*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඉස්සරහට මොකක් වෙයිද ? (දෙවන කොටස)

“අපි අමතක කරන්න හොඳ නෑ . පත ණයකට පොල්ලක් තියල තමයි , ප්‍රැටල් කෝටා එක දෙන්නේ කියල..”

මේක ටිකක් ජනප්‍රිය කතාවක්. පත ණයකට පොල්ල තියලා බව ඇත්ත. ඒ ණය ගෙවන්න ගියානම් පැට්‍රෝල් දෙන්න බැරි එකත් ඇත්ත. ඒ විතරක් නෙමෙයි- මගේ අදහසනම් රුපියල නැත්තම නැති වී යන්න වුනත් පුළුවන් කියන එක.

හැබැයි දැන් ණය ගෙවන්නේ නැහැනේ. ඒක අපිට කරුණක් විදිහට භාර ගන්න වෙනවා. මේ විදිහට ණය නොගෙවා ඉස්සරහට යන්න බැරිද?

ඇත්ත කතාවනම් ලංකාව කලාතුරකින් හැර කවදාවත් ණය ගෙවලා නැහැ කියන එක. සංඛ්‍යාලේඛණ තිබෙන 1950 වසරෙන් පසු සුළු වශයෙන් ලංකාවේ විදේශ ණය (ඩොලර් වලින්) අඩු වී තිබෙන්නේ 1996, 1997, 2000, 2001 හා 2020 වසර වලදී පමණයි. මතක තියාගන්න 1950න් පසුව මිස 1977න් පසුව නොවන බව. සමහර අය හිතාගෙන ඉන්නේ විදේශ ණය ප්‍රශ්නය 1977න් පසු ඇති වූ ප්‍රශ්නයක් බවයි.

නිදහසින් පසු කලාතුරකින් හැර බොහෝ වසර වලදී ලංකාවේ රජය විසින් කළේ ඩොලර් ණයට ගෙන වෙළඳපොළේ විකුණා ලබා ගන්නා රුපියල් වලින් සුබසාධන වියදම් පියවා ගැනීමයි. හැමවිටම මෙන් එසේ ගන්නා විදේශ ණය හා පොලිය ආපසු ගෙවුවේ තවත් ණය අරගෙනයි.

දැන් ලංකාව විදේශ ණය හා පොලිය ආපසු නොගෙවන්නේ එම ණය ආපසු ගෙවීම සඳහා තවත් ණය ලබා ගැනීම අපහසු වී ඇති නිසා මිස කලින් ණය ගෙවීම සඳහා වැය කළ රටට එන “ඉපැයූ ඩොලර්” පැට්‍රෝල් ආනයනය සඳහා යොදවා ඇති නිසා නෙමෙයි.

මගේ තර්කය ටිකක් පැහැදිලි මදි ඇති. මම කියන්නේ මේකයි. ලංකාව විසින් “ඉපැයූ ඩොලර්” මීට පෙරත් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදා ගත්තේ නැහැ. ඒ නිසා, දැන් විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරියා කියා, ආනයන හා අදාළව, විශේෂ වාසියක් ලැබී නැහැ.

“ඉපැයූ ඩොලර්” වලින් විදේශ ණය ආපසු ගෙවීම මෙතෙක් ලංකාව නොකළ දෙයක්. මෙතෙක් නොකළ දෙයක් මේ වගේ අර්බුදයක් ඇති වී ඇති විටෙක කොහොමටවත් කරන්න බැහැ. මෙතෙක් ලංකාව පරණ ණය හා පොලිය ගෙවුවේ තවත් ණය අලුතෙන් අරගෙන. දැන් වුනත් අලුතෙන් තවත් ණය ලැබුණොත්, ලංකාවට කලින් වගේම පරණ ණය හා පොලිය ගෙවාගෙන යන්න පුළුවන් වෙයි.

ඇත්තම ප්‍රශ්නය ගත් ණය ආපසු ගෙවන එක නෙමෙයි. තවත් ණය නොගෙන දුවන්න පුළුවන්ද කියන එක. ගත් ණය නොගෙවා තවත් ණය ගන්න බැහැ. තවත් ණය නොගෙන කලින් වගේ ආර්ථික කටයුතු පවත්වා ගෙන යන්න පුළුවන්ද? වැදගත් ප්‍රශ්නය ඕකයි.

මෙතෙක් ලංකාව විසින් ඉපැයූ හැම ඩොලරයක් මෙන්ම ආනයන වෙනුවෙන් වැය කර තිබෙනවා. ඊට අමතරව, ණය ලෙස ලබාගත් ඩොලර්ද ආනයන වෙනුවෙන් වැය කර තිබෙනවා. ණය කන්දක් ගොඩ ගැසී තිබෙන්නේ ඒ නිසා.

ණය හා පොලිය ගෙවන එක පැත්තකින් තියමු. ණය හා පොලී නොගෙවා, උපයන ඩොලර් ටිකෙන් පමණක් ආනයන වියදම් පිරිමහගෙන, රටට ඉස්සරහට යන්න පුළුවන්ද?

මගේ පිළිතුර පුළුවන් කියන එකයි. දැන් කරන්නේ ඒක. 2015-2019 කාලය තුළ බොහෝ දුරට කළේත් ඒක. රටේ වෙළඳ හිඟයක් තිබුණත් ශ්‍රමික ප්‍රේෂණ විදිහට සහ සංචාරක ඉපැයීම් ලෙස ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවානම් ඔය වැඩේ කරන්න බැරිකමක් නැහැ.

2015 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 8,430

2015 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 6,980

2015 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 2,981

අතිරික්තය – ඩොලර් මිලියන 1,531

2016 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 8,873

2016 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 7,242

2016 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 3,518

අතිරික්තය – ඩොලර් මිලියන 1,887

2017 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 9,620

2017 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 7,164

2017 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 3,631

අතිරික්තය – ඩොලර් මිලියන 1,175

2018 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 10,343

2018 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 7,015

2018 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 4,883

අතිරික්තය – ඩොලර් මිලියන 1,055

2019 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 7,997

2019 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 6,717

2019 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 3,592

අතිරික්තය – ඩොලර් මිලියන 2,312

යහපාලන ආණ්ඩුව කාලයේ රටේ දැන් මෙන් ආනයන පාලනයක් තිබුණේ නැහැ. නමුත්, අවශ්‍ය ආනයන ඉල්ලුම සපුරාගන්න ඩොලර් ණයට ගන්න අවශ්‍ය වුනේත් නැහැ. ණය ගන්න අවශ්‍ය වුනේ පරණ ණය හා පොලිය ගෙවන්න පමණයි (ආසන්න වශයෙන්). එම කාලයේ විදේශ ණය වැඩි වීම තනිකරම වාගේ පරණ ණය වලම පොලිය.

ඒ කාලයේත් රටේ වෙළඳ හිඟයක් තිබුණා. නමුත් ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ලෙස ලැබුණු විදේශ විණිමය ප්‍රමාණය ඊට වඩා ඩොලර් බිලියනයක් දෙකක් වැඩියි. ඒ අතිරික්තය ලාංකිකයන්ගේ විදේශ සංචාර, විදේශ අධ්‍යාපන වියදම් වගේ දේවල් වෙනුවෙන් අවශ්‍ය අමතර ඩොලර් ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් වුණා. ඩොලරයක මිල හිර කර නොගෙන නිදහසේ තීරණය වෙන්න අරිනවානම් (මේ වෙලාවේ නෙමෙයි!) ඔය සමතුලිතතාවය ඇති වෙනවා. ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඉහත සංඛ්‍යාලේඛණ වල පෙනෙන පරිදි, 2018දී ඉහත කී අතිරික්තය ටිකක් පහළ ගියා. 2018 අවසානයේදී ඩොලරයක මිල රුපියල් 150 සිට රුපියල් 180 දක්වා 20%කින් පමණ ඉහළ ගිය නිසා 2019දී නැවතත් අතිරික්තය ඉහළ ගියා.

ඔය කාලයේදීත් මම විදේශ විණිමය ප්‍රතිපත්තිය විවේචනය කළා. ඒක වෙනම කතාවක්.

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අලුතෙන් විදේශ ණය අරගෙන අයවැය හිඟය පියවා ගැනීම නොවුණත්, එම ආණ්ඩුව කලින් ගත් ණය ආපසු ගෙවීම සඳහා මැදිහත් වීමක් කළේ නැහැ. ඩොලර් එක තව ටිකක් ඉහළ යන්න ඉඩ දීලා එවැනි මැදිහත්වීමක් කළ හැකිව තිබුණා. දැන් යෝජනා වී තිබෙන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ඇතුළෙත් ණය අඩු කර ගැනීමක් නැහැ. පරණ යහපාලන ක්‍රමයම තමයි. මේක තමයි සාමාන්‍ය IMF වට්ටෝරුවේ ක්‍රමය. හැබැයි මේක ස්ථායී ක්‍රමයක්.

මහින්ද රාජපක්ෂගේ කාලයේ, ඒ කියන්නේ කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි සිවිල් යුද්ධය ඉවර වුනාට පස්සේ අවුරුදු වල, ඔය වැඩේ ඔය පිළිවෙලට වුනේ නැහැ. ඒ කාලයේ වුනේ ණයට ඩොලර් අරගෙන ඩම්ප් කරන එක. 2011 හා 2012 අවුරුදු වල සංඛ්‍යාලේඛණ පහළ තියෙන්නේ.

2011 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 9,710

2011 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 5,145

2011 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 830

හිඟය – ඩොලර් මිලියන 3,735

2012 වෙළඳ හිඟය – ඩොලර් මිලියන 9,417

2012 ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 5,985

2012 සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 1,039

හිඟය – ඩොලර් මිලියන 2,393

ඔය කාලයේදී ඩොලර් එක එක දිගටම රුපියල් 110 කිට්ටුව තියාගෙනයි හිටියේ. නමුත්, ඔය වැඩේ කරන්න බැරුව හිර වෙද්දී රුපියල් 130ට යන්න දෙන්න වුනා. ඊට පස්සේ රුපියල් 130 කිට්ටුව අල්ලගෙන හිටියා. හැබැයි 2010-2012 කාලයේදී තරම් 2013-2014 කාලයේදී ණය ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ නිසාම, යම් තරමකට හෝ උපයන ඩොලර් වලින් වියදම් පිරිමහගන්න වෙලා තිබුණා.

උඩින් යහපාලන කාලය ගැන කිවුවට ඇත්තටම 2014 වන විට තිබුණෙත් යහපාලන කාලයේ තිබුණු තත්ත්වයට කිට්ටු තත්ත්වයක්. අලුතෙන් ගන්න ණය වලින් කරන්න පුළුවන් වුනේ පරණ ණය වල වාරික හා පොලී ගෙවන එක පමණයි. ඒ නිසාම, 2010-2012 තිබුණු ආර්ථික වර්ධනය දිගටම පවත්වා ගන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඔය කඩා වැටීම මිනිස්සුන්ට තේරෙද්දී ආණ්ඩුව මාරු වෙලා. ඒ නිසා, මිනිස්සු දැක්කේ හොඳට තිබුණු ආර්ථිකය යහපාලන ආණ්ඩුව ඇවිත් අවුල් කරලා දැම්මා වගේ දෙයක්.

ආර්ථිකයක් කඩා වැටෙනවා කියන්නේ මොකක්ද කියලා දැන් ආයේ අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැනේ. මම හිතන්නේ රාජපක්ෂ කාලයට ආපහු යන්න සිහින දකින අය දැන්නම් නැතුව ඇති. දැන් සිහිනය වෙලා තියෙන්නේ යහපාලන කාලයටවත් ආපහු යන එකනේ. යහපාලන කාලය කිවුවත් අඩු වශයෙන් 2014 සිට, යම්තාක් දුරට 2013 සිට, තිබුණේ ඔය ක්‍රමය. ඒ කියන්නේ, පරණ ණය ගෙවන්න අලුත් ණය ගත්තත්, එදිනෙදා වියදම් වලට විදේශ ණය ගත නොහැකි වූ යුගය. 2020න් පසු ආවේ ගත්ත ණය ආපසු ගෙවන්නවත් ණය ගන්න බැරි වූ යුගයක්!

දැන් ප්‍රශ්නය මේකයි. දැන් නැවත යහපාලන කාලයට යන්න බැරිද?

යහපාලන කාලයේ ණය ගත්තේ පරණ ණය ගෙවන්නනම්, දැන් පරණ ණය ගෙවන්නෙත් නැත්නම්, නැවත ඒ කාලයට යන්න පුළුවන් විය යුතුයිනේ. ඇත්තටම ඒක කරන්න පුළුවන්. වැදගත් වෙනසක් තිබුණත්, දැන් වෙන්නෙත් ඊට කිට්ටු දෙයක්. පහළින් තියෙන්නේ පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ තත්ත්වය.

2022 සැප්තැම්බර් වෙළඳ හිඟය – ඩොලර් මිලියන 206

2022 සැප්තැම්බර් ශ්‍රමික ප්‍රේෂණ – ඩොලර් මිලියන 359

2022 සැප්තැම්බර් සංචාරක ඉපැයීම් – ඩොලර් මිලියන 54

අතිරික්තය – ඩොලර් මිලියන 207

දැන් වෙන්නෙත් 2014-2019 කාලයේ සිදු වූ දෙයම බව පේනවනේ. ඒ කියන්නේ උපයන ඩොලර් ටික පිරිමහගෙන වියදම් කරන එක. නමුත් එක වැදගත් වෙනසක් එක්ක. ඒ තරමයි ආනයන පාලනය. ආනයන පාලනයක් නැතුව දැන් මේ වැඩේ කරගෙන යන්න බැරි ඇයි?

එක ප්‍රධාන හේතුවක් වන්නේ ඒ කාලයේ මාසයකදී ලැබුණු ඩොලර් මිලියන 300-400ක පමණ සංචාරක ඉපැයීම් දැන් ඒ විදිහට නොලැබීම. ඔය ටික නැවත ලැබෙනවානම් ආනයන පාලන ඉවත් කළ හැකියි කියන එකයි මගේ අදහස. ආනයන පාලන තියාගෙන ඉන්න වෙන්නේ ඒ වැඩේ වෙනකම්.

ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම වෙනම කතාවක්.

ශ්‍රමික ප්‍රේෂණ එවපු අය සල්ලි එවන එක අඩු කරලා නැහැ. ඒ සල්ලි ඒ විදිහටම එනවා. නමුත් ශ්‍රී ලාංකිකයන් විසින්ම රටට එන්න කලින් ඒ සල්ලි ටික විදේශ විණිමය විදිහට එකතු කර ගන්නවා. ලංකාවේදී අවශ්‍ය තැනට රුපියල් දෙනවා. ඔය වැඩේ බලහත්කාරයෙන් නවත්වන්න බැහැ. ව්‍යාපාර විදිහට කරන උන්ඩියල්නම් නවත්වන්න පුළුවන්. නමුත් පෞද්ගලික මට්ටමෙන් වෙන ගනුදෙනු ඒ විදිහට නවත්වන්න බැහැ. මොකද මේ විදිහට රුපියල් අරගෙන කාට හරි ඩොලර් දෙන හැම කෙනෙක්ම ඒ වැඩේ කරන්නේ කීයක් හෝ වැඩියෙන් ලැබෙන නිසාම නෙමෙයි. ගොඩක් වෙලාවට එහෙම වැඩියෙන් ගාණක් ලැබෙන්නේ නැහැ. මේක කරන්නේ උදවුවක් විදිහට. සමහර විට අතින් පාඩුවට, අඩු ගාණකට.

මම දැක්කා එක සමීක්ෂණයක් අනුව 18-29 අතර තරුණ තරුණියන්ගෙන් විශාල ප්‍රතිශතයක් රටින් යන්න බලාගෙන ඉන්න බව. රටින් යන්නනම් සල්ලිත් ඕනෑ. මේ විදිහට රටින් යන්න හදන්නේ ලංකාවේ මොනවා හරි යමක් කමක් කරගන්න පුළුවන් වූ පවුල් වල අය. ඒ අයගේ අතේ රුපියල් වලින් යම් මුදලක් තිබෙනවා. නමුත් එක පැත්තකින් ඒවා ඩොලර් කරගන්න බැහැ. අනෙක් පැත්තෙන් ඩොලර් කර ගත්තා වුනත් මේ ගොඩක් අය අතේ මහා ලොකු සල්ලියක් නැහැ. විශේෂයෙන්ම වැඩි වූ ඩොලර් මිලත් එක්ක. මෙයින් අදහස් වෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ රටට එන්න කලින්ම රුපියල් වෙන එක දැන්ම නවතින්නේ නැහැ කියන එකයි.

ලංකාවේ ගොඩක් වැඩිහිටියෝ කියන්නේ අපි කොහොම හරි ජීවත් වෙන්නම් අපිට සල්ලි එවන්න ඕනෑ නෑ, කොල්ලා හරි කෙල්ල හරි ගැන බලලා පුළුවන් දෙයක් කරන්න කියලා. ගොඩක් වෙලාවට මේ හොයන උදවුව රටින් පැනගන්න ක්‍රමයක්. රටින් පැනගන්න ක්‍රමයක් හොයාගත්තට පස්සේ සල්ලි පන්නගන්න ක්‍රමයක්. ඕකයි කතාව.

අපි IMF ණය පැත්තකින්ම තියමු. මේ යන විදිහට වුනත් ලංකාවට කාලයක් ඇදගෙන යන්න පුළුවන්. රට මීට වඩා ඕනෑනම් තව ටිකක් වැටෙයි. ඊට වඩා වැටෙන්නේ නැහැ. ඒ ඇයි?

කෙටියෙන් කිවුවොත් දැන් වෙන්නේ රටට ලැබෙන ඩොලර් ටික රජය හා මහ බැංකුව කැමති විදිහට බෙදා දෙන එක. ඒ ඩොලර් ලැබෙන අයට ආනයන කළ හැකියි. අනෙක් අයට බැහැ. ගෑස් හිඟයක් නැහැ. ගෑස් මිල දරාගන්න අමාරු නිසා ගොඩක් අය ගෑස් අත ඇරලා. ඒ නිසා, ඉල්ලුම අඩුයි. ගොඩක් පහළ මධ්‍යම පාන්තිකයින්ට QR කෝඩ් එකට ලැබෙන කෝටා එක ඕනෑවටත් වැඩියි. කෝටා එකට හරියන්න තෙල් ගහගන්නවත් අතේ සල්ලි නැහැ. ඒ නිසාම, හදිස්සියකට ටිකක් වැඩිපුර තෙල් ඕනෑ කෙනෙක්ට කාගෙ හරි කෝටා එකකින් තෙල් ටිකක් ගහගන්න බැරිකමක් නැහැ.

ලංකාවේ හැමෝටම කැමති විදිහට ආනයන පරිභෝජනය කරන්න තරම් රටට ලැබෙන ඩොලර් ටික ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, ඉහළ මධ්‍යම පාන්තිකයින්ගේ ජීවන තත්ත්වය පහත වැටී තිබෙනවා. නමුත්, පහළ මධ්‍යම පාන්තිකයින්ට මේ වෙද්දී ඩොලර් ප්‍රශ්නයක් ලොකුවට නැහැ. මොකද දැන් රටේ නැති ආනයනික භාණ්ඩ තිබුණා කියලත් ඒ අය අතේ ගන්න සල්ලි නැහැ. වෙන විදිහකින් කිවුවොත් ඒ අයගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම අතේ සල්ලි නැති කම. ආර්ථික විද්‍යා භාෂාවෙන් කිවුවොත් මූර්ත ආදායම පහත වැටීම.

ඔය ඉහළ ස්ථරයට ඇත්තටම උද්ධමනය ලොකුවට දැනිලා නැහැ. මොකද ඉතිරි කිරීම් තිබෙන නිසා පොලී ආදායම් ඉහළ යාමේ වාසියෙන් බඩු මිල වැඩි වීමේ අවාසිය කැපිලා යනවා. වඩා බරපතල ප්‍රශ්නය කලින් පරිභෝජනය කරපු දේවල් කීයක් දීලාවත් ගන්න නැතිකම. ඊට අමතරව බදු වැඩි කිරීම වගේ ප්‍රශ්නත් තියෙනවා.

ඔය ඔක්කොම ප්‍රශ්න තමයි. ආයේ කතා දෙකක් නැහැ. හැබැයි ඔය හැම දෙයක්ම මේ වෙද්දී වෙලා ඉවරයි.

ආනයන පාලනය, බදු වැඩි කිරීම, පොලී වැඩි කිරීම ඇතුළු බොහොමයක් දේවල් ආර්ථිකය හැකිලීමට හේතු වී තිබෙනවා. උද්ධමනය නිසානම් ආර්ථිකය හැකිලිලා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. නමුත් අනෙකුත් හේතු නිසා ආර්ථිකය හැකිලිලා තිබෙනවා. හැමෝගෙම වගේ පරිභෝජන මට්ටම් අඩු වෙලා තිබෙනවා. කාගීල්ස් ෆුඩ් සිටි ඇන්ඩ් සතොස වගේ තැන් වල මිනිස්සු පිරිල ඇති. හැබැයි නිවැරදි ක්‍රමවේදයකට හොයලා බැලුවොත් ඒ අය මිල දී ගන්න දේවල් යම් තරමකින් හෝ අඩු වෙලා. ඒක තමයි ආර්ථික සංකෝචනය.

තව වෙන්න තියෙන්නේ වාහන, ඉඩම්, ගෙවල් වගේ දේවල් වල මිල අඩු වෙන එක. ඒක තවම වෙලා ඉවර නැති වෙන්න පුළුවන්. අනෙක් සංකෝචනය වීම්නම් දැන් බොහෝ දුරට වෙලා ඉවරයි.

ඔය විදිහට ආර්ථිකය සංකෝචනය වුනාට පස්සේ ඒක දිගින් දිගටම තවත් සංකෝචනය වෙන්නේ නැහැ. මොකද සංකෝචනය වෙලා නැවතෙන්නේ දැන් රටට එන්නේ නැති ආනයන ටික නැතිව පවතින්න පුළුවන් මට්ටමක. ඊට පස්සේ ආර්ථිකය ඒ මට්ටමේ දිගටම තියෙනවා. ඒක ස්ථායී තත්වයක්. IMF ණය ලැබෙන එක වගේ උදවුවක් නොලැබුණොත් ඔය ඉන්න තත්ත්වයේ ඉඳලා නැවත ටිකෙන් ටික ඔලුව උස්සන්න වෙනවා. හැබැයි ආර්ථිකය ඔයිට වඩා තව වැටෙන්නේ නැහැ.

ඔය කිවුවේ දළ දේශීය නිෂ්පාදිතය ගැන. දැන් කියන විදිහට මේ අවුරුද්දේ 10%කින් වගේ ආර්ථිකය හැකිළෙනවනේ. IMF උදවු නොලැබුණොත් ඕනෑනම් උපරිම වශයෙන් තව 5%-10%කින් ආර්ථිකය හැකිලෙයි. එහෙම 15%-20%කින් ආර්ථිකය හැකිලුනත් එයින් කියැවෙන්නේ 2014-2015 මට්ටම කියන එක. ආර්ථිකයේ ප්‍රමාණය 2014-2015 මට්ටමට වැටෙනවා කියන්නේ කිසිසේත්ම ලෝක විනාසය නෙමෙයි.

ඊළඟට අපි උද්ධමනය දිහා බලමු. උද්ධමනය ඇත්තටම මේ වෙද්දීත් පාලනය වෙලා ඉවරයි. IMF උදවු නොලැබුණත් ලබන අවුරුද්දේ මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වෙනවා. ඒ එක්කම පොලී අනුපාතික වුනත් ටිකක් අඩුවෙයි.

දැනට ක්‍රියාත්මක රජයේ සාර්ව ආර්ථික වැඩපිළිවෙල අනුව 2024 සිට ප්‍රාථමික ශේෂය අතිරික්තයක් වෙනවා. 2023දී අපේක්ෂිත ප්‍රාථමික හිඟය වුනත් ලොකු එකක් නෙමෙයි. ඒ කියන්නේ, රජයේ වියදම් සඳහා ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ණය ගන්න වෙන්නේ දැනට අරගෙන තියෙන ණය හා පොලී ගෙවන්න පමණයි. ඒක වෙළඳපොළට පීඩනයක් නෙමෙයි. එළියට දමන සල්ලි ටික පමණක් නැවත ආපසු ණයට ගන්නවානම් සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා, උද්ධමන ප්‍රශ්නයක් එන්නේ නැහැ. පොලී අනුපාතික වුනත් ක්‍රමක්‍රමයෙන් පහළ යනවා. හැබැයි ගොඩක් අඩු නොවෙන්න පුළුවන්.

ඔය ප්‍රශ්න ඔය විදිහට විසඳුනත් ඩොලර් ප්‍රශ්නයනම් එහෙම ලේසියෙන් විසඳෙන්නේ නැහැ. ඒක වෙන්න ඉඩ සැලැස්විය හැකි එකම ස්වභාවික යාන්ත්‍රනය සංචාරක ඉපැයීම් විශාල ලෙස වැඩිවීම පමණයි. සංචාරක ඉපැයීම් ක්‍රමක්‍රමයෙන් මිස හදිසියේ වැඩි වෙන එකක් නැහැ. ඒ නිසා, IMF උදවු නොලැබුණොත්, මහ බැංකුවට දැන් වගේම ඩොලර් එක හිරකරගෙන ඉන්න වෙනවා. ආනයන සීමා එලෙසම පවත්වා ගන්න වෙනවා. ඒ හැරුණු විට රට දැන් දුවනවා වගේ දුවනවා.

මේ කියපු තත්ත්වය යටතේ, ඒ කියන්නේ IMF සල්ලිත් නැති, විදේශ ණය හා පොලී ගෙවන්නෙත් නැති, ඩොලර් එක හිර කර ගෙන ආනයන සීමා කරගෙන ඉන්න තත්ත්වයක් යටතේ වුනත්, දේශීය ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බැංකු කඩා වැටෙන්නෙත් නැහැ. හැබැයි මිනිස්සු කලබල වීම නිසා හෝ වෙනත් හේතු නිසා බැංකු වැටෙන්න පුළුවන්.

දැන් ඔය මම කියපු සේරම දේවල් ටික IMF එකේ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන වල ඉන්න විශ්ලේෂකයින්ටත් තේරෙනවා. ලංකාවට ණය දීලා තියෙන අයටත් තේරෙනවා. ඒ කියන්නේ, තමන්ගේ ණය ආපසු නොගෙවා ලංකාවට ඇදගෙන යන්න පුළුවන් කියන එක ඔය හැමෝටම තේරෙනවා.

මේක ලංකාවට වාසියක්. ඔය වාසිය ලංකාවට ලැබෙන්නේ අයවැය හිඟය පාලනය කර ගැනීමේ සැලසුම නිසා. එහෙම කළේ නැත්නම් ලංකාවට අයවැය හිඟය පියවන්න තව විදේශ ණය ගන්න වෙන බවත්, එහෙම තව ණය ගන්නනම් කලින් ගත් ණය පිළිවෙලට ගෙවාගෙන යන්න වෙන බවත් කාට වුනත් තේරෙනවා. නමුත් දැන් තත්ත්වය වෙනස්.

ලංකාවට ණයහිමියන් එක්ක හෙට්ටු කිරීමේදී මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන්. ඒ වගේම, ගෙවාගන්න බැරි තරම් ණය ගොඩ ගහගත්ත එක ලංකාවේ පැත්තෙන් කරගත් වැරැද්දක් වෙනවා වගේම, ණය දුන්න අය එහෙම කරලා තියෙන්නේත් අවදානමක් අරගෙන. විශේෂයෙන්ම වාණිජ ණය වල පොලිය නිර්ණය වෙලා තියෙන්නේ ණය ආපසු නොලැබීමේ අවදානමත් එකතු වෙලා. ඒ නිසා, මේ වෙලාවේ ලංකාව වගේම ණය දුන්න අයත් ඉන්නේ වාසිදායක තත්ත්වයක නෙමෙයි.

මම කලින් ලිපියකත් කිවුවා වගේ IMF එක කියන්නේ ලංකාවට කෙළවන්න බලාගෙන ඉන්න සංවිධානයක් නොවනවාක් මෙන්ම කොහොම හරි ලංකාව ගොඩදාන්න බලාගෙන ඉන්න සංවිධානයකුත් නෙමෙයි. ලංකාවට උදවුවක් කරන අතරම ලංකාවට ණය දුන් ණයකාරයින්ගේ ණය ටික ආපහු බේරලා අරන් දෙන එකත් IMF එකේ ප්‍රධාන ඉලක්කයක්.

දුන්න ණය ආපහු ගන්නනම් ලංකාවට තව ණය දෙන්න වෙන බව IMF එක හොඳාකාරව දන්නවා. ණය දීලා තියෙන අයත් දන්නවා. ඒ නිසා, ලංකාවට උදවු කිරීමේ අරමුණ කොහොම වෙතත්, තමන්ගේ ණය ටික ආපහු ගැනීමේ අරමුණින් ඔය හැමෝම ණය ප්‍රතිව්‍යුහගත කරන එකට කැමති වෙලා, ඊට අමතරව තව ණය ටිකකුත් දෙයි කියන එක තමයි මගේනම් අදහස. මොකද මේ වෙලාවේ එහෙම නොකළොත් ලංකාව වගේම ඔය ණය දීලා තියෙන හැම කෙනෙක්මත් පරාදයි.

ගොඩක් වෙලාවට ලබන අවුරුද්දේ පළමු කාර්තුවේදී ඔය වැඩේ වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනා කියලා ලංකාවට නැවත රාජපක්ෂ දශකයේ 2010-2012 කාලයේදී වගේ ණයට කන්න ලැබෙන්නේ නැහැ. උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ අලුත් ණය වලින් පරණ ණය හා පොලිය ගෙවාගෙන යන එකයි. ඒ කියන්නේ මේ වැඩේ අපේක්ෂිත විදිහට වුනත්, ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ උපයන ඩොලර්ම තමයි.

ඒ කියන්නේ කලින් විස්තර කළ තත්ත්වයයි, මේ තත්ත්වයයි අතර වෙනසක් නැද්ද? එහෙමනම් IMF යන එකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද?

නැවතත් ණයට කන්න බැරි වුනත් මේ වැඩෙන් ක්ෂණිකව රටේ විදේශ අංශය ස්ථාවර වෙනවා. මහ බැංකුවට ආනයන සීමා අයින් කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ එක්කම ඩොලරය පා කරන්නත් වෙනවා.

එහෙම කළාම ඩොලර් එක කීයට යයිද? ගොඩක් වෙලාවට IMF ඩීල් එක සීල් වුනාට පස්සේ තව ඩොලර් බිලියනයක දෙකක ණය ලැබෙන්න ඉඩ තිබෙනවා. තියෙන ඉහළ පොලී එක්ක රජයේ භාණ්ඩාගාර බිල්පත් වලට වුනත් ආයෝජන එන්න පුළුවන්. ඒ නිසා, විණිමය අනුපාතයේ විශාල වෙනසක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. අනෙක් එක ඔය වැඩේ සිදු වුනු ගමන් උන්ඩියල් ඉල්ලුමත් නැති වෙනවා.

මේකෙන් වෙන ලොකුම වාසිය ආර්ථිකය එක පාරටම 10%කින් පමණ වර්ධනය වෙන එක. ඒ කියන්නේ රට නැවත 2019 හිටපු තැනට යන එක. මේ වැඩේ බොහෝ විට වෙනවා.

කවදාවත් තිබිලා නැති 10%ක ආර්ථික වර්ධනයක් කිවුවහම ගොඩක් අය “පිස්සුද හලෝ?” කියලා අහන්න පුළුවන්. නෑ. මේක පහසුවෙන්ම විය හැකි දෙයක්. හේතුව මම පැහැදිලි කරන්නම්.

ආර්ථිකයක් 1%කින් වුනත් වර්ධනය කරන එක අමාරු වැඩක්. ඒ සඳහා, එක්කෝ ප්‍රාග්ධනය සහ ශ්‍රම දායකත්වය වැඩි වෙන්න ඕනෑ. ඔය දෙකටම වැඩිය ඵලදායීත්වය වැඩි වෙන්න ඕනෑ.

අපි හිතමු වී නිෂ්පාදනය ගැන. එක්කෝ කුමුරු ප්‍රමාණය සහ වී ගොවීන් ගණන වැඩි වෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් කුඹුරු අක්කරයකින් ලැබෙන අස්වැන්න වැඩි වෙන්න ඕනෑ. ධීවර කර්මාන්තය වගේ එකක් ගත්තත් එහෙමයි. එක්කෝ බෝට්ටු ගණන සහ ධීවරයින් ගණන වැඩි වෙන්න ඕනෑ. නැත්නම් මාළු අල්ලන තාක්ෂනය දියුණු වෙන්න ඕනෑ.

ලංකාවේ ආර්ථිකය 10%කින් විතර වර්ධනය වෙන්න පුළුවන් ඔය කොයි එකෙන්ද?

ඔය කියපු කතාව අදාළ වෙන්නේ ආර්ථිකයක් කලින් නොතිබුණු මට්ටමකට වර්ධනය වෙද්දී. දැන් වෙනවානම් වෙන්න යන්නේ එහෙම දෙයක් නෙමෙයි. හරියටම ඇස්තමේන්තුවක් නැතත් 2022 වසරේදී ආර්ථිකය 10%කින් සංකෝචනය වෙලා කියා කියනවනේ. ඒ කියන්නේ, 2021 තිබුණු මට්ටමට වඩා 10%කින් 2022 ආර්ථිකය කුඩා වෙලා. මොනවා හෝ හේතු ටිකක් නිසා ඔය වැඩේ වුනානේ. හේතුත් අපි නොදන්නවා නෙමෙයිනේ. හැබැයි ඒ කියන දෙයින්ම අදහස් වෙන්නේ 2022 ආර්ථිකයට වඩා 10%ක් විශාල ආර්ථිකයක් 2021 වසරේදී රටේ තිබුණා කියන එක.

ඔය විදිහට 2021දී තිබුණු, අපි හොඳටම දන්නා ආර්ථිකය ඒ විදිහට තිබුණේ අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය හා ඵලදායීත්වය රටේ තිබුණු නිසා. යම් යම් බාධා නිසා නිෂ්පාදනය අඩු වී තිබුණත් ඒ තිබුණු ශ්‍රමය, ප්‍රාග්ධනය හා ඵලදායීත්වය තවමත් රටේ තියෙනවා. ඒ නිසාම අර බාධාවන් ටික ඉවත් වුනු ගමන් ආර්ථිකය නැවත 2021 මට්ටමට එනවා. මේක අලුතෙන්ම 1%ක වර්ධනයක් ලබා ගන්නවා වගේ දෙයක් නෙමෙයි.

මීට කලින් 2021දී 3%ක විතර ආර්ථික වර්ධනයක් ආවෙත් ඔය විදිහට. 2020දී ලොක්ඩවුන් ආදිය නිසා අඩුවුණු 3% නැවත ආවා. ඔය විදිහටම 2022දී 10%ක් අඩු වෙලානම්, ඒ 10% නැවත වැඩි වෙන එක අරුම පුදුම දෙයක් නෙමෙයි. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ වගේම මහ බැංකුවත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ඔය කතාව දන්න නිසා.

මේ විදිහට 2022දී අඩුවෙන ටික ඔක්කොම 2023දී ආපහු වැඩිවෙයි කියා උපකල්පනය කර තියෙන්නේ මේ අවුරුද්ද අන්තිමේදී IMF සල්ලි ලැබෙයි කියන උපකල්පනය මත. මගේ අදහසනම් ඒ වැඩේ ටිකක් කල් යන්න පුළුවන් කියන එක. ඒ නිසාම 2022දී කුඩා වෙන ආර්ථිකය නැවත තිබුණු මට්ටමට එන්න 2024 පමණ වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ ක්‍රමයට ගියොත් 2023 අවසන් වෙද්දී හෝ 2024 මුලදී රට නැවත 2019 හිටපු තැනට එනවා.

දැන් ඔය කියපු දෙවන තත්ත්වය අපේක්ෂා කළ හැකි හොඳ තත්ත්වයක්. කලින් කියපු එක ඊට වඩා අසීරු තත්ත්වයන් යටතේ අපේක්ෂා කළ හැකි දෙයක්. ඔය දෙකේ ප්‍රධාන වෙනස හැකිළෙන ආර්ථිකය නැවත තිබුණු මට්ටමට එනවද නැද්ද කියන එක. ඔය දෙකෙන් කොයි එක වුනත්, 2023 මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වෙනවා. පොලී අනුපාතිකත් යම් තරමකින් හෝ අඩු වෙනවා. බැංකු කඩා වැටෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් වල හා ස්ථිර තැන්පතු වල දමපු සල්ලි නොලැබී යන්නේ නැහැ.

දැන් මම අසුබවාදී පැත්ත ගැනත් කතා කරන්නම්. ඔය කලින් කියපු දේවල් ඔය විදිහට වෙන්නේ රාජ්‍යමූල්‍ය ඉලක්ක කියා තිබෙන විදිහට ඉටු කර ගත්තොත්. විශේෂයෙන්ම බදු ආදායම් අපේක්ෂිත මට්ටමට ලැබුණොත්. රජයේ වියදම් වැඩි නොවුනොත්. රජයේ වියදම්නම් වැඩි වෙන එකක් නැහැ කියා මම හිතනවා. නමුත් බදු ආදායම් ඉලක්ක ගැනනම් මට තියෙන්නේ අවිනිශ්චිත භාවයක්.

ඔය බදු ආදායම එකතු කරගන්න මාස් පඩි ගන්න අයගෙන් විතරක් බදු එකතු කරලා මදි. බදු ගෙවිය යුතු ආදායම් ලබන සියල්ලන්ගෙන්ම හරියට බදු එකතු කර ගත යුතුයි. ඒ වගේම, බදු නොගෙවා පොලු තියපුවා එකතු කරගත යුතුයි. පාඩු ලබන රාජ්‍ය ආයතන වල පාඩු නැති වෙන පරිදි මිල සංශෝධනය විය යුතුයි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු විය යුතුයි. පොලී අනුපාතික උද්ධමනයට කලින් වැට නොපැනිය යුතුයි. තව සල්ලි අච්චු නොගැසිය යුතුයි.

ඔය දේවල් ඔය විදිහට සිදු නොවී තව තව සල්ලි අච්චු ගැහුවොත්, උද්ධමනය අපේක්ෂිත පරිදි අඩු වෙන්නේ නැහැ. උද්ධමනය හැදෙන්න කාලයක් ගත වන නිසා 2023 මැද වෙද්දී උද්ධමනය කොහොමටත් අඩු වෙයි. හැබැයි වසර අවසන් වෙද්දී හරි 2024 මුල වෙද්දී හරි නැවත හිස ඔසොවයි.

සල්ලි අච්චු ගැහිල්ල පටන් ගන්න කොටම මූල්‍ය වෙළඳපොළ හසුරුවන අයට ඔය ටික තේරෙනවා. ඒ නිසා, පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. පොලී අනුපාතික අඩු වුනේ නැත්නම් රජයට කලින් සැලසුම් කළ පරිදි අයවැය බැලන්ස් කරගන්න බැරි වෙනවා. තව තව සල්ලි අච්චු ගහන්න වෙනවා. තවමත් විවෘතව තිබෙන ඒ පාරේ ගියොත්, රුපියල නැත්තටම නැති වෙලා වුනත් නවතින්න පුළුවන්. ඒ අවදානම තවමත් ඒ විදිහටම තියෙනවා. ඒක නොවෙන්නනම් රජය පැත්තෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික හරියට වෙලාවට සිදු විය යුතුයි.

ඩොක් බ්‍රවුන් කියපු විදිහට, “It means your future hasn’t been written yet.”. ඔබේ අනාගතය කොහේවත් ලියැවී නැහැ. මේ මොහොතේත් එය ලියැවෙමිනුයි තියෙන්නේ. මේ සටහනට ඔබ දමන්නට ඉඩ තිබෙන ප්‍රතිචාරය වුනත් බොහෝ දෙනෙකු විසින් සාමූහිකව ලියන ඔබේම අනාගතය.

~ ඉකොනොමැට්ටා

RN

සබැඳි ලිපි –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan