රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :
ඉකුත් දා සිදු වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි සිදු වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

විමල් කණ්ඩම්බි මහතා පවසන්නේ, වැඩිම හානියක් සිදු වූ මධ්‍යම පළාතේ සියලු මාර්ග මේ වන විට විවෘත කර තිබෙන බවත්, ඇතැම් මාර්ග තාවකාලිකව සංවර්ධනය කර තිබෙනවා බවත් එම මාර්ග සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට රුපියල් බිලියන 69ක් වැය වෙන බවයි.


මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා මේ පිළිබදව දැක්වූයේ මෙවන් අදහසක්,
“මේ ව්‍යසනය හේතුවෙන් පාලම් 40ක් විනාශ වුණා. එයින් 36ක් ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා. එම පාලම් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතුයි.
කඳු නාය ගිය ස්ථාන නැවත සංරක්ෂණය කිරීමටත් පියවර ගන්නවා. ඒ සඳහා රුපියල් බිලියන 100කට වඩා වැය වෙනවා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සමඟ ඒකාබද්ධව මේ කටයුතු සිදු කරනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හදිසි අලුත්වැඩියා සඳහා රුපියල් මිලියන 100ක් පමණත්, බේලි පාලමක් සඳහා රුපියල් මිලියන 120ක් සහ දරුණු ලෙස හානි වූ මාර්ග, බෝක්කු සහ පැති බැමි අලුත්වැඩියාවට රුපියල් බිලියන 14ක් පමණ අවශ්‍ය බවට මේ වන විට ගණන් බලා තිබෙනවා. මේ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නවා.”
