් කියලා කෙළින්ම ප්‍රතිචාර දමපු අය ඕනෑ තරම් හිටියා. එළුවාගේ අහවල් එක කඩා වැටෙනකම් බලා ඉන්නවා වගේ ඕක කඩා වැටෙනකම් හැමදාම බලාගෙන හිටියට කෝ තාම කඩා වැටුණේ නෑනේ කියලා අපිට සමච්චල් කරපු අය හිටියා. අපට සාපේක්ෂව රටේ බොහෝ දෙනෙක් හිටියේ කවදාවත් සැබෑ වීමට ඉඩ නොතිබුණු සුබවාදී සිහිනයක් ඇතුළේ. අපේ පාඨකයෝ වගේම පෞද්ගලික මිතුරන් ගත්තත් වෙනසක් තිබුණේ නැහැ. ඒ ගොඩේ නොහිටපු ගොඩක් අය තමන්ගේ කිරි අත්තගේ කාලේ ඉඳන් ධනවාදය කඩන් වැටෙනකම් බලන් හිටපු අය.

අන්තිමට ආර්ථික අර්බුදය ආවා. අපි කාලයක් තිස්සේ වෙයි කියා කියපු දේවල් ඇත්තටම වුනා. ඒ ටික විස්තර කරන්න අවශ්‍ය නැහැ. කතාවේ ඒ කොටස මෙය කියවන ගොඩක් දෙනෙක් දන්න මෑත අතීතය.

මේ වෙද්දී පෙර කී චක්‍රය කණපිට හැරිලා. දැන් රට හැමතැනම අසුබවාදීන් පිරිලා. භාණ්ඩාගාර බිල්පත් වල හා ස්ථිර තැන්පතු වල දමන සල්ලි සතයක්වත් ආපසු නොලැබෙයි කියලා සමහර අය බය වෙලා. මේ කතා සැලසුම්සහගතව පතුරවනවා වෙන්නත් පුළුවන්. උද්ධමනය ගැන, ඩොලරයක මිල ගැන, පොලී අනුපාතික ගැන අසුබවාදී අදහස් පිරිලා. හැබැයි ඒ අතර තවමත් සුබවාදී සිහින දකින අයත් ඉන්නවා.

බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ තුන්වන කොටසේ මේ වගේ දෙබස් කොටසක් තිබෙනවා.

“Jennifer Parker : Dr. Brown, I brought this note back from the future and – now it’s erased.

Doc : Of course it’s erased!

Jennifer Parker : But what does that mean?

Doc : It means your future hasn’t been written yet. No one’s has. Your future is whatever you make it. So make it a good one, both of you.”

අනාගතය කොහේවත් ලියැවිලා නැහැ. එහෙම ලියැවිලා තියෙනවානම්, අපි මේ ලියන දේවල් වල කිසිම තේරුමක් නැහැ. අනාගතය තීරණය වෙන්නේ අද කරන දේවල් අනුවයි.

හැබැයි අද අපිට කළ හැකි දේවල් වල සීමාවන් තිබෙනවා. ඒ වගේම, අපට දැන් වෙනස් කළ නොහැකි, අතීතයේ කරපු දේවල් තියෙනවා. ඒ නිසා, අනාගතය නිශ්චිත ලෙස ලියැවී නැතත්, අනාගතයේ විය හැකි දේවල් වල සීමාවන් තිබෙනවා. වෙනත් විදිහකට කිවුවොත්, අනාගතයේ විය හැකි දේවල් අපිට හරියටම කියන්න බැරි වුනත්, අනාගතයේ විය නොහැකි දේවල් කියන්න බැරිකමක් නැහැ.

එක උදාහරණයක් ගත්තොත්, සමහර අය බලාගෙන හිටියේ ඩොලර් බිලියන 80ක් පමණ මට්ටමේ තිබුණු ලංකාවේ ආර්ථිකය ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙලා අවුරුදු හතරක් පහක් යද්දී ඩොලර් බිලියන 160ක් වෙයි කියලා. මේ වගේ දේවල් කවදාවත්ම සිදු විය නොහැකිව තිබුණු දේවල්.

ඉකොනොමැට්ටා බ්ලොග් එක පටන් ගත් කාලයේදී අනාගතයේ සිදු වීමට නියමිත ආර්ථික කඩා වැටීමක් ගැන අප පෙන්වා දුන්නේ ඊට පෙර කාලයේ, විශේෂයෙන්ම 2010-2012 වසර තුන තුළ, ආර්ථිකයේ සිදුව තිබුණු අසාමාන්‍ය පිම්බීම මත පදනම්ව. විශාල ලෙස විදේශ ණය ගෙන, එම ණය වල උදවුවෙන් ඩොලරයක මිල කෘතීම ලෙස පහළින් තියාගෙන, පරිභෝජනය වැඩි කර විශාල සෞභාග්‍යයක් පෙන්වා තිබුණත්, ඇහැට පෙනෙන්නට තිබුණු ඒ හැම දෙයක් තුළම තිබුණේ මායාවක් කියන එක තේරුම් ගන්න සෑහෙන තරම් සංකීර්ණ විග්‍රහයක් අවශ්‍ය වුනා. ඇස් වලට පෙනෙන දේ බොහෝ දෙනෙක් දකිනවා. ඇස් වලට නොපෙනෙන දේ දැකිය හැක්කේ සුළු පිරිසකට පමණයි.

මහින්ද රාජපක්ෂ පරාජය වෙන්න කලින් 2013-2014 වසර වලදීත් ආර්ථිකයේ කඩා වැටීම පටන් අරගෙනයි තිබුණේ. එහෙත්, ආණ්ඩුව සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රමාද කරමින් හා මාධ්‍ය සංදර්ශන මගින් මේ තත්ත්වය සඟවා තබා ගැනීමට සමත් වුනා. ඒ ගිය විදිහට ගියානම්, 2016 හෝ 2017 පමණ වන විට විශාල ආර්ථික අර්බුදයක් එනවා. රාජපක්ෂලාගේ හොරකම් පිළිබඳ ඇත්ත නැත්ත පැත්තකින් තියා අදාළ ප්‍රවාදය පමණක් සැලකුවොත්, මේ ප්‍රවාදය ප්‍රබල ලෙස ජනගත වෙන්න හේතු වුනෙත් 2013-2014 ආර්ථික කඩා වැටීම හා එය සඟවා තැබීමට ආණ්ඩුව විසින් දැරූ උත්සාහයයි.

යුද්ධය අවසන් වීමෙන් පසු, 2010-2012 කාලයේ, බුබ්බුලයක් හෝ පිරමිඩ් ක්‍රමයක් ලෙස හඳුනාගත හැකි තත්ත්වයන් තුළ වුවත්, ඇත්තටම ආර්ථිකය වර්ධනය වුනා. ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට ආර්ථිකය වර්ධනය වුනා. මේ ආර්ථික වර්ධනය මිනිස්සුන්ට දැනුණා. රටේ බොහෝ දෙනෙකුගේ අතමිට සරු වුනා. මෙය කියවන ගොඩක්ම තරුණ අයට හැර අනෙක් අයට මේ කාලය අමතක වෙන්න හේතුවක් නැහැ.

ඉහත කාලයේ ආර්ථික වර්ධනය හා ඒ සමඟ ආ සෞභාග්‍යය මිනිසුන්ට ඇඟටම දැනුණු නිසා මාධ්‍ය සංදර්ශන වලින් පෙන්නූ දේවල්, සංඛ්‍යාලේඛණ වගේම අනාගතය ගැන අහන්නට ලැබුණු සුරංගනා කතා පිළිබඳවත් මිනිස්සුන්ට සැකයක් ඇති වුනේ නැහැ. වැඩේ අවුල් වුනේ 2014 පමණ වෙද්දී. එතකොටත් ආර්ථික වර්ධන එන්ජිම නැවතිලා. නමුත්, සංඛ්‍යාලේඛණ හා මාධ්‍ය සංදර්ශන වලට අනුව ආර්ථිකය හැටට හැටේ දුවනවා. ආණ්ඩුව උලුප්ප උලුප්පා සංවර්ධනය පෙන්නුවත්, තමන්ගේ අතට එන මුදල් ප්‍රවාහ අඩු වෙලා බව මිනිස්සුන්ට දැනෙද්දී, කවුරු හෝ පිරිසක් විසින් තමන් අතට නොඑන සල්ලි මහා පරිමාණයෙන් එකතු කර ගන්නවා කියන අදහස මිනිස්සුන්ට එන එක අපේක්ෂා කළ හැකි දෙයක්.

මිනිස්සු යහපාලන ආණ්ඩුව ගෙනාවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් පෙන්නපු සෞභාග්‍යය නැති කර ගන්න නෙමෙයි. හොරකම් නවත්තලා ඒ සෞභාග්‍යයේ ප්‍රතිලාභ තමන්ගේ අතට ලැබෙන්න සලස්වයි කියා හිතාගෙන. යහපාලන ආණ්ඩුව බලය ගත්තේ ඒ බලාපොරොත්තුව මිනිස්සුන්ට දීලා. ඒක කෙසේවත් ඉටු කර ගත නොහැකිව තිබුණු බලාපොරොත්තුවක්.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අතර කාලයේ යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. බදු අඩු කළා. ඒවා කළේ මැතිවරණය ඉලක්ක කරගෙන. ඒ විදිහට දිගටම ගියානම් ඒත් වෙන්නේ 2017 වගේ වෙද්දී ආර්ථිකය ලොකුවටම කඩා වැටෙන එක. නමුත්, පසුව යහපාලන ආණ්ඩුව මේ ප්‍රතිපත්ති විශාල ලෙස වෙනස් කළා. 2020 වන තුරු ආර්ථිකය ස්ථාවරව තිබුණේ ඒ නිසා.

ගෝඨාභය ජනාධිපති වුනාට පස්සේ කරපු ප්‍රධානම ප්‍රතිපත්ති වැරදි දෙක බදු කැපීම හා ඩොලරය හිරකරගෙන සංචිත ටික ඉවර කිරීම. ගොඩක් අය කතා කරන තුන් වන කාරණයක් වන රසායනික පොහොර තහනමට මම බර තියන්නේ ටිකක් අඩුවෙන්. ගොඩක් අය කතා නොකරන කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග වලට මම ඊට වඩා වැඩි බරක් තියනවා. මේවා ගැන කලින් කතා කර තිබෙන නිසා වැඩි විස්තර ලියන්න යන්නේ නැහැ.

බදු කපලා කරපු වැරැද්ද දැන් නිවැරදි කරලා. ඩොලරය තවමත් හිරකරගෙන සිටිනවා වුනත්, රුපියල් 200 මට්ටමේ තිබුණු ඩොලරය රුපියල් 360-370 මට්ටමට යද්දී ඒ වැරැද්දත් සෑහෙන දුරට නිවැරදි වෙලා. මේ කාරණා දෙකෙන් පමණක්ම වුනත් මගේ අසුබවාදී දැක්ම සෑහෙන දුරකට වෙනස් වෙනවා.

නමුත්, කළ යුතු දේ කළ යුතු වෙලාවට නොකර පහු වෙලා කළා කියලා කලින් ප්‍රතිඵලයම ගන්න බැහැ. බදු කැපිල්ලට ආවොත්, බදු නැවත වැඩි කරන තුරු දෙවසරක පමණ කාලයේ රජයට අහිමි වූ ආදායම නැවත ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ඩොලරය හිරකරගෙන සිටිද්දී දිය වී ගිය සංචිත ටික ඩොලරය වැඩි කළා කියලා දැන් නැවත ලැබෙන්නේ නැහැ.

මේ ප්‍රශ්න දෙකෙන් පළමු ප්‍රශ්නය වෙළඳපොළ යාන්ත්‍රනය විසින් දැනටමත් විසඳා අවසන්. උද්ධමනය කියා කියන්නේ වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳපු ක්‍රමය. සාමාන්‍ය බදු විදිහට රජයට එකතු නොවුණු මුදල “උද්ධමන බදු” විදිහට වෙළඳපොළ විසින් එකතු කර දී තිබෙනවා. ඉදිරිපත්ව ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක ඉටු කරගත හැකිනම්, ඒ ප්‍රශ්නය ඉවර වෙනවා.

නමුත්, දෙවන ප්‍රශ්නය ඒ විදිහට ඉවර වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය විසඳන එකත් වෙළඳපොළට භාර දුන්නොත් වැඩේ කෙළවරක් වෙන්නේ රුපියල නැත්තටම නැති වෙලා. ඔව්! ඉන්දියන් රුපියල ලංකාවේ මුදල් ඒකකය වෙන එක වුනත් වෙන්න පුළුවන්! (මම පෞද්ගලිකව ඒක මහා ලොකු ව්‍යසනයක් ලෙස සලකන්නෙත් නැහැ. ඔය වැඩේ කවදා හෝ වෙන්න ඉඩ තියෙන දෙයක්.)

මේ කිවුවේ වැඩේ විසඳන එක මේ වෙලාවේ වෙළඳපොළට භාර දුන්නොත් වෙන දෙය. මහ බැංකුව හෝ රජය එහෙම කරන්න යන්නේ නැහැනේ. ඩොලරය පා කරනු ඇත්තේ තවත් දේවල් ගණනාවක් කිරීමෙන් පසුව පමණයි.

අපි නැවත මුල් ප්‍රශ්නයට එමු.

ඉස්සරහට මොකක් වෙයිද?

ඩොක් බ්‍රවුන් ජෙනිෆර් පාකර්ට කියනවා වගේ අනාගතය තවමත් ලියැවී නැහැ. අනාගතය තීරණය කෙරෙන සාධක ගණනාවක් විවිධ ආකාර වලින් ක්‍රියාත්මක විය හැකිව තිබෙනවා. ඒ නිසාම, අපට අනාගතයේ විය හැකි දේ විග්‍රහ කළ හැක්කේ වත්මන් හා අනාගත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා අදාළ ඉලක්ක ඉටු කර ගැනීමේ ශක්‍යතාවය මත පදනම්ව පමණයි.

දැන් පවතින තත්ත්වය මාස ගණනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව හොඳ තත්ත්වයක් බව කවුරු වුනත් පිළිගනු ඇති.

පහළින් තියෙන්නේ පාඨක ප්‍රතිචාරයකින් කොටසක්.

“ඔන්න මාර්තු-අප්‍රේල්-මැයි-ජූනි-ජූලි වල ජන ජීවිතේ කඩා වැටුනා. මොකද පැය 12 ක් ලයිට් කපනව කියන්නේ ජන ජීවිතේ කුඩේ කුඩු. ජන මානසික සෞවුක්‍ය කුඩේ කුඩු. පාරවල් දෙපැත්තේ තෙල් පෝලිම්. ඔක්කොම ටැක්සි ඇප්ස් වැඩ නෑ. කැංගරු කැබ්ස්වත් වැඩ නෑ. කාළකන්නි කම උච්චතම අවස්තාව. ගෑස් නෑ. කඩවල රටින් ගේන බඩු විතරක් නෙවේ ලංකාවෙ හදන බඩුවත් නෑ. මූසල කම බැලූ බැලූ අත. කන්ස්ට්‍රක්ශන් ප්‍රොජෙක්ට්ස් නැවතිල. ඒවයින් යැපුනු ආශ්‍රිත ඉන්ඩස්ට්‍රීස් වල අයගෙත් රස්සා නැතිවෙල. හෝප්ලස් කියලමයි උදේට හිතෙන්නෙ.”

ඕක කාගේත් වගේ අත්දැකීමක්නේ. දැන් ඔය තත්ත්වය නැති බවත් පැහැදිලියිනේ. ඒ කියන්නේ වැඩේ ගොඩද?

මේ වගේ තත්ත්වයක් තිබුණු පමණින් ආර්ථිකයේ මූලධාර්මික ප්‍රශ්න විසඳී ඇති බව (හෝ විසඳී නැති බව) අදහස් වන්නේ නැහැ. මේ පදනම මත බලනවානම් රාජපක්ෂ දශකයේ දෙවන භාගයේදී රටේ විශාල සෞභාග්‍යයක් තිබුණා. නමුත්, අවුල තිබුණේ ඒ පෙනෙන්න තිබුණු සෞභාග්‍යය ඇතුළේම තමයි.

“එක අඩි දහයක් ගිය තැන හමුවෙනව කාගීල්ස් ෆුඩ් සිටි ඇන්ඩ් සතොස. මිනිස්සු පිරිල. ඉන් පස්සෙ දිගටම හම්බෙන්නේ මයික්‍රො එන්ටප්‍රයිසස් ආප්ප කඩ ග්‍රොසරි කොල කැද විකුණන තැන් ගරාජ් ගමේකඩේ කියල බ්‍රෑන්ඩඩ් මීඩියම් ස්කේල් එන්ටර්ප්‍රයිස් එකක්. ඔක්කොම පාරිභෝගිකයන් ගේ අනුග්‍රහය අඩු නැතුව ලබන තැන්….

…මේ අවුරුදු වගේ ෆ්ලෑශ් කස්ටමර්ල නෙවෙයි ඩෙලි ස්ටෙඩි ආර්‍ර්තික ක්‍රියාවලි අනික ලේටස්ට් ඉඩම් ප්‍රයිසස් එක්ක ඔයා පේන්ට් කරන අදුරු පින්තූරෙ ගැලපන්නෙ නෑ.”

මම මේක බුබ්බුලයක් කියන අදහසින් (හෝ එසේ නොවන අදහසින්) කියනවා නෙමෙයි. (ලංකාවේ දැන් තත්ත්වය ලිපිය පහළට යද්දී විග්‍රහ කෙරෙනවා.) නමුත්, සාමාන්‍යයෙන් බුබ්බුලයකදී වෙන්නෙත් ඕක තමයි. ව්‍යාපාර චක්‍ර වල එක කලාවක් (phase) ඔය වගේ. මේ වගේ තත්ත්වයක් වසර දෙක තුනක් හෝ සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් වුනත් එක දිගට පවතින්න පුළුවන්. අවුරුදු කාලය වගේ සතියකින් හෝ මාසයකින් ඉවර වෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. 2005-2007 අතර ඇමරිකාවේ තිබුණෙත් ඔය වගේ කාලයක්. එය කෙළවර වුණේ 2008 මහා ආර්ථික අවපාතයෙන්. ඒ නිසා, ඔය වගේ “මහ පොළොවේ පේන” දේවල් වලින් ලොකු නිගමන වලට එද්දී සැලකිලිමත් විය යුතුයි. (මම කියන්නේ මහ පොළොවේ පේන යථාර්තය නොසලකා හැරිය හැකි බව හෝ එසේ කළ යුතු බව නෙමෙයි.)

(කරුණාකර මෙහි දෙවන කොටසත් කියවන්න.)

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan